ලෝකේ වටේ අමුතු වැඩ කරන ජෝඩු

සාමාන්‍ය ලෝකෙක අමුතුම වැඩ්ඩෙක් වෙන එක හරි ආස හිතෙන වැඩක්. එහෙම අමුතු දෙයක් කරන්න තමන්ගේ ජීවන සහකාරයා නැත්තම් සහකාරියවත් පටලවාගන්න පුළුවනි නම් අන්න ජීවිත. ඉතින් ඒ වගේ සුපිරි බුලට් කපල් කීපයක් ගැනයි මේ ලියමන.

 

1. මුරාද් සහ නටාලියා

මුරාද් කියන්නේ පොටෝග්‍රැපර් කෙනෙක්. ඕ ලෙවල් පාස් නංගිලාව එක රැයින් මොඩෙල්ලා කරලා දෙන පොටෝග්‍රැපර් කෙනෙක් නම් නෙවෙයි. ජීවිතේම වටිනම වස්තුව වෙන තමන්ගේ ගෑණු ළමයාවයි ලෝකයේ ලස්සනයි ටැලි කරලා මෙයා අපූරු වැඩක් පටන් ගත්තා. ඒ වැඩේ තමයි ‘Follow Me To’ කියන්නේ. සරලවම කිව්වොත් මේ දෙන්නා ලෝකය පුරා සංචාරය කරනවා. ඒ කරලා දාන පොටෝ කෑල්ල දාන්නේ හරිම කලාත්මක විදියට. ඒක ඒ තරම් දෙයක් නෙවේ නේ කියලා හිතුවත් ඒකෙන් මහා ලොකු ට්‍රෙන්ඩ් එකක් මේ දෙන්නා හදලා තියෙනවා. ලෝකයේ ලස්සන පසුතලයක් දිහා ගෑණු ළමයා බලන් ඉන්නවා. ඒත් එක්කම එයාගෙයි මෙයාගෙයි අත් පැටලිලා තියෙනවා. ඒක හරියට පේන්නේ ගෑල්ලමයා පස්සෙන් ලෝකයේ ලස්සන බලන්න මේ ප්‍රේමවන්තයා ෆලෝ පාරක් දානවා වගේ. අර නම හැදිලා තියෙන්නෙත් එහෙමයි. මුරාද්ගේ පොටෝවල ගතිය බලන්න @muradosmann යන නමින් තියෙන එයාගේ ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එකට ගොඩ වැදිලා බලන්න. ලංකාවටත් ඇවිත් තියෙනවා ඔන්න.

 

2. ගේබ්‍රියල් සහ වික්ටර්

පච්ච කොටන එකයි තමන්ගේ ඇඟේ එක එක වෙනස්කම් කරගන්න එකයි එක්තරා විදියක කලාවක් වෙච්ච කාලෙක ඒකේ කෙළ පැමිණි ජෝඩුව තමයි මේ. ඇඟ පුරා 75%ක් විතරම මේ දෙන්නගේ තියෙන්නේ පච්ච සහ මොඩිෆිකේෂන් විතරමයි. ගිනස් වාර්තාවත් ඒ සම්බන්ධයෙන් ගහලයි ඉන්නේ. සෙල්ලම් නෑ ඇඟ හැමතැනම පනස් පාරක් විදලා එක එක අරුමෝසම් දාගෙනයි ඉන්නේ. දෙන්නව හොයාගෙන තියෙන්නේ ආර්ජන්ටිනාව කියන දේශයෙන්. මේ කලාව තමන්ටම අනන්‍ය වෙච්ච පරිපූර්ණත්වයකට තමාව අරගෙන යන බවයි මේ දෙන්නා කියන්නේ.

 

3. සෙබෙස්ටියෝ සහ ලෙයිලා

මේක අමුතු වැඩකට වඩා අවශ්‍යම වැඩක්. අමුතු වැඩක් වෙන්නෙ මේක කරන්න දෙන්නා ගත්තු මහන්සියයි ඒ මහන්සියේ ප්‍රතිඵලයි මහා විශාල නිසයි. මේ දෙන්නා අවුරුදු ගණනක් පුරාවට නොසෑහෙන්න ගස් වවලා තියෙනවා. නිකන්ම නිකන් හිතුමනාපෙට නෙවෙයි. අතෑරලා දාපු නිසරු ප්‍රදේශයක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් අවුරුදු 20කට විතර පස්සේ ගස් මිලියන 2ක් තියෙන ලොකු වනාන්තර ප්‍රදේශයක් වෙලා තියෙනවා මේ පළාත. දැන් මේ ප්‍රදේශය ස්වාභාවික රක්ෂිතයක් විදියට පවත්වාගෙන යනවා. කුරුලු වර්ග 172ක්, ක්ෂීරපායි වර්ග 33ක් සහ විවිධ උරග සහ උභය ජීවින් මෙහි ඉන්නවා. රට බ්‍රසීලය.

 

4. ජූලියා සහ ජෙෆ්

හම්බ කරලා මැරිලා යනවා. ඒක මේ ජෝඩුවට හෙන කම්මැලි හිතෙන වැඩක් වුණා. ඉතින් එයාලා හිතුවා එයාලගේ වාර්ෂික ආදයමෙන් 6%ක් විතරක් තමන්ට තියාගෙන අනික් සබ්බ සකලමනාවම අසරණ මිනිස්සුට දෙන්න. ජූලියා සමාජ සේවකයෙක්. ජෙෆ් මෘදුකාංග ඉංජිනේරුවක්. එහෙමයි කියලා මහා ලොකු ධනවත්තු නෙවෙයි. ඇමරිකන් ඩොලර් 100,000ක් විතර මේ දෙන්නා වාර්ෂික ව අනික් අයට බෙදලා දෙනවා. තමන්ට කියලා ඉතුරු වෙන්නේ ඩොලර් 15,000ක් විතර. මේ ඉතින් ඇමරිකන් රටේ. සල්ලිවලට මොනවා ද කරන්න බැරි. එහෙම බැලුවම මේ දෙන්නා නම් මරු.

 

5. බෙන් සහ ලුසී

ලස්සනට ඉන්න කැමතියි කවුරුත්. ඒ කිව්වේ මූණේ අරවා මේවා ගාගෙන ඉන්න ලස්සන නෙවේ. සිරුරේ මනා හැඩයක් තියා ගන්න එක. ඊට අමතරව ලෙඩ රෝගවලින් වැළකෙන එකත් තියෙනවා. ඉතින් සමහරුන්ට කපල් ගෝල් එක තමයි එකට ජිම් ගිහින් පොටෝ ගන්න එක. ඒත් මේ දෙන්නගේ කපල් ගෝල් එක වුණේ තමන්ගේ දැනුම ලෝකයත් එක්ක බෙදාගන්න එක. My Coach School කියන නමින් හදාගත්තු අන්තර්ජාල ඇකඩමියක් එහෙමත් නැත්තම් ජිම් එකක් තමයි මේ දෙන්නගේ අරුම වැඩේ. ඒක නිකන්ම නිකන් යූටියුබ් ටියුටෝරියල් එකක් බලනවා වගේ නෙවෙයි. මිනිස්සුන්ව හැම පැත්තෙන්ම දැනුවත් කරවන දෙයක්.

 

6. චාර්ල්ස් සහ මාගරට්

මේ දෙන්නාත් ‘දුන් දේ සුවඳයි – කෑ දේ ගඳයි’ කියන මතයේ තමයි ඉන්නේ. මාගරට්ට අනුව නම් අනික් මිනිස්සුන්ට දෙන එක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා වගේ වැඩක් ලු. මේ දෙන්නට සල්ලි තියෙනවා ඇති තරම්. හැබැයි එහෙම කට්ටිය හිතන්නේ කොයි වෙලෙත් තව මඩිය තර කර ගන්න මිසක් ඒවා වියදම් කරන්නවත් නෙවෙයි නේ. මේ තාක් බොහෝ දෙනෙක් වෙනුවෙන් තමන් උපයපු සල්ලි දීලා තියෙනවා. නිකන් ම දෙනවට වඩා බොහෝ පිරිසකට වැඩක් ගන්න පුළුවන් පොදු ස්ථාන හදන වැඩේට දෙන්නා කැමතියි. අලුත් ම එක තමයි සෞඛ්‍ය පර්යේෂණ ආයතනයක් හදන්න ඩොලර් මිලියන 100ක් දෙන්න ලෑස්ති වෙන එක.

 

7. දෘවන් සහ ප්‍රියංකා

මේ දෙන්නා ගෙවල් හැදීමේ ශූරයෝ දෙන්නෙක්. මේසන් බාස්ලා නෙවේ වාස්තු විද්‍යාඥයෝ දෙන්නෙක්. නිකන්ම ගෙයක සැලැස්මක් හදලා මේ දෙන්නා නිකන් ඉන්නේ නෑ. වැඩේට බහිනවා. සැලැස්ම තමයි ලස්සන. මේ දෙන්නා හදන කිසිම ගෙදරකට ෆෑන් එකක් ඕනි වෙන්නෙ නැහැ. අතීතයේ ඉන්දියාවේ මිනිස්සු ඔය මොකක්වත් නැතුව යස අගේට ජීවත් වුණාය ඉතින් අපිට බැරි ඇයි කියලා ඒ අතීතයේ ගම්වල මිනිස්සුන්ගේ දැනුම තමන්ගේ නව දැනුමත් එක්ක මිශ්‍ර කරලා අමුතුම ගතියක් තියෙන ගෙවල් හැදිල්ල තමයි මේ දෙන්නගේ විශේෂත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *