ලෝකයේ ප්‍රසිද්ධ චීස් වර්ග හා ඒවයින් හදාගන්න පුළුවන් කෑම වර්ග 8ක්

ලෝකයේ චීස් වර්ග බොහොමයක් තිබ්බට ඒවායින් ඉතාම ස්වල්පයක් තමා ලංකාවෙ අපිට රස බලන්න ඉඩකඩ ලැබිල තියෙන්නෙ. ඒ තියෙන වර්ග ටිකෙනුත් නිකම්ම කනවා හැර අපි ආහාර වර්ග හදාගන්න චීස් පාවිච්චි කරනව හුඟක්ම අඩුයි. අද මේ අරන් ආවෙ ලංකාවෙ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් චීස් වර්ග එකතු කරගෙන රසවත්ව හදාගන්න පුළුවන් කෑම රෙසිපි ටිකක්.

 

1. ක්‍රීම් චීස්

 

කේක් වර්ග, ඩෙසර්ට් වර්ග හදනකොට අපිට නැතුවම බැරි චීස් වර්ගයක් තමා මේ. කෑම හදන්න ගන්න මෘදු චීස් වර්ගයක් වෙන මේකෙ 30%ක කිරි ප්‍රමාණයක් හා 55%ක තෙතමනයක් අඩංගුයි.

 

ක්‍රීම් චීස් ස්ක්වෙයාර්ස් (Cream cheese squares)

Image Source – thirtyhandmadedays.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ක්‍රීම් චීස් 250g
  2. බටර් ටිකක් මෙල්ට් කරලා
  3. වැනිලා ටිකක්
  4. සීනි 150g

ඩ්‍රෙසින් එකට

  1. කුරුඳු කුඩු
  2. සීනි
  3. ආමන්ඩ් ඇට

ඩෝ එකට

  1. පාන් පිටි 250g
  2. ලුණු ටිකක්
  3. බටර් ස්වල්පයක්

 

  • පාන් පිටි වලට බටර් හා ලුණු එකතුකරලා, වතුර දාලා අතේ නොඇලෙන ගාණට ඩෝ එක අනාගන්න.
  • දැන් මේක කොටස් දෙකකට බෙදා ගන්න.
  • ක්‍රීම් චීස් ටික වෙනම බෝල් එකකට දාගන්න. එයට සීනි සහ වැනිලා ටිකත් එකතු කරගෙන හොඳට බීට් කරගන්න.
  • ඩෝ එකෙන් එක කොටසක් අරන් තුනී කරලා, ඔයිල් බ්‍රශ් කරගත්ත ට්‍රේ එකකට දාගන්න.
  • තුනී කරගත්ත ඩෝ එකට උඩින් චීස් මිශ්‍රණය අතුරගන්න. ඊට උඩින් ආමන්ඩ් වගේ නට්ස් මොනාහරි දාගන්නත් පුළුවන්.
  • ඉතිරි පාන්පිටි ඩෝ එක තුනී කරගෙන චීස් මිශ්‍රණයට උඩින් ලේයර් එකක් දාගන්න. ඊට උඩින් දියකරගත් බටර් තවරගෙන සීනි වලට කුරුඳු කුඩු කලවම් කරලා උඩින් ඉහගන්න. 175C° ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 25ක් බේක් කරගන්න.

 

2. පාමසාන් චීස්

ගොඩක් ඝනකම් චීස් වර්ගයක් වෙන මේක මුලින්ම හැදුවෙ ඉතාලියේ. පාමසාන් එක එක වර්ග වලින් තියනවා. එළකිරි වලින් හදන මේක අවුරුද්දක් – අවුරුදු 3ක් අතර පරණ කරලා තමා හදන්නෙ. සැන්ඩ්විච්, සැලඩ් වලට වගේම ලිකර් ගන්න අයට බයිට් එකක් විදියටත් ගැළපෙනවා.

 

ටූනා පැටිස්

සෝස් එක්ක කෑමට ගන්න පුළුවන් මේ පැටිස් එක ඔය බත් නොකන බබාලනම් හරි ආසාවෙන් කයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බිත්තර 4ක්
  2. ලොකු සැමන් එකක්
  3. කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2ක්
  4. පාමසාන් චීස් කප් එකක්
  5. පාන් කුඩු කප් එකක්
  6. එළවළු තෙල්, ලුණු හා ගම්මිරිස් කුඩු

 

  • බිත්තර ටික කඩාගෙන බෝල් එකකට දාලා පාන් කුඩු සහ චීස් එකතු කරලා තලපයක් වගේ හදාගන්න. ඒකටම සැමන් එකේ වතුර අයින් වෙන්න අතින් මිරිකලා අරන් ඒ සැමන් ටිකත් මිශ්‍ර කරගෙන හොඳට කලවම් කරගන්න.
  • එයටම කපාගත් ළූණු, ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න.
  • ඊට පස්සෙ බෝල හදාගෙන ඒවා පැතලි කරගන්න.
  • තෙල් රත් වෙන්න තියලා මේ ටික ගැඹුරු තෙලේ දාල බැදගන්න.

 

3. මොසරැල්ලා චීස්

 

මොසරැල්ලා කිව්ව ගමන් ඒක නොදන්න කෙනෙක් නෑනෙ නේද? මේක හම්බවෙන්නෙ ඉතාලියෙන්. ඉතාලියේ මී ගවයන්ගේ කිරි වලින් හදන චීස් එකක් උනත් මේක ඕනම කිරි වර්ගයකින් හදන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හර්බ්ස් හා ඔරිගානො එකතු කරලා හදපු මොසරැල්ලත් තියනවා. මේක පරණ කරලා හදන චීස් එකක් නෙමෙයි. පීසා හදනවනම් ඉතින් අනිවාර්යෙන්ම අපි මොසරැල්ලා දානවනෙ. ඒ වගේම තවත් ගොඩක් කෑම වර්ග වලට මේක දාන්න පුළුවන්.

 

මොසරැල්ලා ස්ටික්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අඟල් 3/4ක් පමණ ඝණකමට දිග අතට කපා ගත් මොසරැල්ලා චීස්
  2. බිත්තරයක්
  3. පාන් කුඩු
  4. පාන් පිටි කප් 2/3
  5. කෝන් ෆ්ලා කප් 1/3
  6. ලුණු
  7. සුදුළූණු පව්ඩර් (අවශ්‍යම නෑ)

 

  • පාන්පිටි සහ කෝන් ෆ්ලා එකට මිශ්‍ර කරගන්න. වෙනම භාජනයක සුදුළූණු පව්ඩර්, ලුණු  සහ පාන් කුඩු මිශ්‍ර කර පසෙකින් තබන්න.
  • කපාගත් මොසරැල්ලා ස්ටික්ස් එකින් එක පිටි මිශ්‍රණයේ දවටා ගසාගත් බිත්තර සාරු වල තවරන්න. මේ පියවර ටික දෙපාරක් කළත් කමක් නැහැ.
  • පාන් කුඩු මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ තප්පර 30ක් පමණ බැදගන්න.

 

4. චෙඩාර් චීස්

මේ චීස් වර්ගය මුලින්ම හදන්න අරන් තියෙන්නෙ එංගලන්තයේ සමර්සෙට් වල චෙඩාර් ගම්මානෙ. මාස 3ත් අවුරුදු එකහමාරත් අතර කාලයක් පරණ කරලා තමයි මේ චීස් එක හදන්නෙ. එළකිරි වලින් හදන මේ චීස් වර්ගෙ පිසගෙන වගේම නිකන් කන්නත් පුළුවන්.

 

චීසි හෑෂ් බ්‍රවුන්ස්

Image Source – julieseatsandtreats.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අල ගෙඩි 5ක් (කුඩා)
  2. චොප් කර ගත් ළූණු කොළ ස්වල්පයක්
  3. බිත්තර 2
  4. චෙඩාර් චීස් ටිකක්
  5. දියකරගත් බටර් ස්වල්පයක්
  6. ඔරිගානො (නැතිනම් චොප් කරගත් කරපිංචා ටිකක්)
  7. චොප් කරගත් සුදු ළූණු ටිකක්
  8. ගම්මිරිස් කුඩු
  9. ලුණු

 

  • මුලින්ම අල ටික පොතු හැර සුද්දකර ග්‍රේට් කර ගන්න. ඒ ග්‍රේට් කරගත් අල ටික අයිස් වතුර භාජනයක මිනිත්තු කිහිපයක් තියන්න. ඉන්පස්සේ ඒ අල කැබලි ටික හොඳින් මිරිකලා වෙනත් භාජනයකට දමන්න.
  • ඒකට දියකරගත් බටර්, ගසාගත් බිත්තර දෙක, ග්‍රේට් කරගත් චෙඩාර් චීස්, චොප් කරගත් ළූණු කොළ, ඔරිගානෝ හෝ කරපිංචා ටික, ගම්මිරිස්, ලුණු හා චොප් කරගත් සුදුළූණු ටික දමා හොඳින් අනාගන්න.
  • ඉන්පසු තැටියක් අරගෙන ඒකට බටර් ටිකක් ගාල ඉහත සාදාගත් මිශ්‍රණය තැටියේ තැන් තැන් වලින් පිළිවෙලට අතුරන්න.
  • මේක සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වය යටතේ මිනිත්තු 30ක් 35ක් පමණ රන්වන් පැහැවන තුරු බේක් කර ගන්න. එහෙමත් නැත්නම් බටර් තවරාගත් නන්ස්ටික් පෑන් එකක බැදගන්නත් පුළුවන්.

 

5. ෆෙටා චීස්

ග්‍රීක චීස් වර්ගයක් වෙන මේක හදන්නෙ බැටළු කිරි වලින්. හැබැයි සමහර රටවල එළුකිරි වලිනුත් හදනවා. මෘදු චීස් වර්ගයක් වෙන මේකෙ ලුණු රසය නම් ටිකක් වැඩියි. මාස 3ක් වගේ පරණ කරලා තමයි මේක හදන්නෙ. සැලඩ්, ඔම්ලට්, සැන්ඩ්විච් වලට වගේම චීස් වලින් හදන ඕනම කෑමකට මේක ගන්න පුළුවන්.

 

ෆෙටා චීස් වෙජිටබල් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බෙල් පෙපර් ටිකක් ලාවට බැදලා
  2. ෆෙටා චීස්
  3. තම්බා කොටු කපාගත් චිකන්
  4. ගම්මිරිස් කුඩු, ලුණු කුඩු
  5. සලාද කොළ
  6. කොටුවට කපාගත් ගර්කින්

 

  • මේ ද්‍රව්‍ය සියල්ලම එකතු කරලා දෙහි ඇබිත්තක් දාලා කෑමට ගන්න.

 

6. කොටේජ් චීස්/ පනීර්

මේක දකුණු ආසියානු රටවල ගොඩක් ජනප්‍රිය චීස් වර්ගයක්. මේක එළකිරි වලින් හදන කල්තියාගන්න බැරි චීස් වර්ගයක්. රසායනික ද්‍රව්‍ය කිසිවක් නැතුව දෙහි ඇඹුල් වගේ දේවල් දාලා හදන නිසා තමා මේක කල් තියාගන්න බැරි. ඉන්දියාවෙනම් මේ චීස් එක කරි එකක් වගේ හදලත් කනවා.

 

පනීර් කරි එක

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොටුවට කපාගත් පනීර් 100g
  2. කුඩු කරගත් කජු ටිකක්
  3. චොප් කරගත් තක්කාලි ගෙඩියක්
  4. හීනියට කපාගත් ලොකු ළූණු ගෙඩියක්
  5. සුදුළූණු
  6. මිරිස් කුඩු
  7. ගරම් මසාලා
  8. මින්චි කොළ හෝ කොත්තමල්ලි කොළ

 

  • මුලින්ම පනීර් ටික බටර් ටිකක් දාලා බැදගෙන පසෙකින් තබාගන්න.
  • කපාගත් ළූණු ටික පෑන් එකකට දාලා රන්වන් පැහැ වෙනකල් බැදගන්න. චොප් කරගත් තක්කාලි සහ මිරිස් කුඩු එයට එකතු කරන්න. මේ ළූණු සහ තක්කාලි මිශ්‍රණය වතුර ගතිය උනලා, බුබුළු දාලා එනකොට කජු ටික එකතු කරන්න. හොඳ උකු ගතියට ආවම ගරම් මසාලා හා ලුණු එකතු කරන්න.
  • අවසානයට පනීර් ටික එකතු කරලා ලිපෙන් බාලා මින්චි කොළ හරි කොත්තමල්ලි කොළ වලින් හරි සරසගන්න.

 

7. ගෝඩා චීස්

මේක ලන්දේසීන්ගේ චීස් වර්ගයක්. ගොඩක්ම ගුණ චීස් එකක්. එළකිරි වලින් හදන මේක ටිකක් තද ගතියකින් යුක්තයි. ඕලන්දයේ ගෝඩා නගරයේ හදපු නිසා තමයි මේ චීස් එකට මේ නම ලැබුණේ. මාසයත් අවුරුදු 3ත් අතර කාලයක් පරණ කරලා තමයි මේක හදන්නෙ. සැන්ඩ්විච් වලට, සැලඩ් වලට වගේම ලිකර් යූස් කරනකොට බයිට් එකක් විදියටත් ගන්නවා.

 

පාන් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොටුවට කපාගත් පාන් කැබලි ටිකක්
  2. සලාද කොළ
  3. කොටුවට කපාගත් බෙල් පෙපර්
  4. කොටුවට කපාගත් ගෝඩා චීස් කැබලි
  5. කොටුවට කපාගත් තක්කාලි
  6. ඔලිව් ඔයිල්
  7. ලුණු, ගම්මිරිස්

 

  • පාන් ටික අරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් පාන් ටික තෙල් බේරෙන්න තියලා ඒකට ඉතිරි ද්‍රව්‍ය ඔක්කොම කළවම් කරන්න.
  • රස අනුව ලුණු හා ගම්මිරිස් එකතු කර, සලාද කොළ වලින් සරසා පිළිගන්වන්න.

 

8. රිකොත්තා

මේ චීස් වර්ගය ඉතාලියානු මී ගවයගෙන් හරි බැටළු, එළු, එළ හරක් කිරි වලිනුත් හදන්න පුළුවන්. මේක කිරි සුදු පාටින් වගේම ලා පැණි රසකින් යුක්ත චීස් වර්ගයක්. නැවත පිසින කියන තේරුම තමයි ricotta කියලා කියන්නේ.

 

රිකොත්තා චීස් කේක් (Ricotta cheese cake)

බේස් එකට අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩු කරගත් බටර් කුකීස් කප් 1
  2. දියකරගත් බටර් මේස හැඳි 3

 

ෆිලින් එකට අවශ්‍ය ද්‍රව්‍ය

  1. ක්‍රීම් චීස් 225g
  2. රිකොත්තා චීස් 540g
  3. සීනි කෝප්ප 1
  4. බිත්තර 4
  5. දෙහි යුෂ ටිකක්
  6. වැනිලා
  7. කෝන් පිටි මේස හැඳි 1 1/2
  8. බටර් ටිකක් (දියකරගත් හා සාමාන්‍ය)
  9. Sour cream ටිකක් (අත්‍යාවශ්‍යම නෑ)

 

  • අවන් එක 180°c ට රත් කරගන්න.
  • කුකී කුඩු වලට බටර් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර බටර් තවරාගත් තැටියක අඩියට දමා හොඳින් තද කරගන්න.
  • බෝල් එකක් අරගෙන ඒකට චීස් වර්ග දෙකම දාගෙන හොඳට කළවම් කරන්න.
  • ඒකට සීනි, බිත්තර, දෙහි යුෂ, වැනිලා, කෝන් පිටි හා බටර් එකතු කරගන්න.
  • අන්තිමට sour cream එකතු කරලා බේස් එක දාගත්ත තැටියට දාලා බේක් කරන්න. පැයක් බේක් කරලා අවන් එක ඕෆ් කරලා ඒක ඇතුළෙම නිවෙන්න තියන්න. ඊට පස්සේ ශීතකරණයේ දාලා කෑමට ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *