ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි කණපිට හරවමින් තරඟ වෙනස් කරපු සිදුවීම්

 

 

 

ක්‍රිකට් තරඟයක් කණපිට හරවන්න ඉතාම සුළු වැරැද්දක් වුණත් බලපානවා. ඒ වගේම වාසනාව සහ අවාසනාව කියන කරුණුත් ඒකට බලපානවා කියල කියන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රිකට් මැච් එකක් මේ වගේ වැරැද්දක් හෝ අවාසනාවක් නිසා පරාජය වෙන එක ඉවසන්න පුළුවන් වුණත්, ලෝක කුසලාන අවසාන වටයේ තරඟයකදී නොසිතූ වැරැද්දක්, අවාසනාවක් පලදීලා තරඟාවලියෙන් ඉවත්වෙන්න සිදුවීම නම් ඉතාම ශෝක ජනකයි. අපි මේ උත්සාහ කරන්නේ ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තරඟයක තීරණයත්, ලෝක කුසලානයේ ගමන් මගත් වෙනසකට ලක් කරපු හැරවුම් ලක්ෂ 7ක් ඔබට ගෙන එන්නටයි.

 

1. එක පන්දුවට ලකුණු 22ක් රැස් කරන්නට සිදුවූ දකුණු අප්‍රිකානුවන්ගේ අවාසනාව

Image Source – scroll.in

1992 ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව සහභාගි වෙන්නේ ඉතාම අඳුරු කාල පරිච්ඡේදයක් පහු කිරීමෙන් අනතුරුවයි. වර්ගවාදී ප්‍රශ්න නිසා දිගු කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව තහනම්ව තිබ්බ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් වල පුනරාගමනය සනිටුහන් වෙන්නෙ 92 ලෝක කුසලානයේදියි. වර්ගවාදයේ අඳුරු සෙවණැලි පරාජය කරමින් ක්‍රිකට් සටනට එළැඹුණු දකුණු අප්‍රිකාණු කණ්ඩායමට කාගේත් අවධානය සහ කැමැත්ත හිමිව තිබුණා. එහිදී දැඩි සටනකින් පස්සේ එංගලන්තය එක්ක අර්ධ අවසාන තරඟයට සුදුසුකම් ලබන්න දකුණු අප්‍රිකාව සමත් වෙනවා.

ඒ තරඟෙදී මුලින්ම පන්දුවට පහර දෙන එංගලන්තය පන්දුවාර 45කට කඩුලු 6ක් දැවී ලකුණු 252ක් ලබා ගන්නවා (වර්ෂාව හේතුවෙන් තමයි තරඟය පන්දුවාර 45කට සීමා වෙන්නෙ) මේ ලකුණු ප්‍රමාණය සාර්ථකව හඹා යන දකුණු අප්‍රිකානු පිළට අවසානයේදී අවශ්‍යව තිබෙන්නේ පන්දු 13කදී ලකුණු 22ක් ලබා ගන්නටයි. කඩුලු 4ක්ම ඔවුන් සතුව තියනවා. නමුත් අවාසනාවකට ඒ මොහොතේදී වර්ෂාව දැඩි වීම නිසා තරඟය නවතා දැමෙනවා. ඒ කාලෙ වෙද්දි ඩක්වර්ත් ලුවිස් වෙනුවට පැවතියේ වෙනත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට අනුව විනාඩි 10ක වර්ෂා විරාමයකට පසු නැවත පන්දුවට පහර දෙන්නට පිටියට එන දකුණු අප්‍රිකා කණ්ඩායමට එක පන්දුවක් තුළදී ලකුණු 22ක් ලබා ගන්නට සිදු වෙනවා. මේ අවාසනාවන්ත සිදුවීම නිසා ලෝක කුසලානය පෙනි පෙනී තරඟාවලියෙන් ඉවත් වන්නට දකුණු අප්‍රිකානුවන්ට සිදු වෙනවා.

 

2. දකුණු අප්‍රිකානුවන්ට නැවත අවාසනාව කැන්දූ ලාන්ස් ක්ලූස්නර්ගේ දුවද්දී දැවීයාම

99 ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවත්වපු මේ තරඟය සමහරු හඳුන්වන්නේ ලෝක කුසලාන ‘ඉතිහාසයේ හොඳම මැච් එක’ කියලයි. මේ තරඟාවලියේ අර්ධ අවසන් තරඟයට සුදුසුකම් ලබන්නේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවයි. තරඟාවලියේ සුපර් සික්ස් වටයේදීත් මේ දෙපිළ එකට මුණ ගැසෙනවා. එහිදී තියුණු තරඟයකින් අනතුරුව ඕස්ට්‍රේලියාව ජයගන්න සමත් වෙනවා. මේ දෙපිළ දෙවැනි වරට මුණගැහෙන අර්ධ අවසන් තරඟයත් ඉතාම උණුසුම් තරඟයක් බවට පත්වනවා.

ඕස්ට්‍රේලියාව රැස් කරන ලකුණු 213 හඹායන දකුණු අප්‍රිකානුවන් හැල හැප්පීම් මැද වුවත් ජයග්‍රාහී ඉලක්කය ආසන්නයටම එනවා. ඩේමියන් ෆ්ලෙමින්ග් ගේ අන්තිම පන්දුවාරය තුළදී ලකුණු 9ක ඉලක්කයක් දකුණු අප්‍රිකානුවන් ලබාගත යුතු වනවා. ඔවුන් සතුව තිබෙන්නේ එක් කඩුල්ලක් පමණයි. මෙහිදී අවසාන පන්දුවාරයේ මුල් පන්දු 2ටම හතරේ පහර දෙකක් එල්ල කරන ලාන්ස් ක්ලූස්නර් තරඟය ලකුණු සම කරනවා. ප්‍රහාරාත්මක පිතිකරු ක්ලූස්නර් පිතිකරණ අන්තයේ රැඳී සිටිද්දී පන්දු 4කට ලකුණු 1ක් පමණක් ලබාගත යුතුවූ දකුණු අප්‍රිකාව ජයග්‍රහණය තහවුරු වූ තත්ත්වයකයි සිටින්නේ. ඉන්පසුව එවන ලද තුන්වැනි පන්දුවට ලකුණක් ලබාගන්න ක්ලූස්නර් සමත් වෙන්නේ නැහැ. පන්දු තුනකදී එක් ලකුණක් පමණක් ලබාගත යුතුව තිබියදී එවන ඊළඟ පන්දුවේදී ක්ලූස්නර් ඉක්මන් ලකුණකට යනවා. එහා අන්තයේ පන්දුවට පහරදෙන ඇලන් ඩොනල්ඩ් ඒ බව නොදැක පන්දුව යන දිශාවයි බලාගෙන ඉන්නේ. මේ හේතුවෙන් ඉතාම පහසු දුවද්දී දැවී යාමක් වාර්තා කරගන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් වෙනවා.

තරඟයේ ලකුණු සම වුවත්, සුපර් 6 වටයේ වැඩිම ලකුණු ලබාගනිමින් ඉදිරියෙන් සිටියේ ඕස්ට්‍රේලියානුවන් නිසා ඔවුන් අවසන් තරඟයට සුදුසුකම් ලබනවා. දකුණු අප්‍රිකාවේ අවාසනාව තවදුරටත් දිග්ගැස්සෙමින් ඔවුන් ලෝක කුසලානයෙන් ඉවත විසිවෙනවා.

 

3. 96 ලෝක කුසලාන අර්ධ අවසන් තරඟයේ සචින්ගේ කඩුල්ල

ලංකාව සහ ඉන්දියාව අතර ඊඩ්න් ගාඩ්න්ස්හි පවත්වපු මේ තරඟය සහ එහිදී ඇති වූ කළබලකාරී තත්ත්වය පරණ ක්‍රිකට් ලෝලීන්ටනම් අද වාගේ මතක ඇති. තරඟයේ මුලින්ම පන්දුවට පහර දෙන්න පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සනා සහ කලූ ලකුණු පුවරුවේ ලකුණු 1ක් පමණක් සටහන්ව තිබියදී නැවත ක්‍රීඩාගාරය වෙත යනවා. ඉන්පසු පිටියට පිවිසෙන අරවින්ද ද සිල්වා ලෝක කුසලාන ඉතිහාසයේ නොමැකෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 66ක් රැස් කරන්නේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ දමමින්. ඉන්දියාවට ලකුණු 252ක ඉලක්කයක් යොමු වනවා.

දස දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂක ජයඝෝෂා මැද පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුල්ල අඩු ලකුණු ගණනකට දැවී ගියත්. සචින් ටෙන්ඩුල්කාර් සහ සන්ජේ මන්ජ්‍රේකාර් එකතුව දෙවැනි කඩුල්ලට ඉතා දක්ෂ පිති හරඹයක නිරත වෙනවා. ක්‍රම ක්‍රමයෙන් එක් කඩුල්ලකට ලකුණු 100 සීමාවට ඉන්දියාව ළඟා වෙනවා. ඉන් පස්සේ තමයි තරඟය වෙනස් කරන පන්දුව යොමු වෙන්නේ. ටෙන්ඩුල්කාර්ගේ පා ඉන්න දෙසින් පතිතවී දඟ කැවෙමින් ඇතුළට එන පන්දුවක් සනත් ජයසූරිය යොමු කරනවා. මෙයට පහරක් එල්ල කරන්නට උත්සාහ කිරීමත් සමගම ටෙන්ඩුල්කාර් සීමා ඉරෙන් පිටතට පැමිණෙනවා. කඩුලු රකින කලූට කඩුල්ල බිඳ දමා ටෙන්ඩුල්කාර්ව ස්ටම්ප් කරන්නට ගතවන්නේ ක්ෂණයක් පමණයි. එතැන් පටන් ඉන්දීය ඉනිමේ බිඳ වැටීම ඇරඹෙනවා. ලකුණු 98ට එක් කඩුල්ලක් හැටියට වැජඹුනු ඉන්දියාව ලකුණු 120ට කඩුලු 8ක් දක්වා පල්ලම් බහිනවා. ඉන්දීය පරාජය දැකගත නොහැකිව කළබල කරන ඉන්දීය ප්‍රේක්ෂකයන් නිසා තරඟය නවත්වා දමා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබාදීමට තරඟ තීරක ක්ලයිව් ලොයිඩ් තීරණය කරනවා.

 

4. ලෝක කුසලානයක් අහිමි කළ රිවර්ස් ස්වීප් පහර

1987 ලෝක කුසලාන අවසාන තරඟයට සුදුසුකම් ලබන්නේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවයි. ඉන්දියාවේ කොල්කටාවේ තමයි මේ අවසාන තරඟය පැවැත්වෙන්නේ. මෙහිදී මුලින්ම පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 5ට ලකුණු 253ක් වාර්තා කරනවා. දෙවැනියට පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 1දී දැවී යනවා. දෙවැනි කඩුල්ල හැටියට ග්‍රැහැම් ගූච් ලකුණු 35කට දැවී යන්නේ එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 66ක් වශයෙන් දැක්වෙද්දීයි. ඉන් පසුව නොදැවී ක්‍රීඩා කරන බිල් ඇතී සමග පිතිකරණයට එක්වන්නේ එංගලන්ත නායක මයික් ගැටින්ග්. මේ දෙදෙනා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නංවන්න සමත් වෙනවා. බිල් ඇතී පන්දු තෝරා බේරාගනිමින් හෙමින් හෙමින් ලකුණු රැස් කරදීදී, මයික් ගැටිං තරමක් වේගයෙන් තමන්ගේ ලකුණු රැස් කරන්න සමත් වෙනවා. ක්‍රම ක්‍රමයෙන් එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 100 සීමාව පන්නලා ලකුණු 150 දෙසට යන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තු එංගලන්ත ක්‍රීඩා ලෝලී හිත්වල දල්වමින්. නමුත් සියල්ල වෙනස් වන්නට යන්නේ එක් වැරදි පහරක් පමණයි…

පන්දු යැවීමේ වෙනසක් කරමින් ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් පන්දු යැවීමේ වගකීම භාර ගන්නවා. බෝඩර්ගේ පන්දුවකට නොසිතූ ආකාරයට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කරන්නට මයික් ගැටිං පෙළඹෙනවා. එය උඩ පන්දුවක් ලෙසින් නතර වන්නේ කඩුලු රකින ඩයර්ගේ අතේයි. මේ කඩුල්ලෙන් අනතුරුව විටින් විට තවත් එංගලන්ත කඩුලු කීපයක්ම බිඳ වැටෙන්නේ ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රහණය ඔවුන්ගෙන් ඈත් කරවමින්. අවසානයේ ඇලන් ලෑම්බ් එංගලන්ත ඉරණම වෙනස් කරන්නට උත්සාහයක් දැරුවත් ලකුණු 7කින් ඔවුන් පරාජයට පත්වෙනවා.

 

5. 83 ලෝක කුසලානය කොදෙවුවන්ගෙන් පැහැරගත් කපිල් දේවුගේ උඩ පන්දු රැකීම

1983 ලෝක කුසලාන අවසාන තරඟයට කොදෙවුවන් සුදුසුකම් ලබන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වැනි වතාවටයි. ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ ඉන්දියානු කණ්ඩායමයි. මෙහිදී මුලින්ම පන්දුවට පහර දෙන ඉන්දියානු කණ්ඩායමට ලබාගත හැකි වන්නේ ලකුණු 183ක් පමණයි. ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත කොදෙවුවන්ට මෙම ලකුණු සංඛ්‍යාව හඹායාම එතරම් අපහසු වේයැයි කවුරුත් හිතන්නේ නැහැ. කෙසේ නමුත්  පිතිකරණයට පිවිසෙන කොදෙවු කණ්ඩායමේ මුල් කඩුලු එතරම් සාර්ථකත්වයක් ලබන්නට පෙරම දැවී යනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ බලාපොරොත්තු නිවී නොයන්නේ ඒ වනවිට ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලම පිතිකරුවා වන විවියන් රිචර්ඩ්ස් තවමත් කඩුල්ලේ රැඳී සිටි නිසායි. පන්දු 28ක් තුළ හතරේ පහර 7ක් සමගින් ලකුණු 33ක් ලබාගෙන රිචර්ඩ්ස් සිටින්නේ දක්ෂ පිතිකරණයක නියැලෙමිනුයි. නමුත් සියල්ල වෙනස් වන්නට ගතවෙන්නේ සුළු මොහොතක් පමණයි. රිචර්ඩ්ස් විසින් එල්ල කරනු ලබන පුල් පහරක් ඉහළින් ඇදී යද්දී ඒ පසුපසින් හඹාගෙන ගොස් උඩ පන්දුවක් හැටියට රැක ගන්නට කපිල් දේව් සමත් වෙනවා. අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාගාරයට හැරී යාමෙන් අනතුරුව කොදෙවුවන්ට ඉන්දීය ලකුණු ප්‍රමාණය ආසන්නයට ලඟාවීමටවත් අවසර ලැබෙන්නෙ නැහැ.

 

6. ඩිවිලියර්ස්ගේ අත්වැරැද්ද නිසා නවසීලන්තය ඉදිරියට යයි

අවසාන වරට පවත්වපු 2015 ලෝක කුසලාන අර්ධ අවසාන තරඟය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවත් ඕස්ට්‍රේලියාවත් අතරයි. දෙවැනියට පන්දුවට පහර දෙන නවසීලන්තයට ජයග්‍රහණය සඳහා පන්දු වාර 43කදී ලකුණු 298ක ඉලක්කයක් යොමු වෙනවා. ලකුණු 149ට 4 වැනි කඩුල්ල දැවී ගොස් නවසීලන්තය අවාසිදායක මට්ටමක සිටියදී කෝරි ඇන්ඩර්සන් ග්‍රාන්ට් එලියට් සමග එකතුවී ක්‍රම ක්‍රමයෙන් නවසීලන්ත ඉනිම සවිමත් කරනවා. මේ දෙදෙනා එක්ව නවසීලන්ත ලකුණු පුවරුව 200 සීමාව ඉක්මවා ගෙනයන්නටද සමත් වෙනවා. ලකුණු පුවරුව 204ක්ව තිබියදී අවදානම් ලකුණක් සඳහා දිව යන කෝරි ඇන්ඩර්සන්ව ග්‍රාන්ට් එලියට් විසින් හරවා යැවෙනවා. පහසු දුවද්දී දැවී යාමක් කරන්නට ඒ බී ඩිවිලියර්ස්ට අවස්ථාව සැලසුනත් පන්දුව ඔහු අතින් ගිලිහී ගොස් කඩුල්ල ඔහු අතින් බිඳී යනවා. මේ පටලැවිල්ල අස්සේ නැවත තමන්ගේ සීමාව වෙත ළඟා වෙන්නට කෝරි ඇන්ඩර්සන්ට හැකි වෙනවා. ඒ වනවිට ලකුණු 32ක් රැස්කර සිටි ඇන්ඩර්සන් අවසානයේ ලකුණු 52ක් ලබා ගන්නවා. ඔහුගේත් ග්‍රාන්ට් එලියට්ගේත් සම්බන්ධතාවය ලකුණු 252 දක්වා නවසීලන්ත ඉනිම ගෙනයන්නේ දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු සුන් කරවමින්.

 

7. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනගිය බවුචර්ගේ අතපසුවීම

Image Source – crictracker.com

2003 අවුරුද්දෙ ලෝක කුසලානයේ පළවෙනි වටයෙන්ම ඉවත් වෙන්නට දකුණු අප්‍රිකානුවන්ට සිදු වෙනවා. 1992 වාගේම වර්ෂාව නිසා තරඟය නැවැත්වීම හේතුවෙන් තමයි ඔවුන්ට අවාසනාව පල දෙන්නේ. ඒ ලෝක කුසලානයේ මුල් වටයේ දකුණු අප්‍රිකාවත් ශ්‍රී ලංකාවත් සහභාගි වන අවසාන තරඟය දෙපිලටම තීරණාත්මක තරඟයක් වෙන්නේ සුපර් සික්ස්  වටයට පිවිසෙන්න නම් දෙපිළටම මේ තරඟය ජය ගැනීම වැදගත් වූ නිසායි. මෙහිදී මුලින්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 268ක් ලබාගන්නවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාවේ මුල් කඩුලු ඉක්මනින් දැවී යන්නට පටන් ගත්තත් මාක් බවුචර්, ෂෝන් පොලොක් සහ ලාන්ස් ක්ලූස්නර් සමග සාර්ථක සම්බන්ධතා ගොඩනගා ගනිමින් දකුණු අප්‍රිකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එනවා. කොයි මොහොතේ හෝ වර්ෂාව නිසා තරඟය නැවැත්වීමේ අවදානමක් ඇති නිසා ඔවුන් නියමිත ඩක්වර්ත් ලුවිස් ලකුණු වේගයට අනුව ලකුණු රැස් කරමින් තමයි ක්‍රීඩා කරන්නේ.

45 වැනි පන්දු වාරය යැවීම සඳහා මුත්තයියා මුරලිදරන් සූදානම් වන විට දකුණු අප්‍රිකානුවන්ට ඩක්වර්ත් ලුවිස් ඉලක්කය සම කිරීම සඳහා ලකුණු 13ක් ලබාගත යුතු වනවා. මේ ලකුණු සංඛ්‍යාව පන්දු 5ක් තුළදී ලබාගන්නට ඔවුන් සමත් වන්නේ මුරලිගේ 5වැනි පන්දුවට බවුචර් එල්ල කරන හයේ පහරක්ද සමගින්. ඩක්වර්ත් ලුවිස් ලකුණු සංඛ්‍යාව ලබාගෙන ඇති නිසා මුරලිගේ අවසාන පන්දුවට ආරක්ෂාකාරී පහරක් ගසමින් බවුචර් කඩුල්ල ආරක්ෂා කරගන්නවා. ඉන් පසුව වර්ෂාව කඩාගෙන වැටෙනවා. දකුණු අප්‍රිකානුවන්ට තමන් අතින් වුණු වැරැද්ද තේරෙන්නේ එවිටයි. ජයග්‍රහණය සඳහා ඔවුන් ලකුණු 13ක් නොව 14ක් ලබාගත යුතුව තිබුණ අවස්ථාවකයි බවුචර් අවසාන පන්දුවට ලකුණු ලබා නොගෙන ආරක්ෂාකාරී පහරකට යන්නේ. දකුණු අප්‍රිකානුවන් ඒ වනවිට ලබාගෙන සිටි ලකුණු 229 තරඟය සම කිරීමට පමණයි ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසා ලකුණු වේගය අතින් ලංකාවට වඩා පසුපසින් සිටි දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලාන මුල් වටයෙන්ම ඉවත් වනවා. ඔවුන්ගේ නොසැලකිල්ල නිසා ශ්‍රී ලංකාවට සුපර් සික්ස් වටයටත්, ඉන්පසු අර්ධ අවසාන තරඟයටත් සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වෙනවා.