සති අන්තයක ලස්සන දිය ඇලි බලලා නාගෙන එන්න ලංකාගම යමු

ලංකාගම කියන්නේ බස්නාහිර, දකුණ, සබරගමු පළාත්වල කට්ටියට ලේසියෙන්ම ගිහිල්ල එන්න පුළුවන් කදිම තැනක්. බලන්න සිංහරාජ වනාන්තරය, විඳින්න අවට තියෙන සුන්දර පරිසරය, නාන්න ගිං ගඟ සහ ලස්සන දිය දහරා ගොඩක් ලංකාගම අවට තියෙනවා. ලංකාගම ගොඩක්ම කිට්ටු නෙළුවට. තවමත් මාර්ග පහසුකම් හරියට නැති ලංකාගම කාලෙකදි මහා ගංවතුර විපත් වලටත් මූණ දෙනවා. ඉතින් දිය ඇලි සහ සුන්දරත්වය පිරුණ ලංකාගම ගැන අපි තවත් විස්තර ටිකක් දැනගමු.

 

1. ගංවතුර රකුසා බිලිගන්න ලංකාගම

නිරිත දිග මෝසම් වැහි සිංහරාජය ඇතුළු නිරිත දිග බෑවුම් වලට වැටුනාම ගිංගඟ සහ නිල්වලා ගඟ පිටාර ගලනවා. ටිකක් කොට ගංගා දෙකක් වුනත් ගංවතුර කාලෙට මේ ගංගා දෙකෙන් ගලන ජල කඳ නම් සුලු පටු නැහැ. ලංකාගම පැත්තේ සමහර බෑවුම් වලට ගෙවල්වල වහලත් යටවෙලා දෙවනි තට්ටුවක් තියේනම් ඒකෙත් බාගයක් විතර එනකම් වතුර එනවා ගංවතුර කාලෙට. මෑතකදී 2001, 2003, 2016 වර්ෂවලදී මේ ගංවතුර තත්ත්වය වැඩි වුනා. ඒ වගේම කඳුකර පරිසරයක තියෙන නිසා නායයාම් වලිනුත් කිසිම අඩුපාඩුවක් ලංකාගම පිටදෙනිය පැත්තට නැහැ. හීනියට නිසොල්මනේ ගල් ගොඩවල් අස්සෙන් සාමාන්‍ය දවසට ගිං ගං කොමලිය ඇදිලා යනවා. ඒත් වැහි කාලෙට කොහෙන් එනවාද කියලා හිතාගන්න බැරි මහා ජලස්කන්ධයකින් මේ ලංකාගමයි ඒ අවට ගමුයි ඔක්කෝම යට වෙනවා. ලංකාගම මේ චාරිකාව ගියොත් ගමේ කෙනෙක්ගෙන් ගංවතුර රකුසා කොච්චර සැරට ලංකාගමට එනවාද කියලා අහලා දැනගන්න පුළුවන්.

 

2. කිතුල් බඩු

කිතුල් කියන්නේ සිංහරාජ පළාතේ දුර්ලභ දෙයක් නෙමෙයි. කිතුල් මැදීම මේ පළාතේ සිංහරාජය රක්ෂිත වනයක් වෙන්නට පෙර ජයටම කෙරිල තියෙනවා. තාමත් ලංකාගමෙන් කිතුල් රා ටිකක්, කිතුල් පැණි හකුරු ටිකක් හොයාගන්න ලොකු අමාරුවක් නැහැ. ඒ දිය ඇලි අසල පොඩි කඩවල ඉන්න ගැමි පෙනුම තියෙන අය කිතුල් පැණි, හකුරු විකුණනවා. ඒත් ඉතින් ඇත්තම කිව්වොත් පාට දැක්ක ගමන්, අතට ගත්ත ගමන් ඔරිජිනල් කිතුල් බඩු නෙමෙයි කියලා පේනවා. කිතුල් රා ටිකක් හොඳට ගන්න නම් කලින් කියලා තියන්න ඕනිලු. ත්‍රී රෝද රියදුරෙක්ට ගමේ කෙනෙක්ට කන්ටැක්ට් එකකින් කියල තිබුනොත් ප්‍රණීත කිතුල් රා ටිකකුත් ගමේදි බඩට දාගන්න හැකියාව ලැබෙනවා.

 

3. ලංකාගමට නම වැටුන හැටි

සිංහරාජ කැලේ ජීවත් වෙලා තියෙනවා නේ සිංහයෙක්. ඌව මරලා තියෙන්නේ ලංකානාථ යෝදයා. ලංකානාථ යෝදයා නිසා ලංකාගම හැදුනා කියලා ජනප්‍රවාද වල සඳහන් වෙනවා. ඉස්සර කාලේ සුද්දෝ හැමදෙයක්ම කළේ ගණන් මිනුම් ඇතිව. මහ කැලේ කඳුවැටි, ජල දුර්ග, ගිරි දුර්ග ගෙවාගෙන උන් ලංකාව මැන්නා. මැනුම් කටයුතු ආදිය කරලා තමයි එයාල ගසාකෑම වුනත් පිළිවෙලකට පටන් ගත්තේ. ඉතින් ඔහොම මැනගෙන ගිහින් රසවත් විස්තර ගොඩක් කියලා තියෙන මනුස්සයෙක් තමයි බ්‍රෝහියර් කියන්නේ. ලංකාව නිදහස ගන්න සමයේත් ජීවත් වුනු දක්ෂ බර්ගර් මිනින්දෝරුවෙක් වූ බ්‍රෝහියර් ලංකාව මැනපු ටීම් එකේ ඉඳලා තියෙනවා. එයින් අවසානයට මැනපු පළාත නිසා ලංකාගමට ලංකාගම කියන නම ලැබුනා කියලා බ්‍රෝහියර් කියලා තියෙනවා.

 

4. ගමට යන හැටි

දැන් නම් හරි ලේසියි. දකුණේ කැලෑ වලට රිංගන්න කොළඹ අයට දැන් එක්ස්ප්‍රස් වේ එකක් තියෙනවා. වැලිපැන්නෙන් එලියට දාලා පැලවත්ත පාරේ ගිහින් නෙළුවට යන්න ඕනි. නෙලුවෙ ඉදලා ගූගල් අයියා අපිට පෙන්වන්නේ දෙල්ලව පාරේ ගිහින් හැරිලා යන්න කියලා. ඒත් ඒ දෙල්ලව පාර අමාරුයි. ඒකේ යන්න තියෙන්නේ දුෂ්කර විදියකට. ඊට වඩා ලේසියි නෙළුව දූවිලි ඇල්ල පාරේ යන එක. වැලිපැන්න, පැලවත්ත ඉඳලා යද්දි නෙළුවට චුට්ටක් කලින් නෙළුව දූවිලි ඇල්ලට හැරෙන්න තියෙනවා. දූවිලි ඇල්ල ගාවට එනකල් පාර සුපිරි. පාත කාර් එකකට වුනත් නෙළුව දූවිලි ඇල්ල ගාවට යන්න පුළුවන්.

 

5. නෙළුව දූවිලි ඇල්ල

නෙලුව දූවිලි ඇල්ල තට්ටු කීපයක් තියෙනවා. තට්ටු තුනක් නගින්න පඩිපෙලක් තියෙනවා. එතනින් මනත තවත් උඩම තැනට යන්න පුළුවන් ගල් මුල් සහිත පාරක් තියෙනවා. තට්ටු කියන්නේ මේ හැම තට්ටුවකම මීටර දහයක් විස්සක් උඩ ලස්සන දිය ඇලි කෑල්ලක් පේනවා. පඩිපෙල් නැගීම ටිකක් විතර අමාරුයි. ඒත් අමාරුවෙන් හරි නැගගත්තා නම් දූවිලි ඇල්ල සම්පූර්ණයෙන්ම කවර් කරගන්න අවස්ථාව ලැබෙනවා. මේ දූවිලි ඇල්ලේ යන වතුර ඒ අවට ගමේ මිනිස්සු බොන්න ගන්නවා. ඒ නිසා ඇල්ලේ නාන එක හොඳ නැහැ. නාන්න වෙනම තටාකයක් හදලා තියෙනවා. මේ තැන වටකරලා ප්‍රාදේශීය සභාවෙන් ටිකට් නිකුත් කරනවා. ඒ ගැන වැඩිය අහිතක් හිතන්න දෙයක් නැහැ. ටිකට් එකක් 25යි. ඉස්සර වගේ නෙමෙයි සභාව දැන් එන අයට නාන්න පහසුවට ලස්සන තටාකයක් හදලා ඒ වගේම ඇල්ල උඩට යන්න පඩි හදලා වැසිකිළි හදලා තියෙනවා. ඒව ඒ පරිසරයටත් හොඳයි. දිය ඇල්ල නරඹන්න යන අපිටත් හොඳයි.

 

6. දූවිලි ඇල්ලේ සිට අනෙක් දිය ඇලි වලට

නෙළුව දූවිලි ඇල්ලේ ඉඳලා අනෙක් බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුන ඇල්ල, දූලි ඇල්ල, තට්ටු ඇල්ල ආදී ඇලි සෙට් එක තියෙන තැනට යන්න කිලෝමීටර දහයක් විතර තියෙනවා. ඒ දුර යන්න තියෙන පාර නම් සවුත්තුයි. වැහි දවසක හොඳ කාර් එකක් ඒ පාරෙ මඩේ දානවා කියන්නේ සිරා මෝඩ වැඩක්. නෙළුව දූවිලි ඇල්ල ගාවින් මහින්ද්‍රා බොලරෝ කැබ්ස් කුලියට ගන්න පුළුවන්. එහෙම නැතිනම් ත්‍රීවීලරුත් මේ අබලන් පාරේ යනවා. ලංකාගම ඇලි සෙට් එකට පස්සේ සිංහරාජයේ පිටදෙනිය පිවිසුමටත් යන්න පුළුවන්. එක දවසකින් නෙළුව දූවිලි ඇල්ලයි, ලංකාගම ඇලි සෙට් එකයි, නාන්නයි, කිතුල් රා බොන්නයි, කැලේ බලන්නයි පුළුවන්. ඒත් සිංහරාජේ පිවිසුම වන පිටදෙණිය යන්නත් ඒ දවසෙම දාගත්තොත් ටිකක් විතර අමාරුයි.

 

7. අවසර සහ පිවිසුම

සිංහරාජ වනයට පිවිසෙන්න බ්‍රාහ්මණ ඇල්ල හරියෙන් ටිකැට් කවුන්ටරයක් තියෙනවා. ඒ තැනින් අපිට ටිකට් ගන්න පුළුවන්. ටිකට් එකක් නම් එක් අයෙක්ට රුපියල් විසි අටක් වගේ. කණ්ඩායමක් යනවා නම් ඒ කණ්ඩායමට අනිවාර්යයෙන් ගයිඩ් මහතෙක් ගන්න ඕනි. මග පෙන්වන අය අපිට මග පෙන්වනවා විතරක්ම නෙමෙයි. අවට ගහකොළ සතා සීපාව ගැනත් විස්තර කියා දෙනවා. ඒ වගේම ඒ දිය ඇලි, ගම්මාන ජන ජීවිතය, පරණ විස්තර එහෙමත් මේ ගයිඩ් මහතුන්ගෙන් අපිට දැනගන්නට පුළුවන් කම ලැබෙනවා. ගයිඩ් කෙනෙක් සාමාන්‍ය දිය ඇලි ටික පෙන්වන්න රුපියල් දාහක් විතර අයකරනවා. තවත් ඈත තියෙන පිටදෙනිය පැත්තත් බලනවා නම් දෙදාහක් විතර ගන්නවා.

 

8. ලංකාගම දිය ඇලි ටික

ලංකාගම දිය ඇලි වල එක එක මාදිලියේ දිය ඇලි තියෙනවා. දූලි ඇල්ල තට්ටු ඇල්ල වගේ තැන්වල නාන්න පහසුව තියෙනවා. කඩාගෙන එන වතුර පාරට ඔලුව අල්ලලා නාන්න ඕනි නම් එහෙමත්, සීතල සිංහරාජයෙන් ගලා එන වතුරේ කිමිදිලා පිීනලා නාන්න ඕනි නම් එහෙමත් ආදී විවිධ ආකාරයට නාන්න පහසුව එතැන තියෙනවා. තට්ටු ඇල්ල සහ දූලි ඇල්ල හරියේ වතුරට කකුල ටිකක් දාන් හිටියොත් නොමිලේම ෆිෂ් තෙරපි එකකුත් දාගන්න පුළුවන්. හැබැයි දූලි ඇල්ලේ ඉන්න මාලු නම් බඩගින්නේ ඉන්නවා වගේ ටිකක් තදින් සම සපනවා. කඩාහැලෙන සුදුපාට වතුර දිහා මොන විදියට බැලුවත් එපා වෙන්නෙ නැහැ. ඒ වගේම දිය ඇලි අතර දුර්ලභ විශාල ගල් ඔරුවක් වගේ තැනකින් පහලට ඇදී යන ගල් ඔරුව ඇල්ලත් මේ ලංකාගම දිය ඇලි බලන්න යද්දි අපේ ඇස් වලට අහු වෙනවා. වීකෙන්ඩ් වල නම් ටිකක් විතර සෙනග වැඩියි. ඒත් ඉතින් දෙතුන් සීයකට වුනත් ලංකාගම දිය ඇලි සෙට් එකේ නාගෙන කියාගෙන එන්න පුළුවන් ඉඩකඩ තියෙනවා.

 

9. නවාතැන් සහ පිටදෙනිය

පිටදෙනිය වන පිවිසුමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බංගලාවක් තියෙනවා. ඒකේ අඩු මිලට කැලේ ඇතුළේම නවතින්න පුළුවන්. ඒක කොළඹින් බුක් කරලා යන්න ඕනි. විස්තර ආපු විදියට වීකෙන්ඩ් වල බුකින් නම් අමාරුයි. ඒ නැතත් ඒ අහල පහල යන පාර අයිනෙත් නවතින තැන් එහෙම තියෙනවා. පිටදෙනිය පිවිසුම ඔස්සේ තියෙන කලාපයේ, කැකුණ ඇල්ල, විශාල හොර ගසක්, විශාල මාලු සහිත තැනක්, පුස් වැලක් සහ තවත් දේවල් ගොඩක් බලන්න තියෙනවා. ඒ ලංකාගම දිහා නැවතිලා යන ගමන දවස් දෙකක් නම් දුවිලි ඇල්ලයි, ලංකාගම ඇලි සෙට් එකයි, පිටදෙනිය බලන්න තියෙන දේවලුයි ඔක්කෝම බලාගෙන එන්න පුළුවන්කම තියෙනවා.

 

ඇලි බැලීමයි අලි බැලීමයි එපා වෙන් නැහැ කියලා කතාවක් තියෙනවා. මීටර පනහ හැට උස විසාල ඇලි නොවුනත් මේ කුඩා ඇලි සෙට් එකෙත් ලොකු ලල් එකක් තියෙනවා. අවට සොබාදහම සහ ජන ජීවිතේත් මේ ගමනේදි බලාගන්න පුළුවන්. ඉතින් වීකෙන්ඩ් එකක් තියේනම්, තාම ඒ පැත්තේ ගිහින් නැතිනම් ලංකාගම ගමන හොඳ තෝරාගැනීමක්.

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *