බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ. බලාපොරොත්තු කඩ වීම කවුරුත් නොහිතන තරමට හිත් අසරණ කරවන දෙයක්. මේ අතරින් නිතර බලාපොරොත්තු ඇති කරවන, බලාපොරොත්තු සාර්ථක කරවන සහ බලාපොරොත්තු බිඳ හෙලන දෙයක් වෙනවානම් ඒ ක්‍රීඩාවයි. ලංකාවෙ ඈයො ටීම් බෙදාගෙන පිස්සුවෙන් වගේ බලන ප්‍රධානම ක්‍රීඩාව ක්‍රිකට්. ඊටපස්සෙ ඒ තැන ලැබෙන්නෙ ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාව වුනු ෆුට්බෝල්වලට. කොහොමින් හරි මේ නිසා බොහෝ අය හිත් රිදවාගන්න තරම අතිශය ඉහළයි. ඒ විත්තිය ෆේස්බුක් ස්පෝට්ස් පේජස් බැලුවත් වටහාගන්න පුළුවන් දෙයක්. අපි මේ කියන්නෙ මේ විදියට අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න සහ ආදරය කරන ක්‍රීඩා කණ්ඩායම් පරාජය වුනාම අපිට කොයිතරම් දුකක් දැනෙනවද කියන එකෙන් පස්සෙ කතාව ගැන. ඒ තමයි මේ සිදුවීමෙන් අපේ මේ දුක වැඩි කරවන්න පුළුවන් හේතු. දුක තද කරන් කියවන්න.
1. ෆෙලෝ ෆෑන්ස්
ෆෑන්ස්ලා දැන් තමුන්ගෙ ටීම් එක පැරදුනු දුකින් ඉන්නකොට ඔවුන්ට තවත් වැඩියෙන් ඒ දුක දැනෙන්නෙ ඒ සිදුවීම් ආයෙ ආයෙත් මතක් වුනාමනෙ. ඉතිං ඕවා මතක් වෙන හොඳම අවස්ථාවක් විදියට ෆෙලෝ ෆෑන්ස්ලාගේ මුණගැසීම දක්වන්න පුළුවන්. මොකද ඉතිං එයාලත් ඉන්නෙ දුකෙන්නෙ. එකිනෙකා මූණු දැකපු ගමන් මතක් වෙන්නෙ තමුන්ගෙ ටීම් එකේ පරාජය. එතන ඉඳන් එයාලා කතා කරන්නෙ ඒ ගැනමයි. ඒ කතාවල් ඉවර වෙන්නෙ දුක්වෙන්න තවත් හේතු ඉතිරි කරලයි.
2. හතුරෝ
ෆෙලෝ ෆෑන්ස්ලා නං ඇත්තටම මේ සිද්ධි ආයෙ ආයෙ කතා කරන්නෙ හිත ඇතුළෙ කැකෑරෙන ගින්න නිසානෙ. හැබැයි මේ කිසිම ගින්නක් හිතේ නැතුව පුදුම සතුටකින් ජීවත් වෙන අදාළ කණ්ඩායමේ හතුරෝ ඒ කණ්ඩායමේ ෆෑන්ස්ලට රිද්දන්නත් මේ සිදුවීම් සිහිපත් කරනවා. ඉතිං හතුරෝ ඒ පැරදීම සහ ඒකට හේතු වුනු සිද්ධි වගේම ගොතපු කතාත් එකතු කරලා හදන මඩ දැක්කම ෆෑන්ස්ලාගෙ හිත් සොවින් තැවෙනවා. හිතේ තියෙන දුකට උත්තර දීගන්න බැරි වුනත්, අසරණ කමත් එක්ක එන ලොකු කෝප ගින්නක් එයාලා ඇතුළෙ ඇතිවෙනවා. ඊටපස්සෙ ඉඳන් එයාලා බලං ඉන්නෙ සතුරාට වරදිනකං.
3. ස්ක්‍රීන්ෂොට්
ස්ක්‍රීන්ෂොට් ගොඩක් වෙලාවට අපිට ප්‍රයෝජනවත් වෙනවා. බොහෝ අය සාක්කි තියාගන්නත් ස්ක්‍රීන්ෂොට්ස් පාවිච්චි කරනව. ඒ වුනත් මේ සාක්කි අපිට විරුද්ධවත් එකතු වෙන අවස්ථා තියෙනවා. ඒ මොනවගේ අවස්ථා කියලද හිතුවෙ? නිකමට හිතන්නකො මෙහෙම. අපිටත් ඉතිං පොර ටෝක් දෙන්න මැච් දිනන්නම ඕන නැහැනෙ. අපේ ඉන්නවනෙ ලොකු ඉත්තෑවො. ඔන්න මාලිංග අයිපීඑල් එකේ වැඩ පෙන්නුවාම එයා නිසා අපි වර්ල්ඩ් කප් ගේනවා වගේ කතා පෝස්ට් කරනව. ඊටපස්සෙ ගේන්න බැරි වුනාම අපි ඒවා නොදාපු ගාණට පෝස්ට් ඩිලීට් කරනව. ඒත් අපේ යාලුවොයි කියන උන්දැලා ඊට පස්සෙ ඒවයෙ ස්ක්‍රීන්ෂොට් ආයෙ අප්ලෝඩ් කරනව. දුකක් තමයි.
4. ඇස රැඳුන රුඳුන තැන්වල
නිකමට රතු පාට කාර් එකක් ගැන හිත හිත පාරට බැස්සොත් පේන්නෙම රතු කාර්නෙ. අන්න ඒ වගේ තමයි මේකත්. මැච් එක පැරදිලා සති දෙකක් ගිහිල්ලත් ටීවී එකේ පේන්නෙ අපි පරදින වීඩියෝ. ෆේස්බුක් එකේ ෂෙයා වෙන්නෙ අපිට ගහන වීඩියෝ. ඉතිං ඇස රැඳුන රැඳුන තැන්වල දුකම තමයි. මොකෝ ඉතිං ඇස් ගලවගන්නද? ටීවී චැනල්වලට අපි පරදින ඒවා දාන්න එපා කියන්නද?
5. තවත් කාලයක්
මේකත් යම් පැරදීමක තියෙන කුජීතම සිද්ධියක්. ඒ තමයි මේ පරාජයන් නිසා අපේ කට වැහිලා යෑමේ දුක. ඒක වෙන්නෙ මෙහෙමයි. දැන් අපි අනාගතේ දවසක කාටහරි මේ විදියෙ ස්පෝට්ස් මඩක් ගැහුවොත් එයාලට අපිට රිටර්න් එක දෙන්න මේ පරාජය නියම පොයින්ට් එකක් වෙනවා. ඒ නිසා අපි සමහර වෙලාවට අනුන්ට කතාවක් කියන්නත් බය වෙනවා. ඇයි ඉතිං මූ අපේ මේ කතාව ඇද්දොත් අපි නෝන්ඩිනෙ. කරුමයක් තමයි.
6. ගෑනියි අම්මයි
මේ වගේ පරාජයකට පස්සෙ ගෙදරින් එල්ල වෙන බලපෑමත් ලොකු අවුලක්. ගෑනියි අම්මයි කියන කතා ඇහුවම ආණ්ඩුවෙ දත් දොස්තරගෙ කතා තව හොඳයි කියල හිතෙනව. පුදුම දුකක් මේක. මහ රෑ ඇහැරගෙන බැලුවෙ ඕකටද? වගේ ටෝකකින් තමයි සීන් එක පටන්ගන්නෙ. ඊටපස්සෙ ඔය කතා ‘මං ගැන බලන්නෙ නෑ, හැබැයි මැච් පැරදිච්ච ඒවා ගැන තමයි හිතන්නෙ’ වගේ කතා දක්වා දුර දිග යනවා. වාවගන්න බෑ තමයි. ඉවසපං පපුව!
7. ආයෙත් සමරමු!
දැන් ඉතිං මේ ඇතිවුනු දුක නැති වෙන්නෙ කොහොමද? හරිම සරළයි. ඒක සිද්ධ වෙන්නෙ ආයෙ දිනුවම. හැබැයි ආයෙ දිනුවම ඒක සමරන්න හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්. වීරයො වගේ සැමරුවට ඊලඟ මැච් එක කයි කියල හිතිලා, කලින් මැච් එක පැරදුනාම කාපු කටු ටික මූණ ඉස්සරහ වීඩියෝ එකක් වගේ ප්ලේ වෙනවා. ඊටපස්සෙ හිතෙනව, මෙහෙම්මම මැච් නැතුව තිබුනානනං මීට වැඩිය හොඳයි කියල.
Leave a Reply