ආසියානු මහද්වීපය කියන්නේ ලෝකේ ලොකුම මහද්වීපය වගේම වැඩිම ජනගහණයක් ඉන්න කලාපය. ලංකාවත් අයිති ආසියාවට. අපිට උඩින් ඉන්න ඉන්දියාවත් ඊට යාබද පාකිස්ථානයත් ආසියාවේ ප්‍රබලම හමුදාවන් ඉන්න රටවල් වලට අයිති වෙනවා. ඒ වගේම අපිට මූදින් දුර වුනත් අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාව, තායිලන්තය එහෙමත් හමුදා බලය අතින් ප්‍රබල රටවල් වෙනවා. ආසියාවේ තියෙන හමුදා බලය අතින් ප්‍රබලම රටවල් මොනවද? අපි ඒ ගැන දැන ගනිමු.
7. පාකිස්තානය
පාකිස්තානය කියන්නේ 1947 දි බිහිවුන පැරණි බ්‍රිතාන්‍ය ඉන්දියාවේම කොටසක්. පාකිස්තානය නිතරම ත්‍රස්තවාදී කලබල තියෙන රටක්. ඒ වගේම දේශපාලන අස්ථාවර බවටත් කාලෙක පටන් පාකිස්තානය හොඳ උදාහරණයක් වෙලා තියෙනවා. කොහොම වුනත් පාකිස්තාන මිලිටරි බලයේ නම් කිසිම අඩුපාඩුවක් ඒවා නිසා සිද්ද වෙලා නැහැ. ඉන්දියාව කියන්නේ පාකිස්තානයට වඩා විශාල රටක්. ඉන්දියාව එක්ක නිතරම පැටලෙන්න බලන් ඉන්න පාකිස්තානයට ඉන්දියාව මට්ටමටම නැතත් හොඳ ඇටෑක් එකක් දෙන්න පුළවන් හමුදාවක් ඉන්නවා කියල මෑතකදි ඇතිවුන ගැටුම් වලින්ම පේනවා. පාකිස්තාන හමුදාව ඉන්දීය හමුදාවට වඩා අවි ආයුධ, යානා වලින් එහෙම වඩාත් නවීන තැනක ඉන්නවා.
6. ඊශ්‍රායලය
ජාතික ආදායමින් ආරක්ෂාව වෙනුවෙන් වැඩිම මුදලක් යට කරන රටක් තමයි ඊශ්‍රායලය. මැද පෙරදිග වටේම සතුරන් සිටින ඊශ්‍රායලය ඒ කිසිවෙකුට දෙවනි නොවී සිය තැන ආරක්ෂා කරගන්න සමත් වුනා. අදත් හමාස් සංවිධානය ගාසා තීරයේ විවිධ පිපිරවීම් වලට මුල පිරුවත් ඒ කිසිවක් ඊශ්‍රායලයට දැනෙන්නේවත් නැති තරම්. තාක්ෂණය යහමින් පාවිච්චි කරන ඊශ්‍රායලයේ තරුණයින් වැඩි පිරිසක් වරක් හෝ හමුදා පුහුණුව ලබලා තියෙනවා.
5. ජපානය
ජපානය දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය වගේම ප්‍රබල රටක් වුනා. මිතුරු හමුදා වලට ජපනා යටත් කරගන්න පරමාණු බෝම්බ දාලා මහා විනාසයක් කරන්නට සිදු වුනා. ජපානයට ලඟින්ම ඉන්නේ චීනය. ඒ වගේම ආසන්න උතුරු කොරියාවත් ජපානයට තර්ජනයක්. ඒ නිසා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මිලිටරි පැත්ත පොඩ්ඩක් පැත්තට කරලා තිබුන ජපානය නැවතත් අවදි වෙන්න පටන් අරන් තියෙනවා. ලෝකයේ පස්වෙනියට විශාලතම ගුවන් හමුදාවත් ඉන්නේ ජපානයට. ලෝකයේ හයවැනියට විශාලතම මුදලක් ආරක්ෂාව වෙනුවෙන් යොදන්නේත් ජපානයම තමයි.
4. දකුණු කොරියාව
දකුණු කොරියා හමුදාවේ ලක්ෂ හයකට වැඩි සෙබළු ප්‍රමාණයක් ඉන්නවා. දකුණු කොරියාව සතුව නවීන තාක්ශණයෙන් සවිමත් යුධ ටැංකි සහ ගුවන් යානා තිබෙනවා. නිතරම ලෝකයේ පුවත් මවන උතුරු කොරියාවේ හොඳම ඉලක්කයක් තමයි දකුණු කොරියාව. ඒ නිසා නිතරම හොඳ සූදානමකින් දකුණු කොරියාව තමුන්ගේ හමුදාවන් තියාගෙන ඉන්නවා. ඇමරිකාවෙන් නිතරම දකුණු කොරියානු හමුදා වලට අභ්‍යාසයන් සිදු කරනවා. කොයි වෙලාවේ උතුර එක්ක යුද්ධයක් ඇතිවෙයිද කියලා දන්නේ නැති නිසා දකුණු කොරියාව තමුන්ගේ ජාතික ආදායමෙන් විශාල කොටසක් හමුදා කටයුතු සඳහා යොදවලා තියෙනවා.
3. තුර්කිය
නේටෝ රටවල් ගත්තාම දෙවනියට විශාලතම හමුදාව ඉන්නේ තුර්කියේ. තුර්කි හමුදාව ලක්ෂ පහකට ආසන්න සෙබළු ප්‍රමාණයකින් සවිමත්. තුර්කියට න්‍යෂ්ඨික අත්හදා බැලීම් සඳහාද යම් අවසරයක් ලැබිලා තියෙනවා. බෝල්කන් තීරයේ සයිප්‍රස් රටේ වගේම ඇෆ්ඝනිස්තානයෙත් සාම සාධක මෙහෙයුම් වලට තුර්කිය දායක වුනා.
2. ඉන්දියාව
ඉන්දියාව කියන්නේ අපිට ආසන්නතම රට. ලෝකයේ පිරිස් බලය අතින් වැඩිම හමුදාවන් අතර ඉන්දියාවත් මුලින්ම ඉන්නවා. ඉන්දියාව එක්සත් ජාතීන්ගේ හමුදාවන් වලට අවස්ථා 35කදී සෙබලුන් ලක්ෂයකට වඩා සහභාගි කරලා තියෙනවා. ඉන්දියාවේ කලක පටන් හතුරා වුණු පාකිස්තානය ඉන්දියානු හමුදාවට තියෙන ලොකු අභියෝගයක්. කාෂ්මීරය නැගෙනහිර ඉන්දියාව සහ ඉන්දීය බෝඩර් ඒරියා වල ගැටුම්කාරී වාතාවරණ වලටත් ඉන්දියානු හමුදා වලට මූණ දෙන්නට සිදු වෙනවා. මීට අවුරුදු තිහකට විතර කලින් ලංකාවට ඉන්දීය හමුදාව ගොඩ වුනා. ඒත් ලංකාවෙදි නම් ඉන්දීය හමුදාවට සාර්ථක වෙන්න බැරිවුනා.
1. චීනය
චීනාගේ හමුදාව සක්‍රිය සෙබළු මිලියන 2.3කින් සමන්විතයි. ලෝක බලවතෙක් ලෙස ඉදිරියට එද්දි චීනය තමුන්ගේ මිලිටරි බලය වැඩිකරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ලංකාවේ හම්බන්තොට වරාය පවරා ගැනීමත් මේ චීනයේ මිලිටරි බලය ව්‍යාප්ත කිරීමේ තවත් එක පියවරක් විදියට ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුනා. චීනය සතුව තිබෙන නාවුක බලය ඉන්දියන් සාගරය දක්වා ව්‍යාප්ත කිරීමට චීනය අදහස් කරගෙන ඉන්නවා.
මේ හමුදාවන් වලට තියෙන පිරිස් බලය, අවි ආයුධ, යානාවන්, තාක්ෂණය ගැන විවිධ තොරතුරු අන්තර්ජාලයේ තිබෙනවා. ඒත් කිසිම රටක් තමුන්ගේ සියලුම මිලිටරි හැකියාවන් කිසි විටක අවට ලෝකයට විවෘත කරන්නේ නැහැ. ඔවුන් යුද්ධයක් ආවිට පාවිච්චි කරන්නට බොහෝ දේ සඟවාගෙන තියාගන ඉන්නවා.
ලංකාවේ හමුදාව ඔක්කොම වාර්තා වෙන විදියට ලක්ෂ දෙකකට වැඩියි. ඒක සෙබළු සංඛ්‍යාව අතින් ලොකු ගාණක්. ජාත්‍යන්තර සහාය ලැබුන එල් ටී ටී ඊය සම්පූර්ණයෙන්ම දණගස්වන්නත් අපේ හමුදාව සමත් වුනා. ඉස්සරහට ඇතිවෙන යුද්ධ තාක්ෂණයෙන් වගේම උපාය මාර්ග වලිනුත් දියුණු වූ යුද්ධ සිදු වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඉතින් ආසියානු රටවල යුධ බලය එක්ක බලලා අපේ හමුදාවනුත් තාක්ෂණයෙන් ඉදිරියට ගන්න එක අපේ රටේ බලධාරින්ගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා.
Leave a Reply