ලෝකයේ දකින්න ලැබෙන අමුතුම විදිහේ විවාහ චාරිත්‍ර

ලංකාවෙ අපෙත් නොයෙකුත් විවාහ චාරිත්‍ර ක්‍රම තියනවා. ටිකක් විතර කම්මැලි පැත්තට බර වුණාට ඉතින් දෙයියනේ කියලා ෂේප් එකේ පිළිපැදලා ඉන්න පුළුවන් ඒවා ටිකක් තමයි අපේ රටේ තියෙන්නෙ. හැබැයි හැම රටේම එහෙම නෑ. අපේ ඔය ජෝඩුව පිටත් වෙද්දි දෙන රැග් එක වගේ සීන් හැබෑවටම චාරිත්‍ර හැටියට විවාහ මංගල්‍යයකදි ඉෂ්ට කරන රටවලුත් තියනවා. සමහර චාරිත්‍ර හෙන විකාරයි, සමහර ඒවා විනෝදජනකයි. බෙල්ල ගහල යන විදිහේ ඒවාත් තියනවා. කියවලා බලන්නකො මොනවද ඒ විදිහෙ ලෝකයේ අමුතු විවාහ චාරිත්‍ර කියලා.

 

1. ඉන්දියාවේ සපත්තු හැංගිල්ල

Image Source – zowed.com

ඉන්දියාව කියන්නේ අමුතු විවාහ චාරිත්‍ර ගොඩක් තියන රටක්. සත්තුන්ටයි ගස් වලටයි තරුණියන්ව කසාද බන්දල දෙන චාරිත්‍රයකුත් තියනවනෙ ඉන්දියාවෙ. ඒ වගේම විවාහ මංගල්‍යයකදි ඉන්දියාවේ දකින්න ලැබෙන ජනප්‍රියම චාරිත්‍රයක් තමයි මේ සපත්තු හැංගිල්ල. ජූටා චෝරී නමින් තමයි මේක හඳුන්වන්නෙ. මංගල පෝරුවට නගිද්දි මනමාලයා විසින් ගලවන සපත්තු කුට්ටම මනමාලිගේ පාර්ශවේ තරුණියන් විසින් හංගන එක තමයි මේකෙදි කරන්නෙ. බොහෝ විට මනමාලිගේ සොයුරියක් තමයි මේ වැඩේ කරන්නෙ. ඊට පස්සේ මේ අය සපත්තු ආපහු දෙන්න නම් තමන්ට පගාවක් දෙන්නය කියලා මනමාලයාගෙන් ඉල්ලනවා. මනමාලයාගෙ පැත්තෙ තරුණ පිරිමි උදවියත් නිකන් ඉන්නෙ නෑ. ඒ අයත් උත්සාහ කරනවා කොහොමහරි මනමාලයගෙ හංගපු සපත්තු දෙක හොයාගෙන නම්බුව බේරගන්න. හැබැයි ඉතින් ගොඩක් අවස්ථාවලදි මේ අයට සපත්තුව හොයාගන්න නම් හම්බුවෙන්නෙ නැහැලු. එහෙම වෙලාවට මනමාලයා සපත්තුව ගන්න මනාලියගෙ සොයුරියන්ට පගාවක් දුන්නහම ඒ අය හංගපු සපත්තු අරන් ඇවිත් මනමාලයාගෙ දෙපයේ පළන්දනවලු.

 

2. පිස් පෝච්චියේ ආහාර සංග්‍රහය – ප්‍රංශය

Image Source – picclick.fr

‘Le Pot de chambre’ නමින් තමයි මේ ප්‍රංශ විවාහ චාරිත්‍රය හැඳින්වෙන්නෙ. විවාහ උත්සවය අවසන් කරන්නට ළංවෙලා තමයි මේ චාරිත්‍රය පැවැත්වෙන්නෙ. විවාහ උත්සවයේ ඉතුරු වුණ මත්පැන් සහ නොයෙකුත් ආහාර වර්ග මිශ්‍ර කරලා පිස් පෝච්චියක (මුත්‍රා කිරීමට භාවිතා කරන බඳුනක්) දාලා මනාල යුවළට පිළිගන්වන එකයි මේකෙදි කරන්නෙ. මේ මගින් මධුසමයට යන්න පිටත් වෙන යුවළට ශක්තිය ලැබෙනවා කියලයි විශ්වාස කරන්නෙ. ඉතින් මනාල යුවළට සිද්ධ වෙනවා ඒ විදිහට පිළිගන්නන ආහාරය හෝ පානය රසවිඳින්න. මේ අප්‍රසන්න චාරිත්‍රයේ පොඩි හොඳකට තියෙන්නේ ඉතින් මේකට භාවිතා කරන්නේ අලුතින්ම ගත්ත පිස් පෝච්චියක් වීම තමයි.

 

3. නව යුවළට වැසිකිළි යෑම තහනම් වන මැලේසියානු ගෝත්‍රය

Image Source – bamboo-nation.com

මැලේසියාවේ ටිඩොන්ග් කියන ජන කොට්ඨාසය අතර තමයි මේ විකාර චාරිත්‍රය දකින්න ලැබෙන්නේ. මේක එක්තරා ආකාරයක සෞඛ්‍ය අවදානමක් කියලත් කියන්න පුළුවන්. ටිඩොන්ග් යුවළක් විවාහ වුණහම ඒ අයට දවස් තුනක් යනකන් ගෙදරින් එළියට බහින්න තහනමක් පැණවෙනවා. ඒ විතරක් නම් මදැයි, දවස් තුනක් යනකන් මූත්‍ර හෝ මළපහ කරන්න වැසිකිළිය පාවිච්චි කරන්නත් තහනම්. නව යුවළගෙ වැඩිහිටියෝ මේ අය අවට ගැවසෙමින් මේ දෙන්නා වැසිකිළි නීතිය කඩනවද කියලා විමසුම් ඇස යොමාගෙනලු ඉන්නෙ. ටිඩොන්ග් ජනතාව විශ්වාස කරන්නේ මෙහෙම මළ මුත්‍ර බර දවස් ගාණක් ඉවසගෙන ඉඳීමෙන් දෙන්නා අතර බැඳීම ශක්තිමත් වෙනවා කියලලු.

 

4. මාසායි ගෝත්‍රිකයන්ගේ කෙළ ගැහිල්ල

Image Source – planetdolan.com

ලංකාවෙ අය නම් තව කෙනෙක්ට කෙළ ගහන්නේ තමන්ගෙ අප්‍රසාදය පෙන්නන්නයි. ඒ වුණත් අප්‍රිකානු ගෝත්‍රික කණ්ඩායමක් වන මාසායි ගෝත්‍රිකයන් ඒකෙ අනිත් පැත්ත. ඒ අය කෙළගැහීමෙන් කරන්නෙ සුභ පතන සහ ආශිර්වාද කරන එකලු. මේ ගෝත්‍රිකයින්ගේ විවාහයකදි මනාලියගෙ හිස බූ ගානවා. එහෙම කරන්නෙ විවාහයක් මගින් සිද්ධ වෙන අලුත් ආරම්භය සංකේතවත් වෙන්නලු. ඊට පස්සේ මනාලිය පිටත් වෙද්දි තමයි අපි මේ කියන අමුතු චාරිත්‍රය එළියට එන්නේ. මනාල යුවළ පිටත් වෙන මොහොතෙදි මනාලියගෙ තාත්තා ඇවිත් මනාලියගෙ ඔලුවටයි, පපු ප්‍රදේශයටයි කෙළ ගහනවලු. ඒ කෙළ පහරේ ආශිර්වාදය විඳගෙන තමයිලු මසායි තරුණියො මංගල නැකතින් පෙම්බරයා හා පිටවෙන්නෙ.

 

5. නාවර නාවන ස්කොට්ලන්ත ජාතිකයෝ

Image Source – emlii.com

මේ චාරිත්‍රය හඳුන්වන්නෙ බ්ලැකනින්ග් නමින්. අතීතයේ සිට ස්කොට්ලන්තයේ පැවතගෙන එන මේ විවාහ චාරිත්‍රය අදටත් ස්කොට්ලන්තයේ දුර ගම් පළාත් වල අය පිළිපදිනවලු. මේ චාරිත්‍රය සිද්ධ කෙරෙන්නේ විවාහ මංගල්‍යයට දවස් කීපෙකට කලින්ලු. විවාපත් වෙන්න ඉන්න යුවළව අල්ලගන්න ඒ අයගෙ යාලුවො කරන්නේ මේ දෙන්නව නෑවෙන්න යම් දියරයක් වක්කරන එකලු. ටිකක් ඇලෙනසුලු ගතියක් එන්න හදන මේ ද්‍රාවණය හදන්න ඉතිරි වුණු කෑම සහ වෙනත් ඇලෙනසුලු ද්‍රව්‍ය භාවිතා කරනවලු. නව යුවලව මේවයින් නාවලා, සමහරු ඒ දෙන්නව ගස් බැඳිල්ලත් කරනවලු. ඊට පස්සෙ වටපිටාවේ අයට පේන්නත් එක්ක මේ දෙන්නව පෙරහැරකින් කැන්දගෙන යනවලු.

 

6. පිඟන් බඩු බිඳින ජර්මානුවන්

Image Source – livlifemag.com

‘Polterabend’ තමයි මේ චාරිත්‍රයේ නම. දැන් ඔය මංගල තෑගි හැටියට අපේ අයත් බහුලව දෙන තෑගි වර්ගයක්නෙ පෝසිලෙන් පිඟන්, කෝප්ප, විසිතුරු බඳුන් වගේ දේවල්. ජර්මානුවනුත් ඒ්වා මංගල තෑග්ගක් හැටියට යොදාගන්නව. හැබැයි තෑගි දෙන්න නෙමෙයි, පොළේ ගහලා නව යුවළට සුබ පතන්නෙ. වැඩේ වෙන්නේ මෙහෙමයි. විවාහ මංගල්‍යයට සතියකට දෙකකට කලින් යුවළගේ නෑදෑ හිතවත්තු පෝසිලේන් භාණ්ඩ අරගෙන එනවාලු මනාලියගෙ නිවසට හෝ කලින් තීරණය කරගත් ස්ථානයකට. ඇවිත් විවාපත් වෙන්න ඉන්න යුවළ ඉස්සරහපිට මේ පෝසිලේන් බඩු පොළේ ගහල කඩනවලු. මෙහෙම කිරීමෙන් විවාහ වෙන්න ඉන්න යුවළගේ දොස් දුරුවෙලා, වාසනාව උදා වෙනව කියලලු ජර්මානුවන් විශ්වාස කරන්නෙ. මේ විදිහට පොළේ ගහල කඩන භාණ්ඩ වල සුන්බුන් අස්පස් කරන්න වෙන්නෙත් මනාල යුවලට තමයි. එහෙම එකතුවෙලා අස්පස් කිරීමෙන් දෙන්නා අතර එකමුතුවත් වැඩෙනවය කියල ජර්මානුවන් විශ්වාස කරනවා.

 

7. මනමාලයාට මාළු ප්‍රහාරයක් එල්ල කරන කොරියානුවන්

Image Source – funrumor.com

මේ චාරිත්‍රය වාර්තා වෙන්නෙ කොරියාවෙන්. කොරියාවේ විවාහ මංගලෝත්සවය අවසන් කරලා මනාලිය එක්ක පිටත් වෙන්න සූදානම් වෙන මනාලයන්ට ඊට කලින් යම්කිසි අමුතු චාරිත්‍ර ක්‍රමයකට මුහුණු දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි කකුල් දෙකට කරන පහර දීමකට ලක්වෙන්න සිදුවෙන එක. මනාලයගෙ නෑදෑයො තමයි මේ පහරදීම කරන්නේ. මනාලයගෙ සපත්තු මේස් ගලවලා, දෙකකුල් ගැටගහලා කෝටුවකින් හරි වියළපු මාළුවෙක්ගෙන් හරි මනාලයාගෙ යටිපතුල් වලට පහර දෙන එකයි මේ චාරිත්‍රය. තරමක් වේදනාකාරී වැඩක් වගේ පෙනුනත්, බොහොම ඉක්මනට සිද්ධ කරන විනෝදබර චාරිත්‍රයක් හැටියටයි මේක ගැන දැනගන්න ලැබෙන්නෙ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *