පවුලෙ අය එක්ක ට්‍රිප් ගිහින් මේ දේවල් නොකර ඉන්න තරමට හොඳයි

අපිට එදිනෙදා ජීවිතේ ට්‍රිප් යන එක හිතලා හෝ නොහිතා සිද්ධ වෙනවනෙ. එක්කො අපි ට්‍රිප් ඕගනයිස් කරනව. නැත්තං අනිත් අය ඕගනයිස් කරන දේකට සෙට් වෙනව. සමහරවිට අපිට නොහිතන විදියට ට්‍රිප් යන්නම වෙනවා. මොකද ඉතිං දුර ඈත යද්දි මළගෙවලුත් ට්‍රිප්නෙ. අන්න ඒ නිසා ට්‍රිප් යන එක අපි හිතලා හෝ නොහිතා සිද්ධ වෙන දෙයක්. අපි මීට කලිනුත් කියල තියෙනව ඔෆිස් ට්‍රිප් ගියාම කරන්න නොකරන්න ඕන දේවල් ගැන. හැබැයි මේ දේවල් ඊට වඩා වෙනස්. මොකද මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ඒ තමයි උපන්න දවසෙ ඉඳන් දන්න නෑදෑයො එක්ක ට්‍රිප් යන එක. මෙන්න මේ පවුලේ කට්ටිය එක්ක යන ට්‍රිප්වලදි මෙන්න මේ ලක්ෂණ පුළුවන් තරං යටපත් කරගෙන ඉන්න එක හොඳයි.

 

1. ලෝබ වෙන්නෙපා

මේක අංක එක. සාමාන්‍යයෙන් ඔෆිස් ට්‍රිප්වලට නං ඔෆිස්වලින් වියදං කළාට පවුලේ ගමන් පවුලේ අයගෙ වියදමෙන්නෙ යන්නෙ. අන්න ඒ වගේ අවස්ථාවක කීයටවත් ලෝබ වෙන්නෙපා. මං දීලා මං කනවනෙ, මුංට මොකටද මං දෙන්නෙ වගේ දේවල් හිතන්න එපා. එහෙම හිතන්න වෙන කවදාවත් වියදමක් නොකරන අවුල් ඩයල්ස් එක්ක ට්‍රිප් යන්නත් එපා. මොකද ඔය ලෝබ කම කියන එක තමුන්ට සල්ලි ඉතුරුවක් වගේ දැනුනට පිටට පෙනෙද්දි හරිම නරක විදියට පේනවා සහ ඒක කැතයි. ඒ නිසා ​ලෝබ වෙන්නෙපා. කොහොම කරත් සල්ලි සම්බන්ධයෙන් කෙනෙකුගෙ හිතේ අවුලක් ඇති වෙන එක හොඳ දෙයක් නෙමෙයි. පොදුවේ වියදං කරන්න ඉන්න තැනක කවුරුන් හෝ නිර්ලෝභීව වියදං කරොත් ඊළඟ අවස්ථාවක් ඒ මනුස්සයටම දීලා මගහරින්න එපා. විදෙස් රටක ඉඳන් ආපු මනුස්සය එන්නෙ මහන්සි වෙලා හම්බුකරපු සල්ලි අරගෙන. ඒක අපි වෙනුවෙන් වියදං කිරීම යුතුකමක් කියල හිතාගෙන හාන්සි වෙලා ඉන්නෙපා.

 

2. වැඩිහිටි පොඩිහිටි

සාමාන්‍යයෙන් යාලුවො සෙට් එක ට්‍රිප් යනකොට ඉන්නෙ සම වයස් සෙට් එකක්නෙ. ඒ අයගෙ ඕන එපාකං බොහෝ වෙලාවට හොඳටම ගැලපෙනවා. ඒත් පොඩ්ඩොයි වයසක උදවියයි එක්ක යන පවුලේ ට්‍රිප්වලදි එහෙම බැහැනෙ. එහෙම වැඩකදි වැඩිහිටියො යන්න කැමති කොහෙද? පොඩිවුන්ට ආතල් එකක් තියෙන්නෙ කොහෙද? වැඩිහිටියො ගාව බිවුවට කමක් නැද්ද? පොඩ්ඩොන්ට කන්න පිරිසුදු තැන් තියෙනවද? අපරිස්සංකාර නාන තැන් අවට තියෙනවද? කියන හැම දේම බලන්න ඕන. ගමනාගමනයේ සුවපහසුව වගේම මෙහෙම ට්‍රිප් ගිහිල්ල කට පරිස්සං කරගෙන ජීවත් වෙන එකත් අතිශයින් බලපානවා. මොකද වැඩිහිටි පොඩිහිටි හැමෝගෙම හිත් හැදෙන්න එපැයි.

 

3. හැමෝම හැමදේම

සාමාන්‍යයෙන් පවුලේ ට්‍රිප් ගියාම සමහරුන්ගේ ඔපීනියන්ස්වලට යටත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්නෙ. හැබැයි එහෙම නොවී ඉන්න තමුන් දැනගන්න ඕන. ඒ වගේම ඔය කියන වැරැද්ද තමුන් අතින් සිද්ධ නොවෙන්නත් වග බලාගන්න ඕන. හැමෝම පන්සල් යන්න ඕනද? මේ කෝවිලට නොගියොත් ආපු ට්‍රිප් එකෙන්ම වැඩක් නැද්ද? මෙතන නාන්නෙ නැතුව ෂවර්වලින් නාලද කට්ටිය ට්‍රිප් එකේ ආතල් ගන්න හදන්නෙ? වගේ අනිත් මිනිස්සුන්ට තමුන්ගෙ ඔපීනියන්ස් බලෙන් පටවන්න යන්නෙපා. ඒක අතිශය නරක වැඩක්. මිනිස්සුන්ට තමුන් කැමති දේ කරන්න දෙන්න. තාත්තා නාන තැනින් පුතාත් නාන්න ඕන නෑ. අනික හැම දේටම හැමෝම සහභාගිවෙන්න මේවා ඔෆිස්වලින් බොරුවට වියදං කරලා කරන ට්‍රේනිං නෙමෙයිනෙ.

 

4. පරම්පරාවටම එකයි

නෑයො ඉස්සරහ ඔයා චාටර් වුනොත් ඔයා විතරක් කතා අහගෙන නවතින්නෙත් නෑ. ඒ වගේම එක පාරින් ඒ කතාව නිමවෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ට්‍රිප් ආවා කියල හිතූ පරිදි ආතල් ගන්න පවුලේ ට්‍රිප්වලදි නං හිතන්න එපා. මොකද ඔය ට්‍රිප්වල ආතල් අරං දෙමවුපියොන්ටත් එක්ක කතා අහල නවතින්න ඕන නැහැනෙ. අන්න ඒ නිසා අපි මේ කියන කාරණාව තේරුං අරගෙන අරක්කු බොන ඒවා පමණට කරලා කාන්තා ආකර්ෂණය ලැබෙන්න යන අවස්ථා චාටර් නොවෙන පරිදි ගොඩ දාගන්න. මොකද එහෙම නැ​තොත් සිද්ධ වෙන අලාබ හානිය ඉහළයි. පවුල් කියන්නෙ අතෑරලා දාන්න පුළුවන් ඒවා නෙමෙයි. වෙනිං ජොබ් එකකට ගිහින් සිද්ධ වෙච්ච අවුල් අමතක කරනව තරං ලේසියෙන් මේ වැඩ කරන්න බැහැ.

 

5. මං පොර

නඩේ ගුරා කන්සෙප්ට් එක දැන් ට්‍රිප්වලින් බොහෝදුරට වියැකිලා ගිහින්. ඒක එහෙම වෙන්නෙම බාල පරම්පරාවට සිද්ධ වෙන අසාධාරණකං තේරෙන නිසායි. වන්දනා ගමනක් යනවනං ඇරෙන්න පාරම්පරික වටිනාකං කවුරුත් කටපාඩමෙන් දැනගන්න ඕන නෑ වගේම ඒ දේවල් සිද්ධ කරන්නත් එපා. හැබැයි ඔය කියන දේවල් මොඩනයිස් විදියට මේ කාලෙත් සිද්ධ වෙන නිසා මෙන්න මේ කියන කාරණාවලිනුත් ඈත් වෙන්න.  ට්‍රිප් එක යන අය සින්දු කියන්න පටන් ගන්න ඕන කොයි වෙලාවටද ඇතුළුව, මෙතන කඩෙන් හැමෝම බහින්න යනාදී වූ උපදෙස් දීම් සිද්ධ කරන්න එපා. හැම දෙයක්ම සාකච්ඡාවෙන් තීරණ ගන්න එක තමයි හොඳ. වයසට ගියා කියල ඔයා කියන උත්තර හැම දේම හරි නැහැ.

 

6. වෙන වැඩ

ට්‍රිප් ගියාම වෙන වැඩ අතාරින්න. ට්‍රිප් එක ආවෙ ආතල් අරං යන්න නං නෑදෑ හැමෝම එකතු වෙලා ඒ ආතල් එක අරං යන්න. ට්‍රිප් එක යන තැනට කි​ලෝමීටර් 20ක් ඈතින් තියෙන මල් පැළ විකුණන තැනටත් ගිහින් වෑන් එක ඇතුළෙ තමුන්ගෙ කැමැත්තට රෝස පඳුරු වගා කරගෙන එන්න එපා. ට්‍රිප් එක යන අතරෙම ළඟ තියෙන තමුන්ගෙ ඔෆිස් එකේ ශාඛාවට ගිහින් පැය දෙකක් විතර එතන වැඩකට කාලෙ කන්න එපා. යන එන අතරමග තමුන්ගෙ බිස්නස් එක කරගන්න ගිහින් වර්චස් වෙන්නත් එපා. එක ගලෙන් කුරුල්ලො දෙන්න දඩයං කරන තියරි අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදියට කරන්න එපා.

 

7. හිතුමතේ

ට්‍රිපක් යන්නෙ ප්ලෑනක් ගහලනෙ. ඒ ප්ලෑන් එකටම වැඩ සිද්ධ නොවෙන හේතුත් තියෙන්න පුළුවන්. ඒ අවස්ථා තේරුං ගන්න. නිකමට හිතන්න එක් තැනක ගත කරපු කාලය වැඩි වුනා කියල. එහෙමත් නැත්තං මහ මග ගහක් කඩාගෙන වැටිලා පැය දෙකක පරක්කුවක් එකතු වුනා කියල. ඒ වෙලාවට ට්‍රිප් එකේ සංශෝධන කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ වෙලාවට හිතුමතේ තීරණ ගන්නෙපා. ඔයා වෑන් එකේ ඉස්සරහ සීට් එකේ ගිය පළියට ඔයා දුන්හිඳ දියඇල්ල නොබල යන්න ඕන කියල ගන්න තනි තීරණේට හැමෝවම යට කරගන්න එපා. ඒ වගේ දේවල් සාකච්ඡාවකින් සිද්ධ කරන්න වග බලාගන්න.

 

මේ සටහන ලියන්න තියෙන ලොකුම හේතුව බක් අග සහ වෙසක් මුල් කාලයේ අපේ අය යන පවුල් ට්‍රිප් ප්‍රමාණයමයි. නෑදෑයො අතරෙ හිත් නොහොඳ වෙලා එනවට වඩා මේ දේවල්වලට එකඟ වෙලා ගමනක් යන එක අතිශය වටිනව කියල සිහිය තියාගත්තොත් ගොඩ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *