ලාංකේය ඔබ නැරඹිය යුතුම මලයාලම් චිත්‍රපට 7ක්

දැන් අවුරුදු කීපෙකට කලින් ඉඳන් සිරි ලාංකික ප්‍රජාවට නහුතෙටම ගහපු පිස්සුවක් තමයි මලයාලම් ෆිල්ම් බලන එක. ඒක ඇත්තටම හෙන ආදරණීය සහ ලෙංගතු පිස්සුවක්. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ මලයාලම් කතන්දර මනුස්ස හැඟීම් සෑහෙන යථාර්ථවාදී විදියට ඉදිරිපත් කරන එක. අනික් එක තමයි මලයාලම් චිත්‍රපට හැදෙන කේරළයේ මිනිස්සු සහ පරිසරය ලංකාවට වෙනසක් හොයාගන්න බැරි තරමටම සමාන වෙන එක. ඒ සමානකමත් එක්ක ලාංකික ඔබ මේවා නොබලා නම් ඉන්න එපා.

 

1. Lucifer

මේක ඉතින් උඩින්ම දැම්මේ මේ දවස්වල වැඩිපුර ඒ ගැන කතා වෙන නිසා සහ දේශපාලනය කියන්නේ හරිම ලස්සන දෙයක්වත් හරිම කැත දෙයක්වත් නෙවෙයි කියලා ලංකාවේ අපිත් තේරුම් ගන්න ඕනි නිසයි. මලයාලම් සිනමාවේ තරුව කියලා හඳුන්වන මෝහන්ලාල් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ලංකාව වගේම ඉන්දියාවත් දේශපාලන මඩගොහොරුවක්. කිසිම දේශපාලනඥයෙක් සුදු ඇඳගෙන හිටියට සුදු චරිත නෙවෙයි. මේ කතාවේම එක තැනක කියවෙනවා දේශපාලනය කියන්නේ අයහපත සහ අයහපත අතරම වෙන ගැටුමක් කියලා. කොහොමින් හරි මේ චිත්‍රපටයේ මේ ලුසිෆර් කියන චරිතය එළිපිට දේශපාලනය කරන්නෙක් නෙවෙයි. හැබැයි ප්‍රබල චරිතයක්. එහෙම චරිත අපේ රටෙත් ඇති. තව එකක්. ඉන්දියානු ඉතිහාසයේ මලයාලම් චිත්‍රපටයකින් ලබපු ඉහළම බොක්ස් ඔෆිස් ආදායම අරන් තියෙන්නෙත් ලුසිෆර්.

2. Varathan

ගම ගැන අපේ කියවීම සෑහෙන සුන්දරයි. ඒත් එහෙම සුන්දරත්වයක් තිබුණ, නිර්ව්‍යාජ මිනිස්සු හිටපු අපේ ගම් නැති වීගෙන යනවා. දැන් ඇත්තටම නගරයේ ඉන්න මිනිස්සු ගාව හොඳ ගතිගුණ තියෙනවා. හීන් නූලේ මේ ඔක්කොම කියන හොඳ චිත්‍රපටයක් තමයි මේ. ෆාහඩ් ෆාසිල් සහ අයිෂ්වර්‍යා ලක්ෂ්මි තමයි ප්‍රධාන චරිත කරන්නේ. ඩුබායි නගරයේ සැපවත් ජීවිතයක් ගත කරපු ජෝඩුවක් ගම රට බලා එනවා පදිංචියට. හැබැයි ඒ ආවාම ගමේ මිනිස්සුන්ගෙන් අකටයුතුකම් සිද්ධ වෙන්න ගන්නවා. විශේෂයෙන්ම මේ දැරිවිට තමයි ගමේ ඉන්න අසහනකාරයෝ තුන් දෙනෙක් ලොකුවෙන්ම අකටයුත්තක් කරන්නේ. මේකට ඒ දැරිවිගේ මනුස්සයා අන්තිමේ දක්වන ප්‍රතිචාරය තමයි චිත්‍රපටයේ හොඳම කොටස. පරිසරය දිහා බැලුවොත් ඇත්තටම ලංකාවේ ගමක් වගේම තමයි.

3. Bangalore Days

ලංකාවේ අපි දියුණු වෙන්න නගරයට එනවා. මෙහේ ගොඩක් මිනිස්සුන්ගේ සිහින නගරය තමයි කොළඹ. ඒ වගේ ම කේරළයේ පැත්තේ ඥාති සහෝදරයන් දෙන්නෙකුයි සහෝදරියකගෙයි සිහින නගරය වෙලා තියෙන්නේ බැංගලෝරය. ආදරය, සිනහව, වේදනාව කියන මේ දේවල් පත අටකට හින්දලා හරි අපූරුවට කියපු කතන්දරයක් තමයි මේ. අරමුණු වෙනස් වුණාට හීන කැරකුණේ එකම තැනක. කේරළයෙන් මොන තරම් ඈතක වුණත් බැංගලෝරය ජීවිතේ වෙනස් කරවන සාධකය බවට පත් කරගත්තු නෑදෑ බැම්මෙන් බැඳි තරුණයන් දෙන්නෙක් සහ තරුණියක්. IMDb අගයත් 8 පන්නලා. නොබලා බැරි වෙන්න ඉතින් ඉන්නවා දක්ෂ නළුනිළි සෙට් එකක් ම. දුල්කර්, ෆාහඩ්, නිවින්, නස්‍රියා… ඔය මදැයි බලන්න.

4. Premam

මේක නොදාපු මලයාලම් ලිස්ට් හදලා යහතින් වසන්න නෙවෙයි ලංකාවේ. ඒ තරමට අපේ අය ආදරේ කරපු කතාවක් මේක. මලයාලම් සිනමාව සම්බන්ධ එක්තරා විදියක උන්මාදයක් ඇති කරපු කතාවක් කියලා කියන්නත් පුළුවන්. ක්‍රෂ් එක, සිරා ලව් එක, වයිපරේ. මේ චරිත තුන සහ කතා නායකයා වෙච්ච ජෝර්ජ්ගේ ජීවිතේ ගලා යෑම තමයි ඉතින් කතාව. මේක ආදර කතාවක්. මේකේ කතාව තමයි ලංකාවේ අපේ බොහෝ දෙනෙක්ගෙත් ඉරණම් කතාව. ඒ කිව්වේ ඉතින් ඉස්කෝලේ යන කාලේ ට්‍රයි කරපු ක්‍රෂ් එක, සිරා කරන්න දාගත්තු කෑල්ල, අන්තිමේ විවාහ වෙන්නේ වෙන කෙනෙක්. තමන්ගේ කතාව ම වෙන හාදයෙකුට වෙන හැටි බලන එකෙත් අමුතු ආතල් එකක් තියේ නේ? නිවින් පෝලි ජෝජ් විදියටත් සායි පල්ලවි මලර් විදියටත් රඟපානවා. අවශේෂ කාන්තා චරිත දෙක කොරන්නේ මැඩෝනා සෙබෙස්තියන් සහ අනුපමා පරමේශ්වරන්.

 

5. Ottal

මේ චිත්‍රපටයේ කිසිම විදියකින්වත් කවුරුවත් රඟපානවා දකින්න නම් ලැබෙන්නේ නෑ. සීයා-මුණුපුරා සම්බන්ධය ලාංකික අපිට ඇහැට ඇඟිල්ලෙන් ඇනලා උගන්නන්න ඕනි නෑනේ. කේරළෙත් ඒ සිද්ධියමයි. අනාථ දරුවෙක් යනවා තමන්ගේ සීයා එක්ක ජීවත් වෙන්න. ජීවිතේම ඉගෙනගෙන ඉන්නකොට අනේ ලෝක ධර්මය මේ දෙන්නට වද දෙන්න පටන් ගන්නවා. කතාවේ පසුතල හරිම ලස්සනයි. කැමරා කරකවලා අත අරිනවා වගේ. බැලුවට පස්සේ පපුවට ඊයම් බරුවක් බැස්සුවා වගේ හැඟීමක් තමයි එන්නේ. ඒක විඳින්නම ඕනි දෙයක්.

 

6. Rakshadhikari Baiju Oppu

ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ මිනිස්සුන්ට ආගමක්. ඒ ආගම අදහන බැතිමත්තු කියලා අපට නිතර මතක් කරලා දෙන්නදෝ මන්දා තඩිම තඩි ඉත්තෑවෙකුත් අපිත් එක්ක ඉන්නවා. වෙලාවක් හොයන් හරි පිට්ටනියට බැහැලා මැච් පාරක් ගහන්න බැරි නම් බලන් ඉන්න හරි ආසාවක් අපි කාටත් තියෙනවා. බායිජුත් ටිකක් විතර ක්‍රිකට් ගහන කොලු වයස පහු වුණාට මේවාට පණ ඇරලා. බායිජුගේ ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියන්නකෝ, මේකේ තව ක්‍රීඩා වගයකුත් පෙන්නනවා. අපේ රටේ අවුරුදු ක්‍රීඩාවලට සෑහෙන සමානයි. බිජූ මෙනොන් තමයි බායිජූ විදියට එළි බහින්නේ. කොලිටි කොමඩියක් බලනවා නම්.

 

7. Ennu Ninte Moideen

සමහර ආදර කතාවලට ලෝකයේ ආදරය ලැබෙන්නේ නෑ. ආදරේ තිබුණත් දෙන්නට රැඳෙන්න ලෝකයෙන් ඉඩක් නෑ. ආදරයට වාර්ගිකත්වය ගෑවුණාම එහෙම වෙනවා. මේ කතාව මුස්ලිම් ජාතික තරුණයෙක් සහ හින්දු ජාතික තරුණියක්ගේ ඇත්තම ප්‍රේම පුරාණය. මේ දෙන්නා එකතු වුණත් අන්තිමේ දෛවය එක එක විදියට බෝල පාස් කරන්න ගන්නවා. මේ කතාවේ තරුණිය අදටත් ටිකක් වයසට ගිහින් වුණත් ජීවත් වෙනවා. තමන් ආදරය කරපු ප්‍රේමවන්තයාගේ චරිතයට ප්‍රිත්විරාජ් සුකුමාරන්ව දාන්න කියලා තියෙන්නෙත් ඇයමයි…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *