ලස්සනම ලස්සන විවාහ මංගලෝත්සවයක් ගන්න එක බොහොමයක් දෙනාගේ හීනයක්. අපි මේ ඒ හීනෙට තල්ලුවක් දෙන්නයි ලෑස්තිය. අපේ වෙඩින් එක ප්ලෑන් කරනකොට අවධානය දෙන්නම ඕනේ දේවල් හා වෙඩින් එක ලස්සනට ප්ලෑන් කරගන්න හැටි ගැන දැනගන්න කැමති අයට අපෙන් මෙන්න ටිප්ස් ටිකක්.
1. බජට් එක කොහොමද?
වෙඩින් එකක් ගන්නකොට මූලිකවම හිතන්න ඕනේ අපේ බජට් එක ගැන. අවුරුදු ගාණක් හම්බ කරපුවා නැත්තම් අම්මා, තාත්තගෙ සල්ලි හෝ ලෝන් ගහලානෙ අපි මේවා කරන්නේ. ඒ නිසා මුලින්ම අපි බජට් එකක් හදාගන්න ඕනේ මේ යන හැම වියදමකටම. හැබැයි ඕනාවට වඩා පිරිමහලා කරන්න උවමනාවක් නෑ. මොකද මේක ජීවිතේටම එක පාරනේ. ඒ වගේම තමුන්ගේ ජීවිතේ ලස්සනම දවසනේ. ඒ නිසා බොරු වැඩ නැතුව ලස්සනට මුදල් කළමනාකරණය කරගෙන මේක කරගන්න. අනවශ්‍ය දේවලට ඕනවට වඩා සල්ලි වියදම් කරන්න යන්න එපා. හැමදෙයක්ම කල්පනාකාරීව කරන්න.
2. මනමාල යුවලගෙ ඇඳුම් හා දෙමව්පියන්ගේ ඇඳුම්
වෙඩින් එක දවසට ලස්සනටම ඉන්න ඕනේ මනාල යුවලනේ. ඉතින් අපි කවුරු උනත් වැඩිම අවධානයක් දෙන්නෙත් මේ දෙන්නට තමා. ඒ නිසා එදාට කාගෙත් අවධානය වගේම ආදරයට පාත්‍ර වෙන විදියට ලස්සනට ඇඳලා ඉන්න වෙනවා. ඒකට මනාල යුවලට ගැළපෙන විලාසිතා තියනවා. බටහිර විදියට අඳිනවනම් බ්‍රයිඩ් ගවුමත්, ගෲම් ෆුල් කිට් එකත් අඳිනවනෙ. සාම්ප්‍රදායික ක්‍රමයට නම් මනාලිය ඔසරියත් මනාලයා මුල් ඇඳුම් කට්ටලයත් අඳිනවා. මේක මෙහෙමයි කියලා එදාට තමුන්ට නොගැළපෙන්න නම් ඇඳගෙන ඉන්න එක කොහොමටවත්ම සුදුසු නෑ. ඒ මොකක්ද ඒ කිව්වේ? ආ ඒක මෙහෙමයි, නොගැළපෙන්න කියන්නෙ දැන් උස මහත මනාලියක් නම් එයාට ගවුමක් අඳින්න ඕනෙ කියලා ගවුමක් ඇන්දට ඒකෙ නොගැළපීමක් තියෙන්න පුළුවන්. මොකද මනාලය ඊට වඩා කෙට්ටු කෙනෙක් නම් මනාලිය මනාලයාට වඩා විශාල බව කැපිලා පේනවා. ඒ වගේමයි සාම්ප්‍රදායානුකූලව ඔසරියක් අඳින්න ඕනෙනම් ඒකට තමුන්ගෙ ඇඟ ගැලපෙන්නෙ නැත්තන් එදාට ඉරට්ටකට සාරියක් ඔතලා වගේ ඉඳීවි. ඒ නිසා වර්තමානය වෙනකොට ඒවට ගැලපෙන්න සාරි ස්ටයිල්ස් තියනවා.
ඒ වගේමයි ඔයාගෙ කෲ එක. මනාල යුවලට වඩා උසින් අඩු අය තමා කෲ එකට ගන්න ඕනෙ නැත්තම් ෆොටෝස් ගන්නකොට බැලන්ස් නැති වෙනවා. ඒ වගේම හමේ පැහැය ගැන හිතලා තමා තීම් කලර් එක සිලෙක්ට් කර ගන්න ඕනෙ. මේ හැමදේටම හොඳ රූපලාවණ්‍ය ශිල්පියෙක් ලඟට යන එකයි වටින්නෙ. ඒත් සමහර වෙඩින් වලට ගියාම අපිට හිතෙන්නෙ අනේ මේ මනුස්සයට අන්දලා තියෙන්නෙ ඇස් දෙක කටේ දාගෙනද මන්දා කියලා. ඒ තරම් නොගැළපෙන්නයි ඒවා ඔක්කොම වෙලා තියෙන්නෙ. ඒ නිසා රූපලාවණ්‍ය ශිල්පියෙක් තෝරගන්නකොට නමට, ප්‍රසිද්ධියට නැතුව ලස්සනට හා සාධාරණ විදියට කරන කෙනෙක්ව තෝරගන්න එක පර්ස් එකටත් හොඳයි. ඒ වගේම යුවලගෙ අම්මා තාත්තත් එදාට ලස්සනට ඉන්න ඕනේ දවසක්. වැඩි විච්චූරණ නැතිව චාම් ලා පාට සාරි අම්මලාට මැච් වෙනවා. තාත්තලත් එයටම ගැළපෙන්න අඳිනවනම් හොඳයි. පොඩි මේකප් එකකුත් කරගන්න ඉතින් තමන්ගෙ දරුවගෙ වෙඩින් එකනේ…
3. ආරාධනා කරන අමුත්තන් ලැයිස්තුව හා වෙඩින් කාඩ් එක
වෙඩින් එකේ ගෙස්ට් ලිස්ට් එක හදනකොට ඔන්න අම්මා කියයි අම්මගේ මහිලා සමිතියේ කට්ටියට, තාත්තගෙ වැඩිහිටි සමිතියේ කට්ටියට, ඒ වගේම යාලුවෝ නෑයෝ මේ ඔක්කොටම කියන්න ඕනේ කියලා. ඒ උනාට ඉතින් දරන්න පුළුවන් ප්‍රමාණයක් හා කියන්න පුළුවන් සීමාවක් තියනවනේ. ඒ නිසා බලලා මුලින්ම නෑයොන්ගෙන් කියන්න ඕනෙ අය බලන්න. මේ හැම වෙලේම තමන්ගෙ බජට් එක ගැන හිතන්න ඕනේ. ඒ නිසා තමුන්ට අවශ්‍යම අයට විතරක් ඉන්වයිට් කරන්න වග බලාගන්න. අනික ඔන්න ඔහේ හැමෝටම කියමු කියලා ඉන්වයිට් කරලා ඒ මිනිස්සු වැඩි දෙනෙක් ආවේ නැත්තන් කාටද පාඩු? ආන්න ඒක ගැන ගොඩක් හිතන්න වෙනවා ගෙස්ට් ලිස්ට් එක හදනකොට.
ඒ වගේමයි දැන් ඉන්වයිට් කරන්න තීරණය කරපු ගෙස්ට්ස්ලාට දෙන්න කාඩ් එකක් හදන්න එපැයි. මේකටත් බොරු වියදම් නැතිව චාම්, ලස්සන කාඩ් එකක් තෝරගන්න. පිටකොටුවේ මැලිබන් වීදිය තියෙන්නෙ මේ දේවල් වලටමයි. ගිහින් බලන්න.
4. මල් සැරසිළි/ සෙටිබැක්
මේ ටිකනෙ ඉතින් ලස්සනට තියෙන්න ඕනේ. එදා දවස ලස්සන කරන්න පුළුවන් හොඳම කෙනෙක්ට බාර දෙන්න. ඒ ගැන බලාගන්න නෑදෑ කෙනෙකුත් පත් කළානම් ගොඩක් හොඳයි. කල් ඇතුව වෙඩින් හෝල් එකට හෝ දේවස්ථානයට ගිහින් ඒ දේවල් පිළිවෙලකට සකස් කරලා ඉවරයක් උනානම් අන්තිමට වෙන්න පුළුවන් කළබලය අඩු වෙනවා. නැත්තම් කපල් එක පල්ලියට එනකොට හරි හෝල් එකට එනකොට හරි ප්ලෑන් කරපු විධියට වැඩේ වෙලා නොතිබුණොත් හිතටත් අප්සට් යනවනෙ නේද? ඒ නිසා මේ ටික බාර දෙන්න ඕනේ විශ්වාසවන්ත කෙනෙක්ට හෝ ආයතනයකට. මොකද ඩෙකරේශන්ස්, අපේ ෆන්ශන් එක ගොඩක් ලස්සන වෙන්න ගොඩාක් දුරට බලපාන දෙයක් නිසා ඒ දේවල් පිළිවෙලට තියෙන්න ඕනේ. ෆ්‍රෙෂ් මල් යූස් කරනවද? ආටිෆිශල් ඒවා ගන්නවද? ඒවයේ ගණන් කොහොමද? මේ සියල්ලම කතා කරගෙන වැඩේට බහින්න.
5. පෝරුවේ චාරිත්‍ර හෝ දේවස්ථානයේ පිළිවෙත්
ලංකාවේ අපේ විවිධ ආගම් හා ජාතීන් ඉන්නවනෙ. ඉතින් ඒ එක එක අය විවාහ චාරිත්‍ර කරන විදි වෙනස්නේ. බෞද්ධයන් පෝරුවෙන් වගේම කතෝලික අය පල්ලියෙනුත් තමයි කසාද බඳින්නේ. පෝරුවේ චාරිත්‍ර ගත්තම ඒවට නැකත් තියනවා. නැකතට පෝරුවට නග්ගලා ඒ සියලුම පිළිවෙත් කරන්න ඕනේ කරන අය ඉන්නවනේ. එයාලවත් කල් ඇතුව කතා කරගෙන වෙලාවට ගෙන්නලා තියාගන්න ඕනේ. ඒ වගේමයි ඒ චාරිත්‍ර වලට ඕන කරන බඩුමුට්ටු කල් ඇතුව වෙඩින් හෝල් එකට ගෙනිහින් තියාගන්න එක ලේසි වෙනවා. පල්ලිය ගත්තොත් ඒ වත්පිළිවෙත් වලට, පූජාවල් වලට කලින්ම පල්ලිය බුක් කරලා අදාළ දේශන වලට දෙන්නම සහභාගි වෙලා ලෑස්ති වෙන්න ඕනේ. ඒ වගේම පූජාවට දීලා තියන වෙලාව වෙනස් නොකර, වෙලාවටම ඒ දේවල් ප්ලෑන් කරලා තියෙන්න ඕනෙ. තමුන් ලඟම ඉන්න කෙනෙක්ට ඒ වෙලාවෙ පළඳින මුදු, මාල දීලා තියන්න. නැත්තන් ලන්ඩන් වල ඇල්බට් අන්කල්ට තමා කෝල් කරන්න වෙන්නෙ.
6. වෙඩින් හෝල් එක, මෙනු එක හා කේක්
මුලින්ම වෙඩින් හෝල් එකක් බුක් කරනකොට බලන්න ඕනේ දෙයක් තමයි හැමදෙනාගෙම පැමිණීමේ පහසුව. දෙක මිල ගණන්. ගාණ අඩුවට ප්ලේට් හම්බෙනවා කියලා හද්ද ඩොටේ හොටෙල් එකක් බුක් කළොත් යන මනුස්සයෝ වෙඩිමට යන්නත් කලින්ම ෆෙඩප් වෙලා තියෙයි. ඒ වගේම මෙනු එක ගැන බලනකොට ෆන්ශන් එක දවල් එකක්ද? රෑ එකක්ද කියලා බලන්න. එතකොට ඕඩර් කරන මෙනු එක තමන්ගෙ බජට් එකටත් ගැලපෙන්න, ඒ අවස්ථාවටත් ගැළපෙන්න හදාගන්න. ඩෙසර්ට්ස් උනත් එහෙමයි. බොරුවට සල්ලි තියනවට කියලා ජාති 25ක් විතර ඕඩර් කරන බොරු වැඩනම් කරන්න එපා. බත් කාලා ඉන්න කෙනෙක්ට ඕවත් ඔච්චර ගොඩක් කන්න බෑනෙ නේද?
කේක් ගත්තොත් වෙඩින් ස්ට්‍රක්චර් එක වගේම අමුත්තන්ට දෙන කේක් එකත් අයිතියි. ඔයාගේ තීම් එකට ගැළපෙන, ඒ වගේම තමුන් ආස කරන විදියට ස්ට්‍රක්චර් එක හදන්න දෙන්න. වෙඩින් එකක නම් වෙඩින් කේක් ප්‍රසිද්ධයිනේ. ඒත් දැන් දැන් ඒ සාම්ප්‍රදායික කේක් එක වෙනුවට ගෝල්ඩන් වෙඩින් කේක්, කප්කේක්, ජාර් කේක් වගේ දේවලුත් දෙනවා. ඒක ඔයාලගෙ කැමැත්ත හා බජට් එක අනුව තීරණය කරන්න. අපි දෙන්නෙ අයිඩියාස් විතරයි.
7. ෆොටෝග්‍රැෆි
මෙන්න තැනට ආවා අපි. මේ අපේ ලස්සනම දවසනේ. ඉතින් මේ මතකයන් ගොඩක් වටිනවා. ඒ නිසාම වෙඩින් එකක ෆොටෝග්‍රැෆි වලට විශේෂ තැනක් දෙන්න ඕනේ. ඒ වගේම ඒ ටික හොඳ තැනකට දීලා කරගන්නත් ඕනෙ. මොකද අන්තිමේදි සිහිවටනයකට ඉතුරුවෙන්නෙ මේවා විතරනේ. දැන් මේ නිසාම ෆොටෝග්‍රැෆි වලට ලොකු ගාණක් අය කරනවා. ප්‍රී ශූට්, වෙඩින්ග් සිනෙමටෝග්‍රැෆි ආදී මෙකී නොකී ඔක්කොම එකතු වෙලා ලස්සන ඇල්බම්ස් ටිකක් හැදෙනවනේ. ඒ වගේම දෙන්නම එකතු වෙලා ලස්සන ලොකේශන්ස් ටිකක් බලලා, යන්න අපහසු නැති විදිහට ඒ ටික ඇරේන්ජ් කරගන්න. හොඳට හොයලා බලලා දන්න කෙනෙක් හෝ රෙකමන්ඩ් කරපු කෙනෙක්ට මේ වැඩේ බාරදෙන්න.
Leave a Reply