මාකටින් එහෙමත් නැත්නම් ප්‍රචාරණය කියන එක ඕනම ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය දෙයක්. නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම වගේම දැනට සිටින පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ කටයුත්තක් ප්‍රචාරණය මගින් සිද්ධ වෙනවා. නිවැරදි ප්‍රචාරණ උපක්‍රම නිසා ගොඩ ගිය ව්‍යාපාර රාශියක් පිළිබඳව අපට අහන්නට දකින්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට නිෂ්පාදනයේ ගුණාත්මක භාවයටත් වඩා නිෂ්පාදනය පිළිබඳව ප්‍රචාරණය සාර්ථකත්වයට හේතු වෙනවා කිව්වොත් වැරදි නෑ. හැබැයි මේ වගේ ප්‍රචාරණ උපක්‍රමයක් අනිත් පැත්තට පත්තු වුණොත් මොකක් වෙයිද? සමහරක් විට මුළු ව්‍යාපාරයම කොට උඩ යන්න වුනත් පුළුවන්. ඒ වගේම සමහරක් විට ඒ නිෂ්පාදනය සම්පූර්ණ වෙළඳපළෙන්ම අතුගෑවිලා යන්නත් හේතුවේවි. අපි අද කතා කථා කරන්න යන්නේ ඒ වගේ වැරදුණු මාකටින් කැම්පේන් කීපයක් පිළිබඳව.
1. වැරදි ඊමේල් එක
නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඇමරිකා එක්සත් ජනපදය තුළ වගේම ජාත්‍යන්තරවත් ප්‍රකට පුවත්පත් සමාගමක්. එම පුවත්පතේ පළවූ වූ වාර්තාවක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ දේශපාලන ලෝකයේ පවා යම් කැලඹීමක් පහුගිය අවුරුද්දේ දී වාර්තා වුණා. සාමාන්‍යයෙන් බොහෝ දෙනා එම පුවත්පත කියවන්නේ අන්තර්ජාලය මගින්. මේ සඳහා ඔවුන් වාර්ෂිකව යම් ගාස්තුවක් ඒ කිව්වේ වාර්ෂික දායකත්ව මුදලක් ගෙවනවා. ඒ ගාස්තුව ගෙවමින් සිටින අය එම මුදල නතර කරන බවට යම් දැනුම් දීමක් වෙද්දී නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඒ තීරණය පිළිබඳව නැවතත් සිතා බලන්න කියලා ඉල්ලීමක් ඊ මේල් මගින් යවනවා. මේක සාමාන්‍ය සම්ප්‍රදායක් (බොහෝ ආයතන වල මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා) නමුත් මේ ඊමේල් පිළිබඳව කටයුතු කළ පුද්ගලයා වැරදීමකින් අදාළ පාර්ශවයට විතරක් නැතුව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සම්පූර්ණ පාඨක ජාලයටම මේ ඊමේල් පණිවිඩය යවනවා. මේ ඊමේල් ලිපියෙන් අන්ද මන්ද වන ඇතැම් අය මෙතෙක් ගෙවමින් සිටි මුදල නතර කරනවා. මේ වැරැද්ද දින කීපයකින් ඊමේල් පණිවිඩයක් මගින් නැවතත් දැනුම් දෙනු ලැබුවත් ඒ මගින් පාඨක ජාලයට සිදු වූ හානිය අතිවිශාලයි.
2. අලුත් කොකා කෝලා
මේ ගැටලුව ඇති වෙලා නම් දැන් සෑහෙන කල්. ඒ කියන්නේ 1985 දී විතර. අද වගේම ඒ කාලෙත් කොකා කෝලා වල ප්‍රධාන තරගකාරය වෙලා හිටියෙ පෙප්සි. කොකා කෝලා වලට වඩා පෙප්සි වල මිහිරි රසයක් දැනුණු නිසා බොහෝ දෙනා පෙප්සි තෝරගන්න පටන් ගත්තා. මේ ගැටළුවට විසඳුමක් විදිහට කොකා කෝලා සමාගම තමන්ගේ රසයත් වඩා මිහිරි කරන්න උත්සහයක් ගත්තා. නමුත් ඒකෙන් සිද්ධ වුණේ හිතපු නැති දෙයක්. කොකා කෝලා වලට කැමති වෙලා හිටපු පිරිසක් නව රසයට අකමැති වෙන්න ගත්තා. මේ නිසා කොකාකෝලා වලට තමන්ගේ පැරණි අනන්‍යතාවයටම ආපහු එන්න සිද්ධ වුණා. නමුත් කොකා කෝලා සමාගම තමන්ගේ පාරිභෝගිකයන් සමග සමග ගොඩනගාගෙන තිබූ සබඳතාවය මත නැවතත් වෙළෙඳපොළ සාර්ථකව ආක්‍රමණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා.
3. වැරදි වෙබ් එක
QR කෝඩ් ගැන අද වෙනකොට නම් ඉතින් කවුද නොදන්නේ නේද? බොහෝ නිෂ්පාදනවල මේ වෙනකොට QR කෝඩ් අඩංගුයි. ඒ මගින් වෙබ් අඩවියකට හෝ මොබයිල් ඇප් එකකට යොමු කිරීම සිද්ධ කරනවා. මේ ගැටළුව ඇති වුණේ ලෝක ප්‍රසිද්ධ HEINZ සන්නාමයට. ඔවුන් සම බෝතලයකම QR කෝඩ් එකක් HEINZ සමාගමේ වෙබ් අඩවියට යොමු වෙන විදිහට මුද්‍රණය කළා. නමුත් මේ වන විට සමාගමේ වෙබ් අඩවියේ URL ලියා පදිංචි අතපසු වෙලා තිබ්බේ. ඒ නිසා අදාළ URL එක යොමු වුණේ තවත් වෙබ් අඩවියකට. තත්ත්වය දරුණු වුණේ එසේ යොමු වෙන වෙබ් අඩවිය අසභ්‍ය වෙබ් අඩවියක් වීම නිසා.
4. අපි පාවිච්චි කරන්නෙත් වෙන එකක්
වතාවක් බ්ලැක්බෙරි සමාගම තමන්ගේ නවතම ස්මාට් ෆෝන් එකේ ඡායාරූපයක් ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කළා. නමුත් මේ ඡායාරූපයෙන් බ්ලැක්බෙරි සමාගමට යම් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි ඒ ඡායාරූපය හොඳින් පරීක්ෂාවෙන් බලද්දී එය අයිෆෝන් එකක් මගින් ගත්ත ඡායාරූපයක් කියලා පැහැදිලිව පේන්න තිබීම.
5. ඉල්ලුවේ එකක්, ආවේ වෙන එකක්
නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේ නිල ට්විටර් ගිණුම හරහා පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් ජීවිත නිරූපණය වන ආකාරයේ ඡායාරූප එක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබ්බා. මේ හරහා පොලිසිය පිළිබඳව මානුෂික ප්‍රතිරූපයක් ඇති කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වුණා. නමුත් අවාසනාවකට වගේ සියලු දෙනාම එක දිගට පොලිසියේ අකටයුතුකම් පෙන්වන විවිධ ඡායාරූප එම ට්විටර් පණිවිඩයට පිළිතුරු ලෙස රීට්වීට් කිරීමට පටන් ගත්තා.
6. වැරදි කෙනාව තෝරගැනීම
යම්කිසි ව්‍යාපාරයක වෙළඳ දැන්වීමක් සඳහා කෙනෙකු තෝරා ගනිද්දී ඔහු පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කරන්න වෙනවා. මේ ගැටලුවට මුහුණ පාන්න වෙන්නෙ Nike සමාගමට. ඔවුන් තමන්ගේ වෙළඳ දැන්වීමකට ඔලිම්පික් පදක්කම් ලාභියකු වුණු Oscar Pistorius භාවිතා කරනවා. ඔහු එම දැන්වීමේදි “I am the bullet in the chamber” යැයි කියනවා. නමුත් ගැටලුව වන්නේ ඔහුට පසු කාලයකදී වෙඩි තබා මිනී මැරුමක් කිරීම පිළිබඳවචෝදනා එල්ල වීමත් එක්ක.
7. හැඟීම් එක්ක සෙල්ලම් කිරීම
මැක්ඩොනල්ඩ් සමාගම මගින් පළ කරපු වෙළඳ දැන්වීමක් තමන්ගේ මව සමග තම මිය ගිය පියා පිළිබඳව කතා කරන දරුවෙක් නිරූපණය වුණා. එක තැනකදි ඔහුගේ මව කියනවා දරුවා වගේම තාත්තාත් mcdonald මගින් විකුණන සැන්විච් වර්ගයකට කැමතියි කියලා. මේ වෙළෙඳ දැන්වීමටත් ඇති වුණු විරෝධතාව ගැන විශේෂයෙන් කියන්න ඕන නෑ නේද? බොහෝ දෙනා තමන්ගේ නිෂ්පාදන විකුණාගැනීමට මළවුන් පවා භාවිතා කරන බවට mcdonald සමාගමට චෝදනා එල්ල කළා.
මේ ආටිකල් එක පිළිබඳව ඔබේ අදහස් comment section එකේ දක්වන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply