එංගලන්ත රජ පවුලේ අමුතු නීති

ලෝකේ පුරා එක එක රටවල රාජකීය පවුල් කොච්චර හිටියත් තාමත් ලෝකේ ගොඩක් දෙනෙක්ට රාජකීය පවුල කිව්වම මතක් වෙන්නේ එංගලන්තේ එහෙම නැත්නම් එක්සත් රාජධානියේ රාජකීය පවුල කියන එක බොරුවක් නෙමෙයිනේ. එහෙම වෙන්න එක එක හේතු තිබ්බත් ලොකුම හේතුව ලෝකයේ වැඩිමනක් බලය පතුරුවල හිටියේ එංගලන්තය එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යය කියන රට වීම. ඒකනෙ එංගලන්තයට හිරු නොබසින අධිරාජ්‍යය කියන්නේ. ඉතින් එහෙව් රාජ්‍යයක රාජ්‍ය කරවන පවුල කියන්නේ සුළු පටු පවුලක් නෙමෙයි. ඒ නිසාම මේ පවුලේ ගෞරවය තේජස වැඩිකරගන්න ඒ උදවිය විසින්ම හදාගත්ත නීති ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ නීති අතරින් අමුතුම නීති හතක් ගැනයි අද කතාව. මේ සමහර නීති දැක්කමනම් හිතෙයි අම්මෝ රජ වෙන්න ඕනෙ නැහැ මෙහෙම හොඳයි කියල.

 

1. රැජිනගේ උපන්දිනේට හැමෝම ඉන්න ඕනේ

Image Source – townandcountrymag.com

වර්ෂ 1553 දි තමයි එංගලන්තේ රජකමට රැජිනක් පත් වෙන්නේ.  එදා ඉඳන් අද වෙනකන් රැජිනියන් 6 දෙනෙක් එංගලන්ත කිරුළ දරල තියෙනවා සහ දැනටත් දරනවා. දැන් ඉන්න දෙවෙනි එලිසබෙත් රැජින පත් වෙන්නේ හය වෙනියා විදිහට. එදා මෙදාතුර කාලෙදි ඒ අදාළ රැජිනගේ උපන්දිනේ දවසට, උපන්දින උත්සවේට රාජකීය පවුලේ හැම සාමාජිකයෙක්ම සහභාගී වීම අනිවාර්යයි. කාටහරි බබෙක් හම්බ වෙලාද නිවාඩුවකට රටින් පිට ගිහින්ද කියල අදාළම නෑ. කොයි දීපන්කරේ මොන රාජකාරියට ගිහිල්ල හිටියත් උපන්දින උත්සවේට ඔලුව දාන්න එන්නම ඕනෙ. කොටින්ම මළේ නැත්නම් උත්සවේට ඉන්න ඕනේ.

 

2. රැජින එක්ක කනවනම් මෙන්න මෙහෙමයි

Image Source – gentlemansgazette.com

රාජකීය කෑම මේසයට ඔයාට ආරාධනාවක් ලැබුනොත් ගෙදරින් ටිකක් කාල යන එක කොයිකටත් හොඳයි කියල හිතෙයි මේ නීතිය ඇහුවම. ඒ කියන්නේ අදාළ කෑම මේසෙදි ඔයාගෙ එක ඇහැක් ඔයාගෙ කෑම පිඟානට දාගෙන අනිත් ඇහැ රැජිනගේ පිඟානට දාගෙන ඉන්න වෙනවා. මොකද රැජින කාල ඉවර උනාම හැමෝම කාල ඉවර වෙන්න ඕනේ. ඒක තමයි නීතිය. තව බඩගිනිද, බෙදාගත්තු ඒව කාල ඉවර නැද්ද කියන මුකුත්ම අදාළ නැහැ. ඉතින් රැජිනට බඩගිනි නැති වෙලාවක් උනොත් ඔයාටත් බඩගින්නෙම තමයි ගෙදර එන්න වෙන්නේ.

 

3. ඡන්දේ තිබ්බට දාන්න බෑ

මේක ඇත්තටම නීතියක්ම නෙමෙයි සම්ප්‍රදායක්. ඒ කියන්නේ 1689 බ්‍රිතාන්‍යය ව්‍යවස්ථාදායක සභාවකින් පාලනය වෙන්න පටන් ගන්නවා. ඒ අනුව රැජිනට සහ රාජකීය පවුලේ සාමාජිකයන්ට ඡන්ද අයිතිය තියෙනවා. හැබැයි ඒගොල්ලෝ විසින්ම හදාගත්ත සම්ප්‍රදායක් මත ඡන්දය ප්‍රකාශ කරන්නේ නැතුව ඉන්නව. එකට හේතුව රටේ කිසිම පක්ෂයකට හෝ මතයකට තමන් පක්ෂපාති වීම සාධාරණ නෑ කියල තීරණය කරලා තියෙන එක. මොකද එහෙම පක්ෂග්‍රාහී උනොත් ඒ අදාළ පැත්තට ජනතාව නැඹුරු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි නිසා. මොකද රජ පවුල කිව්වොත් මැරෙන්න උනත් ලෑස්ති මිනිස්සු කොහෙත් ඉන්නව. එංගලන්තේ කියල වෙනසක් නෑ.

 

4. එලියට යනවනම් අත් පටලාගෙන ගමන් බෑ

රජ පවුලේ කිසි යුවලකට එලියට පහලට ගිහින් අපි වගේ අත් පටලවාගෙන ආදරේ කරන්න බෑ එයාල කොච්චර එකිනෙකාට ආදරේ උනත්. ඒකත් ඉතින් පවුලේ ගෞරවය සහ තේජස නිසාම හදාගත්ත නීතියක් කියල බැලු බැල්මටම පේනවා. හැබැයි මෑතකදී විවාහ උන හැරී කුමාරයයි, මේගන් මාකල් කුමරියයි මේ නීතිය කඩකරපු අවස්ථා කීපයක්ම ප්‍රසිද්ධ මාධ්‍යයට නිකුත් වෙලා තිබ්බ. නීතියක් උනත් ප්‍රායෝගික නැති බව කුමාරයාටත් තේරිලා.

 

5. ඩ්‍රයිවින් ලයිසන්ස් නම් ඕනෙම නෑ

1903 දී බ්‍රිතාන්‍යයට මෝටර් රථවාහන පනත හඳුන්වා දෙනවා. ඒකට අනුව වාහනයක් ධාවනය කරන්න නම් ඩ්‍රයිවින් ලයිසන් එකක් අනිවාර්යයයි. එංගලන්තේ විතරක් නෙමෙයි ඉතින් කොයි රටෙත් එහෙමනේ. ඒත් මහ රැජිනට නම් ඒ නීතිය අදාළ වෙන්නේම  නෑ. මොකද එංගලන්තේ ලයිසන් එක නිකුත් වෙන්නේ ඇය විසින් නිකුත් කරන ලද්දක් විදිහට. හැබැයි අනිත් පවුලේ රාජකීයයන්ට නම් ඒ වරප්‍රසාදය නෑ. මේ නීතිය රැජිනට විතරයි අදාළ නොවෙන්නේ.  ඒ විතරක් නෙමෙයි, වාහනේට නම්බර් එකක් තියෙන්න ඕනෙත් නෑ.

 

6. ලේ උරුමක්කාරයෝ එකට ගමන් බිමන් යෑම තහනම්

Image Source – royal.uk

ඒ කාලෙ තිබ්බ අනතුරු බහුලකම, රෝග වැළඳීමට ඇති ඉඩකඩ වැඩි වීම වගේ හේතු නිසා රජ පවුලේ උදවිය එකට ගමන් බිමන් ගියේ නෑ. ඒකට හේතුව මොනාහරි විදිහකින් අනතුරක් උනොත් උරුමක්කාරයනුත් අනතුරට පත් වෙලා කිරුල අරාජික වෙන්න අවදානමක් තිබීම. මෙතැනදී විශේෂයෙන් මේ නීතිය පනවල තියෙන්නේ ගුවන් ගමන් සම්බන්ධයෙන් කියල තමයි කියන්නේ. කොහොම උනත් විලියම් කුමාරයා සහ කේට් කුමරිය නම් නිතර මේ නීතිය කඩල එකට පවුල පිටින් ගමන් බිමන් යනවා පේන්න තියෙනවා.

 

7. පිරිමි ළමයෙක්ද? ගැහැණු ළමයෙක්ද? කලින් කියන්නේ නෑ

රජ පවුලේ කෙනෙක් ගර්භණී උනොත්, ඒ දරුවා උපදිනකන් ඒ කුමාරයෙක්ද කුමරියක්ද කියල රටවැසියන්ට කොහෙත්ම දැනගන්න ඉඩදෙන්නේ නෑ. ඉතින් රටේ මිනිස්සුන්ට හරි ප්‍රශ්නේ ඕක දැනගන්නකන්. අනික ඒ කාලේ මාලිගාවේම තමයි ළමයි ප්‍රසූත කරන්නෙත්. ඒකට කිසිසේත්ම පිරිමි අය සම්බන්ධ කරගන්නේ නෑ. කොටින්ම අදාළ දරුවගෙ පියාවවත්. කාලයක් තිස්සෙ මාලිගාව ඇතුලේදීම දරුවන් ප්‍රසූත කරන්න පවත්වාගෙන ආපු සම්ප්‍රදාය, එහෙම නැත්නම් එක විදිහක නීතිය ඩයනා කුමරිය තමයි කඩකරලා මුලින්ම මාලිගාවෙන් පිට රෝහලකදී දරු ප්‍රසූතිය සිද්ධ කළේ.

කොහොම උනත් ප්‍රායෝගික නොවන නීති රීති වලින් රජ පවුලේ අය උනත් සීමා වෙලා ඉන්න අකමැති ඇති. ඒ නිසා මෑත කාලෙ ඔය කියපු නීති සහ සම්ප්‍රදායන් කඩපු අවස්ථා ගොඩක් වාර්තා උනා. එක අතකට ප්‍රායෝගික නොවන සහ වැදගත් කමක් නැති දේවල් කරපින්නාගෙන ඉන්න එක තේරුමක් නැති වැඩක් කියල අලුතෙන් එන සාමාජිකයොත් හිතන්න ගනීවි. ඉතින් තව කාලයක් යද්දි මෙහෙම නීති අඩු, නිදහසේ ජීවත් වෙන නාමික රජ පවුලක් අපිට එක්සත් රාජධානියේ දැකගන්න ලැබේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *