ලෝකෙ පුරා මිනිසුන්ගේ අමුතුම විනෝදාංශ

විනෝදාංශයක් කියන්නෙ අපි කවුරුත් නිදහස් වෙලාවට කරන හිතට සතුටක් ගේන ක්‍රියාකාරකමක්. පොත් පත් කියවීම, චිත්‍රපට බැලීමේ ඉඳන් දුර ගමන් බිමන්, කඳු නැගීම වගේ දේවල් වෙනකං එක එක අයගේ විනෝදාංශයන් වෙනස් වෙනවා. හැබැයි විනෝදාංශ කියලා අදහගන්න බැරි අමුතු දේවල් කරන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නව. මේ කියන්න යන්නෙ අන්න ඒ වගේ ලෝකේ පුරා මිනිස්සු නිදහස් වෙලාවල් ගත කරන්න හොයාගෙන තියෙන අමුතුම විනෝදාංශ ටිකක් ගැනයි. හැබැයි මේවයින් බොහොමයක් අපිට උත්සහ කරලා බලන්නනම් හොඳ ඒව නෙමෙයි හොඳේ.

 

1. මැරුණා වගේ රඟපෑම

ඇමරිකාවේ Chuck Lamb කියන අවුරුදු 47ක මනුස්සය තමයි මේ අමුතුම විනෝදාංශයෙ යෙදෙන්නේ. විනෝදාංශය තමයි මැරිලා වගේ රඟපාන එක. රඟපාල නිකං ඉන්නෙනම් නැහැ. ඒ එක එක විදිහට මැරිල වගේ රඟපාන අවස්ථාවල පින්තූර අරගෙන ඒව එයාගෙ වෙබ් සයිට් එක හරහා මිනිස්සුන්ට බලන්න යොමු කරනව. මේ විදිහෙ අමුතු විනෝදාංශයක් තිබ්බට මේ පුද්ගලයා විවාහක, ඒ වගේම ළමයි 6 දෙනෙකුගේ තාත්ත කෙනෙක්. මේ පුදුමාකාර විනෝදාංශය කරන එකෙන් ඔහුගේ බලාපොරොත්තුව ඇත්තෙන්ම මැරෙන එකනම් නෙමෙයි. එයා කාලෙක ඉඳන් හුඟක් ආසයිලු චිත්‍රපටියක හෝ රූපවාහිනී වැඩසටහනක පෙනී ඉන්න. හැබැයි ලොකු පෙනුමක් නැති නිසාත් රඟපාන්න බැරි නිසාත් එයාට කවදාවත්ම එහෙම අවස්ථාවක් නොලැබෙයි කියල හිතල තියෙනවා. ඉතින් මේ අමුතු රඟපෑම නිසාවත් ඒකට අවස්ථාවක් ලැබෙයි කියල තමයි Chuck Lamb හිතාගෙන ඉන්නේ.

 

2. කුණු එකතු කිරීම

මේකනම් ටිකක් අප්‍රසන්න විනෝදාංශයක් වගේ බැලු බැල්මටනම් පේන්නේ. ඕස්ට්‍රේලියානු ජාතික Graham Barker කියන පුද්ගලය තමයි මේ අමුතු විනෝදාංශයේ යෙදෙන්නෙ. මේ පුද්ගලයා අවුරුදු 26ක් තිස්සේ තමන්ගේ බුරියේ එකතු වෙන කුණු, කුණු කිව්වේ දහදිය කුණු නෙමෙයි. ඇඳුම් ඇඳන් ඉඳල ගැලෙව්වම ඒවගේ දුවිලි අංශු පුළුන් බෝලයක් වගේ බුරියේ එකතු වෙන්නෙ, අන්න ඒව එකතු කරනවා බෝතල් වල දාල. මේවට කියන්නෙ Belly Puff කියල. මේ විදිහට අවුරුදු 6ක් තිස්සෙ එකතු කරපු belly puffs ග්‍රෑම් 22.1ක් වගේ ප්‍රමාණයක් මේ වෙද්දී එයා ළඟ තියෙනව කියල තමයි කියන්නෙ.

 

3. Extreme Ironing

මේකනම් ටිකක් ත්‍රාසජනක ක්‍රීඩාවක්. මෑතකදී හොයාගත්ත භයානකම ක්‍රීඩාව කියලත් කියනවා. හැබැයි ලෝකෙ වටේ හුඟක් අය අතරේ ප්‍රසිද්ධ මේ ක්‍රීඩාව වෙනුවෙන්ම වෙනම කාර්යාංශයක් පවා පිහිටලා තියෙනවා. මේකෙදි කරන්නේ කඳු මුදුන් උඩදී, ත්‍රාසජනක ජල ක්‍රීඩා අතරෙදී, sky diving අතරෙදි වගේ අමුතු තැන්වලදී රෙදි අයන් කරන එක. 1997 දි Phil Shaw කියන පුද්ගලයා කඳු නැඟීමක් සංවිධානය කරද්දී ඔහුගේ යාළුවො හැමෝටම අයන් කරන්න රෙදි තිබෙන බව කියල තියෙනවා. ඉතින් එහෙනම් රෙදි ටික අරන් ගිහින් කන්ද උඩදී අයන් කරමු කියලා ඔහු කරපු යෝජනාවෙන් පටන් ගත්ත මේ ක්‍රීඩාව අද වෙද්දී UK වල විතරක් නෙමෙයි ලෝකේ පුරාම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වෙලා.

 

4. මත් පෙති එකතු කිරීම

2009 දි අවුරුදු 46ක ලන්දේසි පුද්ගලයෙක් පොලීසියට එනවා එයාගෙ මත් පෙති එකතුවක් හොරකම් කරලා කියල පැමිණිල්ලක් දාන්න. හරිනම් පොලිසියෙන් අත්අඩංගුවට ගන්න තරම් කාරණයක්නේ මත් පෙති ලඟ තබා ගැනීම කියන්නේ. හැබැයි මේ පුද්ගලයා ඒව පරිහරණය කරන කෙනෙක්නම් නෙමෙයි. මත් පෙති වල ලස්සන වර්ණයනුත් ඒවා උඩ ගහල තියෙන විවිධ සීල් වර්ගත් නිසා අසාවෙන් ඒවා එකතු කරන බව තමයි මෙයා කියන්නෙ.

 

5. News-Bombing

Photo Bombing කියන්නේනම් අපිට ටිකක් විතර හුරු පුරුදු වචනයක් නේද? ඒ කියන්නෙ කවුරු හරි ගන්න ෆොටෝ එකක මැද්දට හෝ පසුබිමට ඕනෑකමින් කඩන් පැනල ඒ ෆොටෝ එක චාටර් කරන එක. මේ වගේම තමයි මේ නිව්ස් බොම්බින්ග් කියන විනෝදාංශය. එළිමහනේ කරන හදිසි ප්‍රවෘත්ති පටිගත කිරීම් වලදී පසුබිම ඉන්න කෙනෙක් අහම්බෙන් ඒ දර්ශන වලට අහුවෙනවා කියන්නෙ බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි මේ එක්සත් රාජධානියේ Paul Yarrow කියන පුද්ගලයනම් අවුරුදු ගාණක් තිස්සෙ BBC සහ Sky News ඇතුළුව ප්‍රධාන ප්‍රවෘත්ති හැම එකකම පසුබිමේ දර්ශනය වෙනවා. මෙහෙම මාධ්‍යවේදීන් පස්සෙන් යන්නේ හුදෙක්ම විනෝදය සඳහා බවයි මෙයානම් කියන්නෙ ඉතින්.

 

6. පියයුරු ගෙතීම

නෑ නෑ ඇත්ත පියයුරු නෙමෙයි. මේ කියන්නෙ වූල් හෝ නුල් වලින් ගොතන පියයුරු ගැන. එක්සත් රාජධානියේ ජීවත් වෙන අවුරුදු 84 ක Audry Horncastle කියන ආච්චි අම්මා තමයි මේ අමුතු පහේ විනෝදාංශයෙ යෙදෙන්නෙ. හැබැයි මේකනම් සමාජයට ලොකු උදව්වක් විදිහට තමයි මේ කාන්තාව කරගෙන යන්නේ. එයාගෙ මිනිබිරිය ඇතුළුව පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට පහසුවෙන් මව්කිරි දීම ගැන උගන්නන්න පුළුවන් වෙන්න තමයි මේ කෘත්‍රීම පියයුරු ගෙතීම මේ ආච්චි අම්මා කරන්නෙ.

 

7. Train Surfing

මේකත් හරිම භයානක අත්හදා බැලිය යුතු නැති ක්‍රියාවක්. ගමන් කරමින් තියෙන කෝච්චියක ඇතුළේ නොයා පිටත හෝ කෝච්චියේ වහලේ උඩ වගේ අමුතු තැනක ගමන් කරන එක තමයි මේ අමුතුම විනෝදාංශය. මේකත් ලෝකේ වටේම ප්‍රසිද්ධ හුඟක් අය අසාවෙන් කරන ක්‍රියාවක්. කෝච්චි හඳුන්වා දුන්න මුල් කාලේ තරම්ම ඇත ඉතිහාසයකට දිවෙන මේ ක්‍රීඩාව මුල් කාලේ නම් කොච්චි වල ඉඩ මදිවීම නිසා කරපු දෙයක් කියල තමයි කියන්නෙ. හැබැයි දැන්නම් මේක අභියෝග බාරගන්න කැමති තරුණ තරුණියන්ගේ විනෝදාංශයක් වෙනකන්ම දියුණු වෙලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *