ඉන්දියාවෙන් බුද්ධාගම අතු ගෑවිලා යන්න ප්‍රධානම හේතුව වුණේ මුස්ලිම් ආක්‍රමණ. එතෙක් කල් හින්දු ආගමිකයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ රැකගෙන ආපු බෞද්ධ විහාරාරාම සම්පූර්ණයෙන්ම භික්ෂූන් වහන්සේලා සමඟ ගිනිබත් කරල දාන්න මුස්ලිම්වරු කුරිරු විදිහට කටයුතු කළා. භික්ෂු සමාජයක පැවැත්මකින් තොරව බුද්ධාගම රැකෙන්නේ නැහැ. මේ නිසා සංඝ සමාජයෙන් තොර වුණු බුද්ධාගම, පරම්පරා කීපයකින් ඉන්දීය සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. අපි අද කතා කථා කරන්න යන්නේ මේ මුස්ලිම් ආක්‍රමණය නිසා බෞද්ධයන්ට අහිමි වුන පුරාණ ඉන්දියාවේ පැවැත්වුණු විශ්ව විද්‍යාල කීපයක් ගැන. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේවා බෞද්ධයන්ගේ උරුමයන් වගේම මානව සංහතියේ උරුමයන්. මෙම විශ්ව විද්‍යාලවලින් ඇති කරපු බුද්ධි සම්ප්‍රදාය දිගටම පැවතුණා නම් ඇතැම් විට අප ජීවත්වන ලෝකය මීට වඩා වෙනස් වෙන්න වුණත් ඉඩ කඩක් තිබ්බා. විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල වල තිබුන පුස්තකාලවල දැනුම් සම්භාරය මේ ආක්‍රමණය නිසා අපිට සදහටම අහිමි වුණා.
1. පුෂ්පගිරි විශ්ව විද්‍යාලය
වර්තමාන ඔරිස්සාවේ පිහිටලා තිබ්බ පුෂ්පගිරි විශ්වවිද්‍යාලය 11 වන සියවස දක්වා තමන්ගේ ආගමික සහ අධ්‍යාපන කටයුතු සිද්ධ කළා. ලලිතගිරි, රත්නගිරි සහ උදිත ගිරි යන කඳු ශිඛර ආශ්‍රිතව මෙම විශ්වවිද්‍යාලය පැතිරිලා තිබ්බා. ජනප්‍රවාදවලට අනුව අශෝක අධිරාජයා විසින් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කරලා තියෙනවා. මුලින් ථෙරවාදී සම්ප්‍රදාය කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යාපන කටයුතු සිද්ධ වුණත් පස්සෙ කාලෙක මහායාන සම්ප්‍රදායට බරවෙලා මෙහි අධ්‍යාපන කටයුතු සිද්ධ වුණා කියලා විශ්වාස කෙරෙනවා. ඔරිස්සාවට එල්ල වුණු මුස්ලිම් ආක්‍රමණත් එක්ක පුෂ්පගිරි විශ්ව විද්‍යාලයත් විනාශ වෙලා අතීත මතකයක් බවට පත් වුණා .
2. ඕදන්තපුර විශ්ව විද්‍යාලය
ටිබෙට් සහ චීන වාර්තා වලට අනුව දොළොස් දහසක පමණ ශිෂ්‍ය පිරිසක් ඉගෙනගත්ත මේ ඕදන්තපුර විශ්ව විද්‍යාලය පිහිටලා තිබුණේ වර්තමාන බිහාරයේ. මේ විශ්වවිද්‍යාලය පාලි රාජවංශයේ ගෝපාල නම් රජු විසින් ආරම්භ කරපු විශ්ව විද්‍යාලයක් කියලා සැලකෙනවා. අටවැනි ශතවර්ෂයේ ඉඳන් දොළොස් වැනි ශතවර්ෂය වෙනකන් අවුරුදු 400ක් බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කැප වුණු මේ විශ්වවිද්‍යාලය භක්තියාර් කිල්ජි නම් මුස්ලිම් ආක්‍රමණිකයා විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශයට පත් කළා.
3. ජගද්දලා විශ්ව විද්‍යාලය
පාල රාජවංශයේ රම්පාල නම් රජුගේ අනුග්‍රහය යටතේ ඉදිවුණු ජගද්දලා විශ්වවිද්‍යාලය පිහිටා තිබුණේ වර්තමාන බංග්ලාදේශයේ. ජගද්දලා විශ්වවිද්‍යාලය වජ්‍රයාන සම්ප්‍රදායේ භික්ෂූන් වහන්සේලාගේ කේන්ද්‍රස්ථානයක් වුණා. අද පවා ටිබෙට් ජාතිකයන්ගේ පූජනීය ග්‍රන්ථ වල අඩංගු බොහෝ පොත පත ලියැවී ඇත්තේ ජගද්දලා විශ්වවිද්‍යාලය තුළයි. මුස්ලිම් ආක්‍රමණිකයන් අනෙකුත් විශ්ව විද්‍යාල විනාශ කරන බව ආරංචිය ලද වහාම ජගද්දලා විශ්වවිද්‍යාලයේ බොහෝ පඬිවරු තමන්ට රැගෙන යා හැකි පොත පත රැගෙන ටිබෙටය වැනි රටවලට පළා ගියා. මේ නිසා ටිබෙටය තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා.
4. සෝමපුර විශ්ව විද්‍යාලය
මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න මුල් වෙන්නෙත් පාල රාජවංශයේ රජ කෙනෙක්. ඔහු ධර්මපාල රජු. මේ විශ්වවිද්‍යාලය තුළ බුද්ධාගම ජෛන ආගම සහ හින්දු ආගම තුලනාත්මකව හැදෑරීම සිදු කළා කියල සඳහන් වෙනවා. අක්කර 27ක භූමි භාගයක් පුරා පැතිරුණ මෙම විශ්ව විද්‍යාලයටත් අවසානයේදී මුස්ලිම් ආක්‍රමණ හමුවේ පරාජයට පත් වෙන්න සිද්ධ වුණා .දොළොස් වන සියවසේ සිට දහනවවන සියවස දක්වා මතකයෙන් ඈත් වෙලා තිබ්බ සෝමපුර විශ්වවිද්‍යාලය නැවතත් කැණීම් මගින් තහවුරු කරන්න පටන් ගත්තේ 1920 දී.
5. වලභි විශ්ව විද්‍යාලය
ඉන්දියාව තුළ බිහිවුනු එකම ථෙරවාදී විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ වලභි විශ්වවිද්‍යාලය. එය පිහිටා තිබුණේ වර්තමාන ගුජරාට ප්‍රදේශයේ. මේ විශ්ව විද්‍යාලය තුල බුද්ධාගම පමණක් නොව වෙනත් ලෞකික විද්‍යා සහ ශිල්ප ඉගැන්වූ බවට විශ්වාස කෙරෙනවා. උදාහරණයක් විදිහට නීති ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය වැනි විෂයය බටහිර විශ්ව විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට සිතීමටත් පෙර කාලයේ වලභි විශ්ව විද්‍යාලය තුළ උගන්වා තිබෙනවා. චීන දේශාටකයකු වන හියුන්සාං නම් භික්ෂුව කියන විදිහට ඒ වන විට භික්ෂූන් වහන්සේලා හය දහසක් සහ විහාරාරාම සීයක් වලභි විශ්ව විද්‍යාල සංකීර්ණය තුළ පැවතිලා තියෙනවා. මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් පළමු වරට වලභි විශ්වවිද්‍යාලය විනාශ කළත් එය නැවත වතාවක් ගොඩනැගීමට එම ප්‍රදේශය පාලනය කළ රජවරු සමත් වෙනවා. නමුත් දෙවෙනි වතාවට විනාශ කිරීමෙන් පසුව නම් වලභි විශ්වවිද්‍යාලය නැවත ගොඩනැගෙන්නේ නෑ.
6. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය
වික්‍රමශීලා විශ්වවිද්‍යාලය ගොඩ නගන්නෙත් පාල රාජ වංශයේ, ධර්මපාල රජු විසින්. වර්තමාන බිහරයේ පිහිටලා තිබුණු මේ වික්‍රමශීලාව තන්ත්‍රයානික බෞද්ධයන්ගේ ඉගෙනුම් කේන්ද්‍රස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය සහ නාලන්දා විශ්ව විද්‍යාලය අතර තරගයක් පැවතිලා තියෙනවා. මේ විශ්ව විද්‍යාලයත් අවසානයේ විනාශ කර දමන්නේ භක්තියාර් කිල්ජි විසින්.
7. නාලන්දා විශ්ව විද්‍යාලය
නාලන්දා විශ්ව විද්‍යාලය සැලකෙන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ බිහිවූ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය විදිහට. චීනය, ග්‍රීසිය, පර්සියාව වැනි රටවලින් ඉගෙනීම සඳහා නාලන්දාව වෙත ශිෂ්‍යයන් පැමිණිලා තියෙනවා. ඒ වගේම ඉන්දීය රජ වරු පමණක් නොව ඉන්දුනීසියාවේ ශෛලේන්ද්‍ර රාජවංශයේ රජවරු පවා නාලන්දාවට අනුග්‍රහය දක්වා තිබෙනවා. නාලන්දාව ආරම්භ කිරීමට මුල් වූයේ ගුප්ත රාජ වංශිකයන් ලෙස විශ්වාස කරනවා. ඒ පස්වැනි සියවසේ දී. නාලන්දාවේ සුවිශේෂී පුස්තකාල සංකීර්ණයක් පැවැති බවට සාක්ෂි හමු වෙනවා. එය රත්න සාගර, රත්න නිධි, රත්නජංක යන නම්වලින් හැඳින්වුණු පුස්තකාල තුනක එකතුවක්. අවසානයේ දී භක්තියාර් කිල්ජි විසින් මෙම විශ්ව විද්‍යාලයේ සියලුම නේවාසික භික්ෂුන් වහන්සේ ඝාතනය කරලා මුළු මහත් විශ්ව විද්‍යාලයටම ගිනි තබනවා.
වෙනදා වගේම මේ ආටිකල් එක ගැනත් ඔයාගේ අදහස් පළ කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ආටිකල් එක ෂෙයාර් කරලා අනිත් අයටත් කියවන්න අවස්ථාව දෙන්න.
Leave a Reply