අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් බෑන්ඩ් එකක් පටන්ගන්නවනං මේ ගැනත් හිතන්න

ලංකාව කදිම රසවත් සංගීතයක් උරුම තැනක්. සාම්ප්‍රදායිකත්වය වගේම නූතනත්වයත් මුසු බොහෝ ආකාරයේ ගී සහ සංගීත රටා ලංකාව සතුයි. ඒ ගැන කියද්දි අපි කතා කරන මාතෘකාව අතිශය වැදගත්. ඒ තමයි අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික්. ප්‍රධාන ධාරාවට ඔලුව නොදැමූ යටි පෙළෙහි ආනන්දජනක සංගීතමය වැඩ. ලංකාව පුරා මෙවැනි සංගීත කණ්ඩායම් එකතු කරපු නොයෙක් වූ ඉසවු දකින්න පුළුවන්. මහල්වරාව බේකරියේ ඩවුන් ටවුන් පල්ස්, සන්නස්ගලගේ රෝයල් තැප්රෝබේනියන් හී ෆ්‍රයිඩේ නයිට් වගේම රොක් සැටර්ඩේ හෝ TNL ඔන් ස්ටේජ් වැනි වැඩ අතරේ මේ ආනන්දය විඳින්න පුළුවන්. ඒ නිසාමයි ඒ උණ තියෙන තාරුණ්‍යයට මේ වෙනුවෙන් තමුන්ගෙ ඔලුව ඇතුළෙ කැකෑරෙන දේත් මියුසික් කරලා එළියට දානවනං ඒ වෙනුවෙන් තෝරාගත යුතු මග කියන්නට අපි තීරණය කළේ. ඒ නිසා ප්‍රධාන ධාරාවේ දහ දොළොස් දෙනෙකු එකතු වන සංගීත කණ්ඩායම් නොව ලාංකීය සංගීතයේ යටි පෙළ වෙනුවෙන් එක් විය හැකි සංගීතමය උණ ඇත්තවුන්ට මේ සටහන ප්‍රයෝජනවත් වේවි.

 

1. ඇම්​ම

බෑන්ඩ් එකක් හදන්න මුලින්ම ඕන ආසාව තියෙන මිනිස්සු. ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න පුළුවන් මිනිස්සු. රහක් තියෙන මිනිස්සු. ඒ වගේම තනියෙන් තමුන්ගෙ ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් මිනිස්සු. ඒ සෙට් එක එකතු වෙලා ෆෝමේෂන් එක සෙට් කරගෙන වැඩේ පටන්ගන්න පුළුවන්. මොකද අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් කරන මිනිස්සුන්ට ඒකෙන් සල්ලි හොයන්න වෙන්නැති තරං. ඔවුන්ට රස්සාවක් කරන්න වෙනවා. ඒ නිසාම කැපකිරීම් කළ හැකි සහ හැකියාවන් දියුණු කරගත යුතු වෙනවා. ඒකට ඕන ඇම්ම තියෙන මිනිස්සු. මියුසික් රස වෙනස් වුනත් කමක් නැති ඇම්ම තියෙන මිනිස්සු.

 

2. කවර්ස්

මුලින්ම තෝරගෙන කරන්න වෙනව කවර් වර්ෂන්ස් ටිකක්. මොනවද තෝරගන්නෙ? කියල හිතනවනං කරන්න වෙන්නෙ මෙහෙම ටිකක්. මුලින්ම මේ මොහොතෙ හොඳටම හිට් සින්දු. දෙවැන්න අපේ ප්ලේයර්ස්ලට හොඳටම ප්ලේ කරන්න පුළුවන් සින්දු. ඒ වගේම පරණ සින්දු. අහල පුරුදු නැති ඒත් ලස්සන සින්දු. මේ අතරින් තෝරගන්න ටික කවර් වර්ෂන්ස් කරන්න. ඒවා මේ මොහොතේ තියෙන හොඳම වේදිකාව වෙන යූටියුබ් දාන්න. ඒ ඒ කලාකරුවන්ට ටැග් කරන්න. තවතවත් කවර් වර්ෂන්ස් කරන්න. කවර් වර්ෂන්ස් කරන මිනිස්සුන්ගෙ වීඩියෝ බලන්න.

 

3. වෙනස් වර්ෂන්ස්

මේ විදියට කවර්ස් කරද්දි ඒක විතරක් කරලා ඉන්න පුළුවන් කියල හිතුනත් එහෙම බෑ. වෙනස් වර්ෂන්ස්වලට යන්න. කවර්ස් කරන එකේ කලාව අල්ලගන්න. උදාහරණයකට ලංකාවෙ පැරණි සුභාවිත ගීතයක් වෙනස් සංගීතමය රසයක් එක්ක ගයන්න. රොක් ඇන්ඩ් රෝල් හෝ කන්ට්‍රි සංගීතයේ රිද්මයකට ගැයෙන්නට ගැලපෙන ගීත තෝරාගන්න. ඔබ මුල් ගීතයේම කවර්ස් කරනවාට වඩා වෙනස් වර්ෂන්ස් කිරීමේ වැඩි වටිනාකමක් ඇති වග සිතට ගත යුතුමයි.

 

4. තමුන්ටම

මේ වැඩේ කාලයක් සිද්ධ වෙන කොට තමුන්ටම කියලත් දෙයක් තියෙන එක වටිනා බව වැටහේවි. ඒ ව​ගේම මේ අදහස එක්ක තරමක රිසර්ච් එකක් කරන්නත් වෙනව. ලංකාවෙ මේ වෙද්දි අලුත් පරපුරේ හිට් වුනු ගීත, ඒවයෙ සංගීත ශෛලීන්, ඒවයෙ කතා කරලා තියෙන මාතෘකාවන්, අන්ඩර්ග්‍රවුන්ඩ් සංගීත කණ්ඩායමක් විදියට ක්‍රවුඩ් එකට හරියන දේ වගේ සියළු දේ හිතලා වචන ටිකක් ලියාගෙන, තරමක කාලයක් අරගෙන ඒකට හරියන තනුවක් මියුසික් දාලා, ඒ ගීතය ප්‍රගුණ කරලා, කාලයක් තිස්සෙ ඒ ගීතය ෆිල් කරන්න. පස්සෙ හෙමීට රිලීස් කරලා බලන්න.

 

5. පර්ෆෝම් කරන්න තැන්

ඔන්න වැඩේ. කොහොමත් ගෙදරට වෙලා කැමරාවක් ඉස්සරහ තියාගෙන රෙකෝඩ් කරලා සින්දුවක් යූටියුබ් දානවට වඩා ගතියක් ස්ටේජ් එකක් උඩ සෙනගක් ඉස්සරහ ලයිවු සිංග් කරද්දි තියෙන විත්තිය දන්නවනෙ. දැන් මේක යටි පෙළේ සංගීත ප්‍රයාමයක් හින්දා මෙවුව ටීවීවලට දෙන්න බෑ වගේම ක්ලබ්වල ප්ලේ කරන්නත් බෑ. මේක කරන්න වෙන්නෙ ඒකටම සුවිශේෂ තැන්වල. කොළඹ කොටුව අවට, නුගේගොඩ, කොට්ටාව අවට වගේම පොඩි පොඩි හෝල්වල මෙහෙම වැඩ සිද්ධ වෙන විත්තිය ස්කිට්සෝ, ලෝකල්, වකන්තන්කා, වැගන්පාක්, ඝෝෂා, සෝල්, මියුසික් මැටර්ස් කලෙක්ටිවු වගේ බෑන්ඩ් ටිකක් ෆලෝ කරද්දි වැටහේවි. ඒ තැන්වලට කතා කරල බලන්න. ඔයාලගෙ කලාව ඇතුළෙ කියවෙන දේ ගැන කියන්න. ඉඩක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

 

6. දිගින් දිගටම

ලාබ නොසොයමින් ඇම්ම ගැනම සිතමින් දිගින් දිගටම ප්‍රැක්ටිස් කරන්න. ඒක කිසිම මොහොතක නවත්තන්න එපා. ඒක අඩු කරන්නත් එපා. කල් යද්දි දැන් පුළුවන් කියලා හිතලා වැඩේ නවත්තන්න එපා. දැන් පුළුවන්නම් වෙනිං බැරි දෙයක් තෝරගෙන ප්‍රැක්ටිස් කරන්න. එහෙම ප්‍රැක්ටිස් කරන්න, අලුත් දේ ගොඩදාගන්න උවමනාව හෝ වෙලාව නැත්තං මෙහෙම වැඩක් පටන් ගන්නත් එපා.

 

7. ඒ ඒ ක්‍රවුඩ් එකට ඒ ඒ වින්දනයන්

අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් වෙනුවෙන් ලංකාවෙ ඉන්නෙ තනි ක්‍රවුඩ් එකක්. හැමදාම දකින්න තියෙන්නෙ එකම මූණු. අන්ඩර්ග්‍රවුන්ඩ් බෑන්ඩ් එකකටත් ඉතුරු වෙන්නෙ ඒ විදියෙම අන්ඩර්ග්‍රවුන්ඩ් ඉඩක් නිසා එයාලට වෙනස් වෙනස් ඕඩියන්ස් මුණගැහෙයි කියල හිතන්න අමාරුයි. එහෙමයි කියල අපි මේ කියන එක අදාළ නොවෙන්නෙ නෑ. උදාහරණයකට පාසල් සිසුන් සහභාගි වෙන තැනක් වුනොත්, වෙනත් කලා උළෙලක අතරේ කෙරෙන වාදනයක් වුනොත්, ඔබේ සාමාන්‍ය රාත්‍රියක මිතුරන් අතරේ කරන ගීත ගායනයට වඩා වෙනස් තැනක, ​මොහොතක් වුනොත් ඔබ මෙය වටහා ගෙන ඔවුන්ට අනුව අනුගත විය යුතුයි.ඔබට ඒ හැකියාව තිබිය යුතුයි.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *