ඔයත් ඉන්ට්‍රොවර්ට් මනුස්සයෙක්ද කියලා හොයාගන්නේ මෙහෙමයි

මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මොකක්ද ඉන්ට්‍රොවර්ට් කියන්නේ? මොන වගේ සතෙක්ටද ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියලා කියන්නේ? අන්න ඒ ප්‍රශ්නය විසඳාගන්න එක තමයි මුලින්ම කරන්න ඕන. සාමාන්‍යයෙන් ඉන්ට්‍රොවර්ට් කියන්නේ බොහොම ලැජ්ජාශීලී, කුලෑටි කෙනෙක් කියන එක තමයි මතුපිටින් බැලුවොත් පේන්නේ. හැබැයි ඒක වැරදි අර්ථකතනයක්. ලැජ්ජාශීලීකම සහ කුලෑටි කම ඉන්ට්‍රොවර්ට් ලක්ෂණ නෙවෙයි. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ ඊට වඩා ඇතුළු හදට නැඹුරු වුණු කෙනෙක් කියන එක වඩාත් නිවැරදියි. තවත් හරියට කියනවා නම්, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් තමන්ගේ හැඟීම් එක්ක වඩාත් ස්පර්ෂයෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ බාහිරින් ලැබෙන උත්තේජනයන්ට වඩා ඒ අය තමන්ගේ හැඟීම් වලට නැඹුරුයි. සාමාන්‍යයෙන් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් බොහොම අඩුවෙන් කතා කරන, කල්පනාකාරී, නිහඬ චරිත.

ඇත්තටම සියේට සීයක් ඉන්ට්‍රොවර්ට් අය අපිට බොහොම කලාතුරකින් මුණගැහෙන්නේ. අපි හැමෝම ඔය ඉන්ට්‍රොවර්ට් සහ එක්ස්ට්‍රොවර්ට් කියන දෙක අතර මැද යම් යම් තැන්වල ඉන්න මිනිස්සු. ඒත් ඔන්න කලාතුරකින් හරි අපිට මුණගැහෙනවා ඉතාම ඉන්ට්‍රොවර්ට් නැඹුරුතාවයන් තියෙන, නැත්නම් අතිශයින්ම ඇතුළු හදට නැඹුරු අය. හරි, ඔයා ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක්ද? කොහොමද ඒක හොයාගන්නේ? අන්න ඒක තමයි මේ කියන්න යන්නේ.

 

1. තමන් එක්ක තනියෙන්

ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් සාමාන්‍යයෙන් විවේක වෙලාවක් ලැබුණත් කැමති තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. ඒ කියන්නේ යාලුවෝ එක්ක එලියට යනවට වඩා එයා කැමතියි කාමරේට වෙලා පොතක් කියවන්න. ඇත්තටම හුදෙකලාවේ ඉන්න මොහොතක් කියන්නේ ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ට සතුටක්, සාමයක් ගෙන දෙන දෙයක් මිසක් බෝරින් දෙයක් නෙවෙයි. ඒ තනිවීම ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ට අසීමිත නිදහසක්. ඒ නිදහස් මොහොතේ ඉන්ට්‍රොවර්ට් කෙනෙක් පොත් පත් කියවන එක, තනියම ගහකට කොළයකට සාත්තු කරන එක, ලියන එක, සිංදු අහන එක, ෆිල්ම් එකක් බලන එක හරි වෙනත් ඕනෑම තනියෙන් කරන්න පුළුවන් දෙයක් හරි කරයි. ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් එහෙම වෙලාවට බලාපොරොත්තු වෙන එකම දේ වෙන්නේ කවුරුවත් ඇවිත් බාධා නොකරයි කියන එක තමයි.

 

2. කට්ටිය එක්ක ගොඩක් වෙලා ඉන්නවා කියන්නේ ශක්තිය හිඳෙනවා කියන එක!

ඔයාට ගොඩක් දෙනෙක් එක්ක ගොඩක් වෙලා ඉන්න එක මහන්සිය දැනෙන වැඩක්ද? ඒ කියන්නේ පාටියක ගොඩක් වෙලා ඉන්නකොට බැටරි බැහැලා ගිහින් වගේ දැනෙනවද? ඒක සාමාන්‍යයෙන් ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ට දැනෙන දෙයක්. ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් පාටියකට ගියත්, යාලුවෝ එක්ක එලියට ගියත් ඒක එන්ජෝයි කරනවා, නැත්තෙ නෑ. හැබැයි එයාලට සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නහම එයාලට ඕන කරන්නේ එතනින් නිදහස් වෙන්න. තමන්ගේ බැහැලා ගියපු බැටරි චාර්ජ් කරගන්න. අන්න ඒ නිසාම ඉන්ට්‍රොවර්ට්ස්ලා කියන්නේ අර එලිවෙනකල් පාටි කරන ඩයල් නෙවෙයි!

 

3. තනියෙන් වැඩ

Image Source – rawpixel.com

ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් වඩාත් කැමති තනියෙන් වැඩ කරන්න. එහෙම කෙනෙක්ට ඔය ටීම් වර්ක් වගේ සීන් ඒ තරම් ප්‍රිය උපදවන වැඩ නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක්ට වඩාත්ම හොඳින් වැඩ කරන්න පුළුවන් වෙන්නෙත් තමන් තනියෙන් වැඩ කරන කොට. එතකොට ඒ අයට ඉතාම හොඳින් වැඩේට ෆෝකස් වෙලා, වැඩේ ගොඩදාන්න පුළුවන්. ඒ අයට වැඩකට හොඳටම අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නෙත්, වැඩේ සුපිරි කොලිටියෙන් කරන්න පුළුවන් වෙන්නේත් එතකොට. එහෙම නැතුව කණ්ඩායමක් එක්ක හවුලේ වැඩ ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ට එතරම් දිරවන්නෙ නෑ.

 

4. යාලුවො පොඩ්ඩයි

ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් කියන්නේ යාලුවෝ හදාගන්න බැරි තරම් කුලෑටි හෝ ලැජ්ජාශීලී, යාලුවෝ ආශ්‍රය කරන්න අප්‍රිය කරන මනුස්සයෙක් නෙවෙයි. හැබැයි ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙකුට යාලුවෝ ඉන්නේ ඉතාම ටිකයි. ඒ ටිකත් බොහොම සමීපයෙන් ඉන්න අය. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කැමතියි අලුතෙන් මිනිස්සු අඳුනගන්න, මිනිස්සුත් එක්ක කතාබස් කරන්න එහෙම. හැබැයි ඒ අය එක රැයින් යාලුවෝ හදාගන්න අය නෙවෙයි. ඊට වඩා ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් කැමතියි ඉතාම ඉහළ කොලිටියේ යාලුමිත්‍රකම් කීපයක් විතරක් තියාගන්න, යාලුවෝ කියලා සෙනඟ වට කරගෙන ඉන්නවට වඩා. ඒ නිසාම මේ අයගේ යාලුකම් ඉතාම ඉහළ පැවැත්මකින් යුක්තයි. කල් පවතින සුළුයි.

 

5. බොහොම හොඳින් හිතලා මතලා

දැන් මොකක් හරි තමන්ට කරන්න වුවමනා දෙයක් තියෙනවා නම් සමහරු ආයෙ දඩිං බිඩිං වලං කඩේ ගොනා වගේ තමා. ආයෙ වැඩේ ගැන හිතන්න කලින් වැඩේට පැනලා ඉවරයි. තව සමහරු ඒ තරම් හදිසි නෑ, ඒත් ලොකුවට හිත හිතා ඉන්නෙ නැතුව වැඩේ පටන් ගන්නවා. හැබැයි ඔය ඉන්ට්‍රොවර්ට් කෙනෙක්, ඒ කිව්වේ ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් එහෙම නෑ. ඒ අයට වැඩක් කරන්න කලින් ඒ ගැන සෑහෙන්න ගැඹුරට හිතන්න මතන්න ඕන. ඒ වැඩේට ඇඟිල්ලක් හරි උස්සන්න කලින් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් තමන්ගේ කාලය අරගෙන, ඒක කරන විදිය හිතලා මතලා, ඒ ගැන බොහොම හොඳින් දැනුවත් වෙලා, තමන්ට ඒක කරන්න පුළුවන් හැකියාවන් ගැන හොඳට හිතලා, අන්තිමටම තමයි වැඩේට බහින්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් රටේ ලෝකේ අනික් මිනිස්සුන්ට සාපේක්ෂව බොහොම පරක්කුයි කියලා. හැබැයි වැරදි වැරදි දහපාළොස් පාරක් කෙනෙක් දෙයක් කරනකොට, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක පාරක් දෙපාරක් උපරිම වරද්දගෙන ඒ වැඩේ හයි කොලිටියෙන් ගොඩදානවා. ජීවිතේ සම්බන්ධ දේවලදීත් මේ අය මෙහෙමයි.

 

6. ඔයාලා මාව දන්නවද?

ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් ගැන අනික් අය ගොඩක් වෙලාවට දකින්නේ බොහොම නිහඬ චරිතයක් විදියට. එතකොට ලේසියෙන් තේරුම් ගන්න බැරි කෙනෙක් විදියට. ඒකට හේතුව, එහෙම කෙනෙක් ලේසියෙන් තමන්ගේ හැඟීම් පිටතට පෙන්නන්න නොයන එක. බොහොම ලේසියෙන් තමන් ගැන කථා කරන්න නොයන එක. බොහොම ලේසියෙන් තමන්ව කියවාගන්න ඉඩක් අනෙක් අයට නොදෙන එක. හැබැයි මේ කියන්නේ ලැජ්ජාශීලීයි කියන එක නෙවෙයි. එහෙම කෙනෙක් වැඩි කථාබතා නැතුව ඉන්නේ ඒක එයාගෙ හැටි නිසා. ඒත් අර සමීප යාලු සෙට් එකත් එක්ක ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් ඉතාම හොඳට චැට් එකට සෙට් වෙන්න පුළුවන්!

 

7. බලලා ඉගෙන ගන්න චරිත… කියනවාට වඩා ලියා දක්වන චරිත

දැන් එක්ස්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් ගඟේ කිඹුල්ලු ඉන්නවද කියලා හිතන්න කලින්ම ගඟට පැනලා කිඹුල්ලු ඉන්නවද නැද්ද කියන එක හොයාගන්න විදියේ චරිත. හැබැයි ඉන්ට්‍රොවර්ට් කෙනෙක් ඊට වෙනස්. එහෙම කෙනෙක් ගඟේ කිඹුල්ලු ඉන්නවද බලන්නේ ගඟට පනින එක්ස්ට්‍රොවර්ට්ස්ලා දිහා බලාගෙන ඉඳලා. වෙනත් විදියකට කියනවා නම් ඉන්ට්‍රොවර්ට්ලා ඉගෙන ගන්නේ නිරීක්ෂණයෙන්. ඒ වගේම ඇතුළු හදට නැඹුරු පුද්ගලයින් ඉතාම හොඳ, තීක්ෂණ නිරීක්ෂකයෝ.

ඒ වගේම තමයි ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කැමතියි දේවල් ගැන කථාකරනවාට වඩා, දේවල් ගැන ලියන්න. ඒ කියන්නේ ඉන්ට්‍රොවර්ට්ලා කතා කරන්න අකමැතියි කියන එක නෙවෙයි. හැබැයි මොනවා හරි තීරණ ගන්න එහෙම සිද්ධ වෙන මොහොතකදී ඒ අය කැමතියි ඒ තීරණය සම්බන්ධයෙන් තමන්ගේ වෙලාව අරගෙන හිතන්න. අන්න ඒ නිසාම පැනපු ගමන් කතා කරන චරිත නෙවෙයි මේ අය. ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක් ලියන්න වඩාත් කැමති වෙන්නෙත්, ඒකෙන් තමන්ට ප්‍රකාශ කරන්න වුවමනා දේ ගැන හිතන්න වඩාත් අවකාශ ලැබෙන නිසා තමයි!

 

දැන් මේ කියන ගති ලක්ෂණ බොහෝ දුරට ඔයාටත් තියෙනවද? එහෙමනම් ඔයාත් ඇතුළු හදට නැඹුරු පුද්ගලයෙක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *