ඔය සංස්කෘතික උත්සව කියලා කියන්නේ. එහෙම කියපු ගමන් අපේ හිතට එන්නේ රෙදි හැට්ට ඇඳලා, සාම්ප්‍රදායික ගම්මැද්දක වගේ ඉඳගෙන කරන අවුරුදු ක්‍රීඩා, කිරි ඉතිරවීම්, එහෙම නැතිනම් වප් මඟුල කියලා කියන ඔය උත්සවාකාරයෙන් කුඹුරු වැඩ කිරීම් වගේ දේවල්නේ. හැබැයි සංස්කෘතිය කියන්නේ ඔය පැරණි දේවලට විතරක් නෙවෙයි. ඇත්තටම ගත්තොත් බී.එම්.අයි.සී.එච්. එකේ තියෙන වාර්ෂික පොත් ප්‍රදර්ශනේ වුනත් සංස්කෘතික උත්සවයක්. එතකොට මේ වගේ සංස්කෘතික උත්සව වල තියෙන විශේෂත්වය මොකක්ද? ඒක තමයි සංස්කෘතික ප්රගමනයට ලබාදෙන දායකත්වය. ඒ වගේම මිනිස්සුන්ට එකතුවෙලා විනෝදයක් ලබාගන්න අවකාශයක් නිර්මාණය කර දීම.
අද අපි කථා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඔය විදියට වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික අංගයන් කීපයක් ගැන. සමහර ඒවා එක අවුරුද්දක නොතිබෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන මේ ඉවෙන්ට්ස් ඔක්කොම අපි අපේ ලිස්ට් එකට ගන්නවා!
1. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පොත් කියවන, පොත් පෙරළන ඔක්කොම පොත් ගන්න එන්නේ මේකට තමයි. සමහරු කැටවල සල්ලි එකතු කරනවා සාහිත්‍ය මාසයේදී නොවරදවාම පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න. පොත් ප්රකාශකයින්ගේ සංවිධානය මගින් තමයි කරන්නේ. විශේෂයෙන්ම ඩිස්කවුන්ට් පිට පොත් ගොඩක් අරගෙන යන්න තමයි ගොඩක් දෙනෙක් මෙතනට මූලිකවම එන්නේ. හැබැයි එතනින් ගියහම ඔය සෝෂල් මීඩියා වලින් එහෙම අඳුනගත්තු පොත පතට ලැදි යාලු මිත්තරයෝ මුණගැහෙන්නත් මේක කියාපු ඉවෙන්ට් එක. පොත් වලට කියලා මාර උනන්දුවක් නැති කෙනෙක්ට වුනත් මැගී නූඩ්ල්ස් එකක් කකා, ගෑණු ළමයෙක්, පිරිමි ළමයෙක් දිහා බල බලා ඇවිදින්න පුළුවන්. එක අතකට කානිවල් එකක් තමයි!
2. මහනුවර පොත් ප්‍රදර්ශනය
මේකත් සංවිධානය කරන්නේ පොත් ප්රකාශකයින්ගේ සංවිධානය මගින් තමයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න දුර වැඩි ඈයින්ට එහෙම රටේ මැදක තියෙන පොත් ප්‍රදර්ශනයක් කියලා කීමට කිව්වට, ලංකාවේ මොන හද්දිබ්බාගේ ඉන්න අයියෙක් අක්කෙක් වුනත් කොළඹ පොත් ප්‍රදර්ශනයට එනවා. හැබැයි ඉතින් මහනුවර පොත් ප්‍රදර්ශනයට එන්නේ ඔය අවටම ඉන්න අය තමයි. කොළඹින් වුනත් ඉතින් තදබල පොත් ලෝලියෙක් නම් එයි. ගොඩක් වෙලාවට කැන්ඩි සිටි සෙන්ටර් එකේ පැවැත්වෙන මහනුවර පොත් ප්‍රදර්ශනය ඇත්තටම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට වඩා වෙනස්. ඊට වඩා පොත් අඩු වුනත්, ඊට වඩා අර හිතට දැනෙන සංස්කෘතික මෙව්වා එකක් මෙතන දැනෙනවා. සමහර විට ඒකට හේතුව මහනුවර නගරයම සංස්කෘතික පුරවරයක් වීම වෙන්න පුළුවන්.
3. ගාලු සාහිත්‍ය උළෙල
ගාලු සාහිත්‍ය උළෙල කියන්නේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සාහිත්‍යයට වෙනම මානයක් එකතු කරපු සංස්කෘතික උත්සවයක්. මේක ඇත්තටම ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන සහ සිංහලෙන් ලියන ලේඛකයෝ වගේම ජාත්‍යන්තර ලේඛකයනුත් එකතු වෙන දින කිහිපයක්. මේ සාහිත්‍ය උළෙලට එකතු වෙන්නේ ලේඛකයො විතරකුත් නෙවෙයි. සමහර වෙලාවට ජාත්‍යන්තර සූපවේදීන්, නාට්‍ය ශිල්පීන් පවා මේ ෆෙස්ටිවල් එකට එකතුවෙනවා. මේ ෆෙස්ටිවල් එක පැවැත්වෙන දවස් කිහිපයේදී ගාලු කොටුව හරියට අර ජාත්‍යන්තර සංස්කෘතික උත්සවයක වගේම තමයි හැඩ වැඩ වෙලා තියෙන්නේ. එක එක තැන්වල එක එක දේවල්, පොත් පත් මිලදී ගන්න පුංචි කුටි තියෙනවා. ඇවිදින්න, බලන්න දේවල් හැමතැනම තියෙනවා.
4. ගාලු සංගීත උළෙල
ගෝල් මියුසික් ෆෙස්ටිවල් කියලා නිකන් ස්ටයිල් එකට අපි කියන ගාලු සංගීත උළෙලත්, ගාලු සාහිත්‍ය උළෙල වගේම තනිකර ඉන්ටර්නැෂනල් වැඩක්. ගාලු කොටුවේ ඉදිවුණු අති දැවැන්ත වේදිකාවක පැය ගණනාවක් පුරාවට, ලෝකේ විවිධ රටවලින් ආපු සංගීතවේදීන්, ගායකයෝ, වාදකයෝ, නර්තන ශිල්පීන් විවිධාකාරයේ අංගයන් දක්වනවා. ඒ අතරට ලංකාවේ සංගීතවේදීන්, ගායකයින්, වාදකයින් සහ නර්තනවේදීනුත් එකතු වෙනවා. ඒ වගේම ගාලු සංගීත උළෙල නරඹන්නත් ලෝකේ හැම අස්සකින් මුල්ලකින්ම මිනිස්සු එනවා. කෙටියෙන්ම කියනවා නම් ජාත්‍යන්තර මියුසික් ෆෙස්ටිවල් එකක් නම් මෙහෙමයි වෙන්න ඕන කියන හැඟීම අපිට දැනෙනවා.
5. බිග් බෑඩ් වුල්ෆ්
ඉන්ටර්නැෂනල් බුක් ෆෙයාර් එකක් හරියටම බලන්න ඕන නම් මෙන්න යන්න ඕන තැන. තඩි නරක වෘකයාගේ පොට් එක. මේ වෙනකොට පිට පිට අවුරුදු දෙකක් බිග් බෑඩ් වුල්ෆ් බුක් ෆෙයාර් එක පැවැත්වුණා. හිතාගන්න බැරි තරම් අති විශාල සෙනඟක් මෙතනට ඇදුනා. විශේෂයෙන්ම ඉංග්‍රීසි නවකථා, කෙටිකථා, ළමා කථා, යොවුන් කථා, විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, ඡායාරූපකරණය ඇතුළු නොයෙකුත් විෂයයන් සම්බන්ධ පොත්, චිත්‍ර පොත්, පාට කරන පොත් ඇතුළු පොත් දස දහස් ගාණක් තියෙන බිග් බෑඩ් වුල්ෆ් එකට ගිහින් පොත් අතරේ කැරකිලා ආවත් හිතට සැපයි. විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් පත පොත කියවන්න කැමති අයට බිග් බෑඩ් වුල්ෆ් කියන්නේ දිව්‍ය ලෝකයක්!
6. චිත්‍රපට උළෙල
මෙන්න මේක නම් ඇත්තටම එක විශේෂ චිත්‍රපට උළෙලක් ගැන නෙවෙයි. හැබැයි විශේෂයෙන්ම කොළඹත්, සමහර වෙලාවට කොළඹින් පිට පළාත් වලත් අවුරුද්ද මුළුල්ලේම තියෙන චිත්‍රපට උළෙල ගැන පොදුවේ කථාවක්. දැන් අපි ෆිල්ම් හෝල් එකකින් හොඳ ෆිල්ම් එකක් බලන්න යන්නේ හාවා හඳ දකිනවා වගේ නෙවෙයිද? එහෙම ගියත්, ෆිල්ම් හෝල් එකක ඒ ෆිල්ම් එක ගැන සාකච්ඡා, සංවාද සිද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඔය ප්රංස, ජර්මානු, ඉන්දීය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන වලින් විවිධ ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල පවත්වනවා. එතකොට චිත්‍රපට සංස්ථාවෙන් එහෙමත් චිත්‍රපට උළෙල පවත්වනවා. පොඩ්ඩක් මේ තැන් එක්ක සම්බන්ධතා තියාගෙන ඉන්නවා නම්, අවුරුද්ද පුරා පැවැත්වෙන මේ විවිධ චිත්‍රපටි උළෙල ගැන දැනගන්න පුළුවන්.
7. දුරුතු පෙරහැර/නවම් පෙරහැර
පෙබරවාරි මාසයේ යෙදෙන නවම් පුර පසළොස්වක පෝය නිමිති කරගෙන පැවැත්වෙන නවම් පෙරහැර තියෙන්නේ කොළඹ නවම් මාවතේ. ගංගාරාමය පංසලෙන් පටන් ගන්න නවම් පෙරහැර කොළඹ දකින්න තියෙන අතිශයින්ම වර්ණවත් උත්සවයක් විදියට හඳුන්වන්න පුළුවන්. සාම්ප්‍රදායික ගායන, වාදන, නර්තන අංගයන්ගෙන් පරිපූර්ණ නවම් පෙරහැර බලන්න විදේශිකයෝ පවා එනවා.
දුරුතු පෙරහැර තියෙන්නේ ජනවාරියේ. බුදුන් වහන්සේ මුලින්ම ශ්‍රී ලංකාවට වැඩම කිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන දුරුතු පෙරහැර පටන් ගන්නේ කැලණිය රජමහා විහාරයෙන්. 1927 විතර කාලයේදී පටන් ගත්තාය කියලා කියවෙන දුරුතු පෙරහැරත්, ලංකාවේ සාම්ප්‍රදායික සංස්කෘතික/ආගමික අංගයන් අතරින් මූලිකම සහ වර්ණවත්ම උත්සවයක් කියලා කියන එක වැරදි නැහැ.
Leave a Reply