සෝශල් මීඩියා ඇබ්බැහියෙන් ගැලවෙන හැටි

අපි සමහර වෙලාවට දවසට පැයක් දෙකක් සෝශල් මීඩියා වල ඉන්නවා. ලංකාවේ අපි වැඩියෙන්ම පාවිච්චි කරන සෝශල් මීඩියා කියන්නේ පහුගිය දවස්වල බ්ලොක් වුන සෝශල් මීඩියා සයිට් ටික. ඉන්ස්ටග්‍රෑම්, වයිබර්, ෆේස්බුක්, ට්විටර්, යූ ටියුබ් වගේ දේවල් අපේ රටේ සෝශල් මීඩියා විදියට පාවිච්චි වෙනවා. සෝශල් මීඩියා වල ගත කරන කාලෙන් අපිට වැදගත් කමක් තියෙනවාද? රූපවාහිනිය නැරඹීම, පුවත්පත් බැලීම, පොත් බැලීම, ක්‍රීඩා කිරීම වගේ පරණ විනෝදාංශ වලින් අපි දෙයක් ඉගෙන ගත්තා. ක්‍රීඩා ආදියෙන් අපිට ඇඟට ව්‍යායාමයක් ලැබුනා. ඒත් සෝශල් මීඩියා වලින්? ඒ සමාගම් සංවිධාන වලට නම් අපි නිසා සල්ලි හම්බකරගන්න ලැබුනා. ඒත් අපිට ලැබුනා කියලා කියන්න විශේෂ දෙයක් තියෙද? බොහෝවිට උත්තරේ වෙන්නෙ ‘නෑ’ කියන එක. කාලය ඔහේ ගතවෙනවා. අපි මොනවා හරි ඔබනවා, ෂෙයා කරනවා, හහා දානවා ආදී දේ කරනවා.

 

1.නෝටිෆිකේශන් ඕෆ් කිරීම

ඉස්කෝලේ හෝ අපි ඉන්න පරිසරයේ යම් කලහයක් යද්දි අපිව ඒ ගැන දැනුවත් කරන්න පිරිසක් ඉන්නවා. ඒ සමහරු යම් කලබලයක් වුනාම ඒක එවෙලෙම අප්ඩේට් කරනවා. ඒ වගේ සෝශල් මීඩියා වලත් අපි දාපු පෝස්ට් වලට කවුද කමෙන්ට් කළේ? මොනවද කමෙන්ට් කළේ? අපේ පිංතූර වලට කට්ටිය ලයික් කළාද? යාලුවෝ අලුතින් මොනා හරි දාලද ආදී වශයෙන් නෝටිෆිකේශන් එනවා. අපි වැදගත් වැඩක් කර කර ඉද්දිත් නෝටිෆිකේශන් ඕෆ් නොකළොත් ටොයිං ගාල අපිට සද්දෙ සහ ස්ක්‍රීන් එක පොපප් වෙලා ඒක පෙන්නුම් කරනවා. ඉන් පස්සේ ටිකකට ෆෝන් එක ගත්තම ආයේ වරුවකට වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. ඒ නිසා නෝටිෆිකේශන් ඕෆ් කරන එක සෝශල් මීඩියා වලින් ඈත්වෙන්න හොඳ විදියක්.

 

2. දින කිහිපයක් හෝ කාලයක් සෝශල් මීඩියා වලින් ඈත්වීම

පහුගිය දවස්වල සෝශල් මීඩියා බ්ලොක් කළා රටේ කලබල ආදිය නිසා. මේ වෙලාවේ ඇත්තටම අපිට නිවුස් ලැබුනා රූපවාහිනියෙන් සහ පත්තරෙන්. ඒ වුනත් අපේ ගොඩක් අය වීපීඑන් හරහා ගිහින් සෝශල් මීඩියා වල වෙන්නේ මොනවද කියලා හොයන්න අමතක කළේ නැහැ. සාමාන්‍ය මීඩියා වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් එහෙ මෙහෙ ගියත් ඒවායේ ඇත්ත නැත්ත මොනවද කියලා කවුරුවත් දන්නෙ නැහැ. එකපාර කවුරුවත් හිතන් නැති වෙලාවක සෝශල් මීඩියා වලින් වහන් වෙලා ඉන්න පුළුවන් නම් දවස් දෙක තුනක් වත්? ඒක බොහොම හොඳ තල්ලුවක් වෙයි සෝශල් මීඩියා වලින් ඈත් වෙන්න.

 

3. සෝශල් මීඩියා සඳහා සීමාසහිත කාලයක් පමණක් ලබාදීම

පාඩම් වැඩක්, කන්තෝරු වැඩක් වුනත් උදේ පටන් ගත්තාම දිගින් දිගටම කරන්න බැහැ. අපිට පැයකට විනාඩි පහ දහයක්වත් පොඩි විවේකයක් ඕනි. ඒ විවේක වෙලාවේ ෆෝන් එක අතට අරගෙන ෆේස්බුක් ටිකක් යන්න ගියොත් මෙන්න අපිට කමෙන්ට් කරන්න හිතෙන, ලයික් කරන්න හිතෙන දේවල් ගොඩක් තියෙනවා. එහෙම නැත්තං අපි ස්ක්‍රොල් කර කර ඉන්නවා. ආයේ අපි පැයක් වැඩ කළානම් පැයක් විතරම සෝශල් මීඩියා වලට කාලේ කැපකරන වෙලාවල් තියෙනවා. මේක මහ නාස්තියක්. ඒ නිසා අපි සෝශල් මීඩියා වලට දවසේ පැයක් හෝ දෙකක් හෝ ඊට අඩු කාලයක් ලබා දෙන්න ඕනි. ඒකට දැන් ඇප්ස් එහෙමත් ඇවිත් තියෙනවා.

 

4. එක් ටැබ් එකකින් පමණක් වැඩ ගැනීම

ස්මාට්ෆෝන් වගේම කම්පියුටරුත් මල්ටි ටාස්කින් වලට සපෝට් කරනවා. ඒ නිසා එකම වෙලාවේ වැඩ කිහිපයක් කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වුනාට ඒක ඇත්තටම සාර්ථකද? එඩිටින් වැඩකට, යම් ව්‍යාපෘතියකට වගේ වැඩකට නම් ඔන්න ඇප්ස් කීපයක්, ප්‍රෝග්‍රැම් කීපයක් එකපාර ඕනි වෙනවා. එහෙම නැතුව දෙයක් සර්ච් කරගන්න කියලා ඉන්ටනෙට් යද්දි දෙපැත්තෙන් ට්විටර් ටැබ් එකයි, ෆේස්බුක් ටැබ් එකයි ඕපන් කරගත්තොත් අපේ වැඩේ වෙන්නෙ නැහැ. අර සෝශල් මීඩියා දෙකේ කරක් ගහන වැඩේ නම් හොඳටම සිද්ද වෙනවා. ඒ නිසා මොනා හරි හොයන්න හරි මොනාහරි වැඩකට අපි ෆෝන් එකට හෝ කම්පියුටරයට ලොග් වෙනවා නම් ඒ අදාළ දේ විතරක් කරගෙන එන්න හුරුවෙන එක වැදගත්.

 

5. උදේ පළමු පැය සෝශල් මීඩියා වලින් ඈත්වීම

උදේ පාන්දරම නිදි පැදුරෙදිම සෝශල් මීඩියා වලට මූණ ඔබාගත්තම උදේම අපිට එන්නේ හොඳ ෆීලින් එකක් නෙමෙයි. ඒ වගේම උදේ කරන්න තියෙන වැඩ ආදියත් මිස් වෙනවා. සමහර වෙලාවට කන්තෝරු යන්න පරක්කු වුන එකට ට්‍රැෆික් වලට දොස් කිව්වට ඇත්තටම හේතුව බැලුවොත් නින්දෙන් ඇහැරිලා ෆෝන් එක ඔබ ඔබ ඉඳීමත් හේතු වෙලා තියෙනවා. අපේ යාලුවෝ ගොඩක් ඉන්නේ ලංකාවේ. පිටරට ඉන්න යාලුවෙක් කලාතුරකින් මොකුත් දැම්මොත් හැර මහ රෑ 9ට සෝශල් මීඩියා වලින් ඈත් වුනාම උදේ පාන්දර 5ට ආයේ බලන්න කියලා අලුතින් දෙයක් යාලුවෝ පළකරලා නැහැ. ඒත් අපි ඇතැමෙක් සංසාර පුරුද්දට වගේ උදේ පාන්දරත් සෝශල් මීඩියා වල කාලේ කනවා. දවසෙ පළමු පැය, පළමු කාල හෝරාව වත් මේ කාලය නසන සෝශල් මීඩියා වලින් යම්තාක් දුරට ඈත් වෙන්න පුළුවන් නම් ඒක දවසෙම කාලේ ඉතුරු කරගන්න හොඳ පිවිසුමක් වෙයි.

 

6. වෙනත් විනෝදාංශ වලට හුරු වීම

පැලයක් හදලා ඒකේ කොළ දාල, දලු දාල ලොකු වෙලා ගෙඩියක් හැදෙන එක බලන එක, මොනාහරි අලුතින් කෑමක් හදලා ගෙදර අය එක්ක කන එක, යාලුවෝ සෙට් වෙලා පොඩ්ඩක් සින්දුවක් කියලා ඕපයක් කතා කරලා ආතල් එකේ ඉන්න එක, අත්කම් වැඩක් නිර්මාණයක් කරන එක, ක්‍රීඩා කරන්න යන එක ආදි ගෙඩක් විනෝදාංශ තියෙනවා. මේ විනෝදාංශ වලින් ඇත්තටම අපේ මනසට සහනයක් වගේම ඇඟටත් හොඳ ගැම්මක් එනවා. සෝශල් මීඩියා ගැන කෙරිලා තියෙන ගොඩාක් රිසර්ච් වලින් හොයාගෙන තියෙන විදියට සෝශල් මීඩියා ක්ෂණික සහනයක් විතරයි. දිගුකාලීනව මනසට, මොළයට සෝශල් මීඩියා කියන්නේ අමතර බරක්. ඒ නිසා පරණ විනෝදාංශ එක දෙකක් නැවත ඇතිකරගන්න සුළුවෙන් හෝ උත්සාහ කරන එක සෝශල් මිඩියා වලින් ඈත්වෙන්න තියන්න පුළුවන් හොඳ පියවරක් වෙනවා.

 

7. පිට යමු

අපේ මුතුන් මිත්තන් පවා හැමදාම කුඹුරු කොට කොට කුඹුර සහ ගෙදර කියන ඩේලි රූටින් එකට හුරු වෙලා උන්නේ නැහැ. එයාලට කියලා වෙනම තොවිල් පවිල් යාග ආදී සංස්කෘතික අංග තිබුනා. පෙරහැර, උත්සව ආදී ආගමික අංග තිබුනා. ඒ වගේම වන්දනාවේ යෑම, නෑයෝ බලන්නට යෑම වගේ චාරිකා තිබුනා. දිනපතා කරන වැඩ කිරීම සහ ඉතුරු වෙලාව තියේ නම් සෝශල් මීඩියා වලට එබීම හැරෙන්නට මේ දිනපතා කරන වැඩ වලින් පොඩ්ඩක් එහාට වෙන්න අපිට මාර්ග ගොඩක් තියෙනවා. සිග්නල් නැතිම කැළෑබද තැනක රෑකට සත්තුන්ගේ සද්දේ එක්ක ඉද්දි අපිට ආයේ ශතවර්ශ ගාණක් අතීතෙට ගිහින් මිනිසා කැළේ උන්න කාලෙට මනසින් යන්නට ලැබෙනවා. ඒ වගේ මේ තියෙන ඒකාකාරී සිස්ටම් එකෙන් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්න පුළුවන් නම් සෝශල් මීඩියා නැතුවත් අපිට ඒ කාලේ ගතකරන්න ලේසිවෙයි.

 

දෙයක් කරන්න හිතුව කියලා විතරක් ඒක වෙන්නේ නැහැ. අපි කවදා හරි කොහොම හරි පටන් ගන්න ඕනි. අපි සෝශල් මීඩියා වලට ටිකක් ඇඩික්ට් වෙලා වගේ නම් ඒක හොඳටම වටහාගන්න පුළුවන් වෙන්නේ අපිටම තමයි. ඉන් පස්සේ ඒකෙන් ගැලවෙන වැඩපිළිවෙලත් ගාණට අපිටම හදාගන්න වෙනවා. ටිකෙන් ටික සෝශල් මීඩියා වලින් සම්පූර්ණයෙන්ම ඈත් වීම කෙසේ වෙතත් දවසට පැයකට අඩු කාලෙකට සෝශල් මීඩියා වල ගැවසීම අඩුකරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. කාලය රන් හා සමානයි. ඒත් සෝශල් මීඩියා වල අප ගතකරන කාලය රන් හා සමාන වෙන්නේ සෝශල් මීඩියා වල අයිතිකරුවන්ට සහ ඒ හරහා බිස්නස් කරන අයට විතරයි.

 

 

 

Leave a Reply

Your email address will not be published.