එක එක රටවල් කෑම කද්දි පිළිපදින අමුතු විදිහේ චාරිත්‍ර

කෑම කන වෙලාවට කරන්න ඕනෙ සමහර දේවල් ගැන අපිත් පොඩිකාලෙ ඉඳන් අහල තියනව. කෑමට කලින් අත් හෝදන්න, දකුණු අතින් කෑම කන්න, ඇඟිලි තුඩු වලින් එහාට ඉඳුල් ගාව ගන්න එපා, කන ගමන් පොත් කියවන්න එපා වගේ දේවල්. මේවා බොහොමයක්ම සෞඛ්‍ය කාරණා මූලික කරගෙන හැදිච්ච නීති. හැබැයි අපි කියන්න යන්නේ ඊට ටිකක් එහා ගිය සමහර රටවල තියන කෑම එක්ක බැඳිච්ච සම්ප්‍රදායන් කීපයක් ගැන. බලන්න මේ රටවල අය කෑම ගනිද්දි පිළිපදින සමහර දේවල් කොයි තරම් වෙනස්ද කියලා…

 

1. සුරුස් ගාල සුප් බීලා චොප්ස්ටික්ස් වලින් කන ජපන්නු

Image Source – giphy.com

ජපන් ජාතිකයන්ගේ කෑම සංස්කෘතිය හරිම අපූර්වත්වයක් සහිතයි. මේ අය ගොඩක් වෙලාවට කොට මේස දෙපස එළපු තතමි පැදුරුවල ඉඳගෙන තමයි ආහාර ගන්නෙ. බටහිර රටවල හැඳි ගෑරප්පු වගේ ජපන් ජාතිකයන් ආහාර ගන්න යොදාගන්නේ චොප්ස්ටික්ස් කියල හඳුන්වන ලී කූරු කියල ඔයාල දන්නවනෙ. මේ චොප්ස්ටික් වලින් කෑම ගනිද්දි පිළිපදින්න ඕනෙ කාරණා රාශියක් තියනවා. කෑම ගන්නා අතරතුර මේ චොප්ස්ටික්ස් කෑම පිඟානේ සිරස් අතට හිටින විදිහට තබන එක හරිම අසුබයි කියලයි ජපන් ජාතිකයන් විශ්වාස කරන්නෙ. ඒ වගේම චොප්ස්ටික් එකකින් තවත් කෙනෙකුගේ චොප්ස්ටික් එකකට කෑමක් හුවමාරු කරන එකත් නරක දෙයක් කියලයි ඒ අය සලකන්නෙ. තමන් චොප්ස්ටික් එකෙන් ගන්න හැම කෑමක්ම එක පාරම මුවෙහි රුවාගෙන ආහාරයට ගන්න එකයි ජපන්නු කරන්නෙ. එහෙම නැතුව කෑල්ලෙන් කෑල්ල කඩාගෙන කීප වතාවකට කන එක මේ අයට අනුව වැරදි දෙයක්. තවත් විශේෂිතම දෙයක් තමයි සුප් බොද්දි, නූඩ්ල්ස් කද්දි එහෙම කෑම බඳුන මුවට අරගෙන සුරුස් සුරුස් ගාල ඇදල කන බොන එක ඒ අය හොඳ පුරුද්දක් හැටියට සලකන එක. මේක කෑමට කරන ගෞරවයක් හැටියටයි ජපන් ජාතිකයො සළකන්නෙ.

 

2. අතින් අල්ලා කෑම තහනම් බ්‍රසීලය

Image Source – thatfoodcray.com

බ්‍රසීල ජාතිකයොත් අමුතුම විදිහේ ආහාර ගැනීමේ චාරිත්‍ර තියන උදවියක් තමයි. මේ අයගෙ ගොඩක් චාරිත්‍ර බැඳෙන්නෙ අත් සම්බන්ධවයි. බ්‍රසීල ජාතිකයන් එක්ක ආහාර ගනිද්දි පිළිපදින්න ඕනෙ ප්‍රධාන කාරණයක් වෙන්නේ තමන්ගේ අත් දෙකම කෑම මේසය මත පෙනෙන්නට තිබිය යුතු වීම. ඒ කිවුවෙ උකුළෙන් හරි, මේසය යට හරි අතක්වත් තියාගන්න බැහැ. වැලමිට මේසය මත නොතබා අතේ ඉතිරි කොටස මේසය මත තබාගෙන තමයි ආහාර ගන්න ඕනෙ. ඒ වගේම කෑම අතින් අල්ලලා කන එක බ්‍රසීල ජාතිකයො අවමානයක් හැටියටයි සලකන්නෙ. හැඳි ගෑරප්පු වලින් කන කෑම විතරක් නෙමෙයි, පීසා, බර්ගර්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ අතින් අල්ලං කන කෑම වුණත් ගෑරප්පුවකින් තමයි මේ අය කන්නෙ. අතින් අල්ලලා කන්නම ඕනෙනම් කඩදාසි අත්පිස්නාවකින් හරි මේ කෑම අල්ලන්න ඕනෙලු ඇඟිලි සහ අත්වල කෑම නොගෑවෙන්නට.

 

3. චීස් ඉල්ලා අමනාප නොවන්න! – ඉතාලිය

Image Source – sites.google.com

ඉතාලි කෑම කිවුවම ඉතින් එයාලගෙ කෑම වල තියන චීස් රසය තමයි අපේ මතකේ රස නංවන්නෙ. හැබැයි පුතෝ ඉතාලියෙ ගිහින් ඒ අය දෙන කෑමකට තවත් වැඩිපුර චීස් (උදාහරණෙකට කිවුවොත් එක්ස්ට්‍රා චීස් ටොපිංග් එකක්) ඉල්ලන්න යන්න නම් එපා කියලයි කියන්නෙ. ඒක ඒ අය අවමානයක් හැටියට සලකනවලු. මතක තියාගන්න ඕනෙ අනිත් කාරණේ තමයි ඉතාලියානුවන් ඇවිල්ලා තමන්ගේ කෑම වල රසයන් ගැන බොහොම සීරියස් විදිහට හිතන මිනිස්සුය කියන එක. අන්න ඒ නිසා මේ අය තමන්ගෙ කෑම එක්ක වතුර හරි වයින් හරි ඇරුණකොට වෙන කිසිම බීමක් බොන එක අනුමත කරන්නෙ නැහැලු. මොකද අනිත් බීම ජාති වලින් කෑම වල රසය හොඳට දිවට දැනෙන එකට බාධා කරනවාය කියලා මේ අය පිළිගන්න නිසා.  පීසා එකක් කද්දි ඇරුණහම වෙන කිසිම කෑමක් ගනිද්දි කාබනේටඩ් පැණි බීම හරි සැර මත්පැන් හෝ කොක්ටේල් හරි ගන්න එක වැරදියි කියලයි ඒ අය කියන්නෙ. ඉතාලි ජාතිකයො මත්වෙන සැර බීම ජාති කෑම කන්න ඉස්සරින් හරි කෑමෙන් පස්සෙ හරි තමයි පාවිච්චි කරන්නෙ.

 

4. ලුණු ගම්මිරිස් ඉල්ලා තරහකාරයෝ ඇති කර නොගන්න! – පෘතුගාලය

Image Source – spanishsabores.com

පෘතුගීසි ජාතිකයොත් බ්‍රසීල ජාතිකයො වගේම කෑම ගනිද්දි අත් දෙක හොඳින් මේසෙ මත තියාගෙන වැලමිටි මේසයෙන් පිටත තියාගෙන තමයි ඒ වැඩේ කරන්නෙ. ඒ අයත් පුළුවන් හැම කෑමක්ම හැඳි ගෑරප්පු වලින් කෑමට ගන්න කියලා තමයි කියන්නෙ. ඒ වගේම කෑමකට ආරාධනා ලැබිල ගියහම සාදය සංවිධානය කරපු තැනැත්තා හෝ තැනැත්තිය “බොම් ඇපටීට්” හරි “බොම් ඇපටිටෝ” හරි කියල කෑම ගැනීමට අවසර දෙනකන් කෑමට අත තියන එකෙන් ඒ අය වළකිනව. හෝටලයකට ගිහින් කෑමක් ගනිද්දිත් රැවුලත් ඕනෙ කැඳත් ඕනෙ විදිහේ අවුල් කේස් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පෘතුගාලෙදි. එහෙම වෙන්නෙ කෑම මේසය උඩ ලුණු සහ ගම්මිරිස් බඳුන් දෙකක් නොතිබ්බොත්. එහෙම වෙලාවකදි ලුණුයි ගම්මිරිසුයි ඉල්ලුවට අවුලක් නැහැලු. හැබැයි එහෙම ඉල්ලන එක ඒ හෝටලේ සූපවේදියාට කරන අගෞරවයක් හැටියට සැලකෙනවලු.

 

5. ගෑරප්පුව තිබ්බොත් කටේ… තායිලන්තෙදි වැරදියි වැඩේ!

Image Source – youtube.com

තායි ජාතිකයෝ කෑම ගනිද්දි හැඳි ගෑරප්පු පාවිච්චි කරන එකට කිසිම අමනාපයක් නැහැ. හැබැයි මේ අයට අනුව ගෑරප්පුවකින් කෑමක් අරගෙන කටට දාගන්න එක ටිකක් විතර අප්සට් වැඩක්. ඒ අය ගෑරප්පුවක් පාවිච්චි කරන්නේ හැන්දට කෑම තල්ලු කරන්නයි. ඊට පස්සෙ හැන්දෙන් තමයි කෑම කට ඇතුළට දාගන්න ඕනෙ. පළතුරු වගේ බත් එක්ක නොකන කෑමක් ගනිද්දි නම් ගෑරප්පුවක් පාවිච්චි කළාට වරදක් නැතිලු. අනිත් කාරණේ තමයි තවත් පිරිසක් එක්ක කෑමක් ගනිද්දි කෑම මේසෙ තියෙන බඳුන් වලින් තමන්ට කන්න පුළුවන් උපරිමේ කොත ගහලා බෙදාගන්න එක තායිලන්තෙදි නරක පුරුද්දක් හැටියටලු සලකන්නෙ. තමන්ට කෑම මදිනම් කී පාරක් වුණත් බෙදාගත්තට අවුලක් නැතිලු. ඒත් පිරිසක් ඉන්න මේසයකදි මුල් වතාවට බත් සහ ව්‍යංජන බෙදා ගනිද්දි ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තමයිලු මුලින්ම බෙදාගන්නට ඕනෙ අනිත් අයටත් කෑම සෑහෙන ඉතුරු කරල.

 

6. පොඩ්ඩක් ඉතුරු කළොත් තමයි නයිස් – චයිනීස්

Image Source – backpackingpanda.com

චීන ජාතිකයොත් ජපන් ජාතිකයො වගේ රාම තෙල් පිට කරමින්, සද්ද දාගෙන කෑම කන එක කෑමට කරන දැඩි ගෞරවයක් හැටියටයි සලකන්නෙ. මේ අය ගොඩක් වෙලාවට බත්, මාළුපිණි තියල තියන්නේ කරකවන්න පුළුවන් රවුම් මේසයකයි. චීන ජාතිකයොත් ජපන් ජාතිකයො වගේම කෑම ගනිද්දි චොප්ස්ටික්ස් භාවිතා කරනව. හැබැයි චොප්ස්ටික්ස් වලින් වැඩිය සෙල්ලම් දානවට ඒ අය කැමති නැහැ. සුප් භාජන වලට චොප්ස්ටික් දාල කළතවන එක, කතා කරද්දි චොප්ස්ටික් එක අනිත් අය දිහාවට යොමු කරන එක ඒ අය බොහොම නරක පුරුදු හැටියටයි සලකන්නෙ. ඒ වගේම තමන් බෙදාගත්ත කෑම පිඟානෙන් පොඩ්ඩක් හරි ඉතුරු කරන එක හොඳ පුරුද්දක් හැටියටයි ඒ අය සලකන්නෙ. මොකද කෑම පිඟාන හෝදපු ගාණට ඔක්කොම කෑවොත් එහෙම සංග්‍රහ කරපු කෙනා ඇති වෙන්න කෑම දීල නැහැ කියන අදහස ඉස්මතු වෙනවා කියලයි ඒ අය හිතන්නෙ.

 

7. ප්‍රංශයේ පාං එක්ක සෙල්ලම්

Image Source – rue89strasbourg.com

ප්‍රංශය කියන්නෙ ආහාර සංස්කෘතිය අතින් ඉතාම ඉහළ තලයක ඉන්න රටක්. මේ අයත් ආහාර ගැනීමේ චාරිත්‍ර වාරිත්‍ර බොහොම සීරියස් විදිහට අනුගමනය කරන ජනතාවක්. ප්‍රංශ ජනතාව අතර පාන් වලට තියෙන්නෙත් ඉහළ කැමැත්තක්. මේ අයගෙ ආහාර වේල් එක්ක සංග්‍රහ කරන පාන් ආහාරයට ගන්න තියෙන්නෙත් විශේෂ සැලකිල්ලකින්. ගොඩක් රටවල් ඇපටයිසර් එකක් හැටියට විතරක් පාන් යොදාගත්තත් ප්‍රංශයේදි මුළු ආහාර වේල පුරාවටම පාන් භාවිතා කරන්න පුළුවන්. ප්‍රංශ ජාතිකයො පාන් එකවරම මුවේ රුවාගන්නෙ නැහැ. ඒ වෙනුවට අතින් කඩලා තමයි ආහාරයට ගන්නෙ. අනිත් ආහාර වර්ග පිඟානට බෙදාගත්තත් පාන් තියන්න වඩාත් සුදුසු කෑම මේසය මත කියල තමයි ප්‍රංශ ජාතිකයන් සලකන්නෙ. ඒ වගේම හැඳි ගෑරප්පු වගේ කෑම ගන්න උදවුවෙන උපකරණයක් හැටියටත් පාන් කැබැල්ල ප්‍රංස ජාතිකයන් විසින් යොදාගන්නව. ඒ කිවුවෙ පිඟානෙ ඉතුරුවෙන කෑම ජාති වල මුහුකරගෙන කන්න, හැඳි ගෑරප්පු වෙතට කෑම තල්ලු කරන්න වගේ දේවලට මේ අය පාන් කැබලි යොදාගන්නව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *