රටවල් දුගී දුප්පත් වෙන්න හේතු වෙන කාරණා මොනවාද?

ලෝකය ගත්තාම එහි පොහොසත් රටවල් ටිකක් තියෙනවා. ඒ රටවල ජනයා බොහෝවිට සතුටින් සමෘද්ධියෙන් ජීවත් වෙනවා. අපි වගේ දියුණු වෙමින් පවතින රටවලුත් ගොඩක් තියෙනවා. ඒ අතර දුප්පත්ම රටවලුත් තියෙනවා. මේ දුප්පත් රටවල් සහ දියුණු වෙමින් පවතින රටවල් ගත්තාම ඒ රටවල් එහෙම වෙන්න හේතු තියෙනවා. දෙවන ලෝක යුද්ධය ඉවර වෙද්දි ජපානය, කොරියාව, සිංගප්පූරුව, හොංකොං වගේ රටවල් ලංකාවටත් වඩා දුප්පත් රටවල් වුනා. ඒත් පස්සේ කාලෙක ඒ රටවල් දියුණු කරගන්න ඒ රටවල ජනතාව සමත් වුනා. රටවල් දුප්පත් වෙන්න බලපාන හේතු මොනවාද? හේතු ගොඩක් තියෙනවා. එයින් කිහිපයක් අපි සලකා බලමු.

 

1. රටේ භූගෝලීය පසුබිම

මධ්‍යම අප්‍රිකානු ජනරජය, ඇෆ්ඝනිස්තානය, නේපාලය වගේ රටවල් අභ්‍යන්තර රටවල්. ඒ කියන්නේ ඒ රටේ බෝඩරයට මූදක් ඇතුළත් නැහැ. එතකොට රටට බඩු ගේන්නත් රටින් එළියට බඩු ගෙනියන්නත් ලොකු ගාණක් වියදම් වෙනවා. ඉන්දුනීසියාව වගේ රටක් ගත්තොත් ඒ රට තියෙන්නේ ගිණිකඳු ගොඩක් එක්ක. ඒ වගේම නිතර භූමිකම්පාවනුත් සිද්ද වෙනවා. ඒ නිසා ඒ වගේ රටවල් වලටත් දියුණුවට යන ගමන් මග ටිකක් දුෂ්කරයි. ජලය නොමැති කාන්තාර, රටට පිවිසීමට අපහසුව වගේ භූගෝලීය ගති ලක්ෂණ ගොඩක් රටක දියුණුවට බාධා කරනවා.

 

2. මානව සම්පත

රටක් දියුණු කරන්න මිනිස්සු ඉන්න ඕනි. රටේ පාලකයින්ට විතරක් රට දියුණු කරන්න බැහැ. දක්ෂ ව්‍යාපාරිකයින්, විද්‍යාඥයින්, සේවකයින්, රටක් දියුණු වෙන්න මූලිකවම බලපානවා. දැන උගත් ප්‍රායෝගික ලෝකේ එක්ක ගැටෙන්න හැකියාවක් නැති මිනිස්සු මිලියින ගාණක් හිටියත් රටකට තඹ සතේක වැදගත් කමක් නැහැ. නිවැරදි දිශාවකට යොමුවුන අධ්‍යාපන ක්‍රමයකින් රටේ මානව සම්පත දියුණු කරගන්න හැකි වෙන්නට ඕන. ලෝකේ දියුණු වෙලා තියෙන ඔක්කෝම රටවල් ගත්තොත් ඔවුන්ගේ රටේ අධ්‍යාපනික මට්ටම බොහොම ඉහල තැනක තියෙනවා කියල පේනවා.

 

3. ත්‍රස්තවාදය සහ ආරක්ෂාව

රටක දියුණුවට ආරක්ෂාව සැරටම බලපානවා. සිරියාව වගේ රටක බිස්නස් කරන්න තියා සංචාරයකට රටතොට බලන්නවත් මොළේ ඇති මිනිහෙක් යන්නේ නැහැ. රටකට පිටින් එන ත්‍රස්තවාදී කණ්ඩායම් වගේම රට තුළ ඉන්න විවිධ ජනවර්ග, ආගම්, නිකායන්, අතර ගැටුම් නැතිකරගන්නත් රටක් සමත් වෙන්න ඕනි. ගැටුම් එක්ක රටක් දියුණු කරන්න නම් මූලිකවම රට ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ආරක්ෂාව සහතික වෙන්න ඕනි. එහෙම නැති වෙලාවක බයෙන් සැකෙන් ජීවත්වෙන මිනිස්සුන්ට සංවර්ධනය තියා එදිනෙදා ජීවත් වීමත් මහා ගැටලුවක් වෙනවා.

 

4. ජාත්‍යන්තර සම්බන්ධතා

ඉරානයේ තෙල් තියෙනවා. ඒත් ලෝකයට විකුණාගන්න විදියක් නැහැ. මොකද ඉරානයට සම්බාධක වැටිලා. දකුණු කොරියාව දියුණුම රටක්. අපේ රටේ උදවියත් දකුණු කොරියාවට වැඩට යනවා. ඒත් උතුරු කොරියාව කියන්නේ අන්ත දුප්පත් මිනිස්සු ඉන්න රටක්. ඒ උතුරු කොරියාවත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන්න ගිහින් සම්බාධක දාගෙන. ඒ විදියට විදෙස් රටවල් එක්ක ගනුදෙනු කරන විදියත් රටක දියුණුවට බලපානවා.

 

5. ආයතන වල ශක්තිමත්කම

අපි හිතමු යම් රටක ඉඩමක් අරගෙන, අවසර අරගෙන යම් ආයතනයක්, බිස්නස් එකක් පටන් ගන්නවා කියලා. මෙන්න ටික දවසකින් ඒ අරං තියෙන අවසර හරි නැහැය, ඉඩම් ගනුදෙනුව හොර එකක්ය කියලා නඩු වැටෙනවා. නැත්නම් ඒ රටේ ඉන්න ලොකු ලොකු දේශපාලකයින්ට පගා දෙන්න වෙනවා වැඩ කරගෙන යන්න. මේ විදියට දූෂිත පද්ධතියක් තියෙද්දි අපි හිතන දියුණුව ලඟාකරගන්න අමාරුයි. ආයතන කිව්වාම නීතිය සම්බන්ධ ආයතන, රජයේ ආයතන වගේම කම්කරු, ප්‍රමිතීන්, නියාමන කටයුතු ආදී ආයතන ගණනාවක් අයිති වෙනවා.

 

6. සංස්කෘතික බලපෑම

ඉන්දියාව විශාල රටක් වුනත් ඒ රටෙත් දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒත් ඒ රටේ දේවාල සහ සංස්කෘතික අංගත් ගොඩක් තියෙනවා. දියුණු සංවර්ධිත රටක ඉන්න පුද්ගලයෙක් මුදල් විශාල ප්‍රමාණයක් ලැබුනාම ආයෝජනය කරනවා. අලුත් අලුත් දේවල් හොයාගන්න උත්සාහ කරනවා. අලුත් ව්‍යාපාර අදහස් වලට තැන දෙනවා. ඒත් ඉන්දියාව වගේ රටවල ජනයාට යම් මුදලක් වැඩිපුර ලැබුනාම ඔවුන් තිබුනාටත් වඩා හොඳට දේවාල හදනවා. මහා දේව උත්සව පවත්වනවා. ඒ අනුව සංස්කෘතික සාධකත් රටේ දියුණුවට බලපානවා. ඇතැම් මුස්ලිම් රටවල ගැටුම් දෙස බැලුවොත් ඒ ගැටුම් ඒ අදාළ ආගම එක්ක දැඩිව බැඳිලා තියෙනවා. ආගම කියන්නේ හොඳ දෙයක් වුනත් සෑම ආගමකම අන්තවාදය කියන්නේ විනාශයක් වෙනවා. ඒ අනුව කල්චර් එහෙම නැත්නම් රටේ සංස්කෘතියත් රටක පසුබෑමට පැහැදිළිවම දායක වෙනවා.

 

7. යහපත් සෞඛ්‍ය තත්ත්වය

උපතේදී ආයු අපේක්ෂාව තුළින් නිරූපණය වෙන්නේ සෞඛ්‍යය. ඩෙංගු, මැලේරියා වැනි බෝවන රෝග, හෘද රෝග, දියවැඩියා වැනි බෝ නොවන රෝග වගේ ගොඩක් රෝග අපේ රටෙත් තියෙනවා. මේ ලෙඩ රෝග පැතිරෙන්නට ඉඩ කඩ වැඩිවුනොත් හෝ ජනයාට ලේසියෙන් බේත් හේත් ගන්න බැරි වුනොත් රටම ලෙඩ ගොඩක් බවට පත් වෙනවා. ස්වාසිලන්තය වගේ රටක් ගත්තොත් රටෙන් වැඩි කොටසක් ඒඩ්ස් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ පසුබිමක රටකට ලොකු මුදලක් රෝගීන් වෙනුවෙන් වියදම් කරන්නට වෙනවා. දුප්පත් රටක් පෝසත් වෙන්න නම් අනිවාර්යයෙන් ඒ රටේ ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවාගන්න වැඩ පිලිවෙලක් තියෙන්නට ඕනා.

 

සෞඛ්‍යය අංශය සහ අධ්‍යාපනය ගත්තාම අපේ රට යම්තාක් දුරකට ඉස්සරහින් ඉන්නවා. ඒත් අපි දියුණු රටක් සමග නෙමෙයි, තායිලන්තය, මැලේසියාව වගේ මධ්‍යම රටක් එක්ක බැලුවත් සමස්ථ රටතුළ යම් පසුබෑමක් පෙන්නුම් කරනවා. රටක් දියුණු කරන්න ලොකු වගකීමක් පාලකයින් සතුව තිබෙනවා. ඒ වගේම ජනතාවත් රටක දියුණුව වෙනුවෙන් කැපකිරීම් කරන්න අවශ්‍ය බව එදා දුප්පත් වෙලා අද දියුණු වෙච්චි රටවල් දිහා බැලුවාම අපිට පේනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *