ආණ්ඩුවේ තැනකට ගිහින් ඉක්මනට වැඩක් කරගන්න උපදෙස්

ආණ්ඩුවේ තැනකට වැඩක් කරගන්න ගියාම ඉස්සරට වඩා නම් දැන් හොඳයි. දැන් ඉන්න අලුත් පරම්පරාවේ අය ඉස්සර අය තරම්ම සවුත්තු නැහැ. කලින්ට වඩා වැඩ ඉක්මනින් කරලා දෙන්න උත්සාහ ගන්නවා. සමහර ආණ්ඩුවේ රාජකාරි වැඩවලට ඉතින් ඒ වැඩකරන අයටම බැනලත් බෑ. වෙන රටවල් දැන් මේ කොම්පියුටර ජාල වලින් වැඩ කරන්න අරන් අවුරුදු විස්සක් විතර. ඒත් අපේ තාම ඉඩමක් ගැන විස්තරයක් හොයාගන්න කන්තෝරුවකට ගියත් ෆයිල් ෆෝල්ඩර් ඇදලා හොයන්න ඕනි. ඒවාට සේවකයින් ඕනි. සමහර වෙලාවට අපිට වැඩක් කරගන්න ගියාම තරහ එනවා. ඒත් අපිට තරහ ගියා කියලා ආණ්ඩුවේ තැන් වල වැඩේ කෙරෙන හැටි වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ තැනකට බැනලා ෆේස්බුක් එකේ පෝස්ට් දැම්මාය කියලත් ලොකු දෙයක් වෙන්නේ නැහැ. අපි බලමු අපේ වැඩේ ආණ්ඩුවේ තැනකින් ලේසියෙන් කරගන්න මොනවද කරන්න ඕනි කියලා.

 

1. හැමෝටම ගරු සරු ඇතිව කතා කරමු

පුද්ගලික අංශයේ වැඩකරන අයෙක් නම් තමුන්ගේ බොස්ට පවා නමින් කතා කරනවා. ඒත් රජයේ තැන්වල තාමත් තියෙන්නේ අධිකාරී ස්වරූපයක්. ඇරත් පොඩි මට්ටමේ කෙනෙක්ට වුනත් හොඳට කට ඇරලා මහත්මයා, මිස් කියලා කියනවා නම් එයාල කැමතියි. අපි යන්නේ අපේ වැඩේ කරගන්න මිසක් ලෝකේ රට වෙනස් කරන්න නෙමෙයි. එයාල කැමති වෙන විදියට ගරු සරු ඇතිව කතා කළොත් අපිට වැඩේ ඉක්මන්ට කරගන්න හැකි වෙනවා.

 

2. හොඳට ඇඳ පැළඳගෙන යමු

දැන උගත්කම ඇඳුමින් මනින්න බැහැ. ඒත් ඇඳන් එන ස්වරූපයෙන් ඕනි කෙනෙක්ව අඳුනාගන්න රජයේ තැන්වල අයට පුළුවන්කම තියනවා. ටිකක් බුද්ධිය අඩු අය වැඩක් කරගන්න ආවාම නොයෙකුත් විදියට ඇණ වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා හඩු විදියට ෂෝටක්, ටී ෂර්ට් එකක් ගහලා කොණ්ඩෙත් අවුල් කරන් ගියොත් එහෙම රජයේ කාර්යාලෙකදි ලැබෙන සැලකීම අඩුයි. ඒ නිසා අපිට පුළුවන් තරමින් හොඳට, ස්මාට් විදියට පේන ආකාරයට ඇඳ පැළඳගෙන යන එක තමයි යුතු. ගෑණු කෙනෙක් උනත් ගොඩක් ෆැෂන් කරගෙන “පට්ටම පොෂ් නෝනා” මොඩල් ගියොත් ඒ කන්තෝරුවල ඉන්න කාන්තාවන්ගේ විවිධ කතා වලට ලක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කන්තෝරුවකට යන්න ගැලපෙන ඇඳුමක් ඇඳගෙන ගියොත් අපිට අපේ වැඩේ ඉක්මන් කරගන්න හැකිවෙයි.

 

3. සංසුන්ව කතා කරමු

ඉස්සර වගේ නෙමෙයි, දැන් පොලිසියේ මහත්වරු වුනත් සංසුන්ව කතා බහ කරනවා. ඒත් පොලිසියේ මහත්තයා බොහොම සන්සුන්ව ගරු සරු ඇතිව කතා කරද්දි සමහරු උත්තර දෙන්නේ බොහොම උඩඟු ටෝන් එකකින්. එතකොට ඒ අයටත් තරහ එනවා. රජයේ තැන්වල වුනත් ඒ අය අපේ වැඩේ එනකල්ම බලාගෙන ඉන්නේ නැහැ. එයාලටත් වෙන වැඩ තියෙනවා. ඉතින් අපි වැඩක් කරගන්න ගියාම පොඩ්ඩක් විතර තද ටෝන් එකකින් එයාල අපිට කතාකරන්නත් ඉඩ තියෙනවා. ඒත් මීයො කලබල වුනාට පූසා සංසුන් වගේ අපි කූල් එකේ කතාකරන්න හුරුවෙන්න ඕනා.

 

4. ප්‍රොසීඩර් එක අඳුනාගමු

අපි රජයේ තැනකින් වැඩේ කෙරෙන හැටි දන්නේම නැත්තන් කාගෙන් හරි අහගන්න ඕනි. එහෙම නැතිනම් රජයේ තොරතුරු දැනගන්න තියෙන 1919 වගේ සේවාවකින් අහලා දැනගන්න ඕනි. අපි මොකුත්ම නොදැන ගිහින් අදාළ නැති තැනකට සද්දේ දැම්මොත් ඉතින් රාජකාරිය කෙසේ වෙතත් ලේ ටික කෝප කරගෙන ගෙදර එන්න පුළුවන්කම අපිට ලැබෙනවා.

 

5. රැවටිලිකාරයින් මග හරිමු

ඉස්සර පාස්පෝට් ගන්න ගියත්, මෝටර් රථ ප්‍රවාහන ආයතනයේ ලයිසන් ගන්න, වාහනයක් රෙජිස්ටර් කරගන්න ගියත් කාක්කෝ හිටියා. තාමත් ඉන්නවා සමහර තැන්වල. කාක්කෝ ඇත්තටම වැඩ කරල දෙනවද? අපි හරියට අදාළ ලිපි ලේඛන අරගෙන නියමිත වෙලාවට ගියොත් අපිට තව කාටවත් සල්ලි දෙන්නේ නැතුව වැඩේ කරගන්න හැකියාව ලැබෙනවා. සමහර තැන්වල ඉන්න මේ රැවටිලිකාරයින් අපෙන් සල්ලි ගන්නවා. ඉන් පස්සේ කොහෙන් ගියාද කියලා හොයාගන්නත් නැති වෙනවා. ඒ නිසා පුළුවන් හැම අවස්ථාවකම ක්‍රමවේදය අඳුනාගෙන අදාළ ට්‍රැක් එකේම යන එක හැම අතින්ම හොඳයි.

 

6. අවශ්‍ය තැනට විතරක් බලය පෙන්වමු

ලංකාවේ තාමත් ලොක්කෙක් ඉන්නවා නම් වැඩේ ඉක්මන්ට කරගන්න හැකියාව තියෙනවා ගොඩක් තැන්වල. ඒත් අපිට සරලව කරගන්න පුළුවන් හැම දේටම ඉහළ තැන්වලට කතා කරන එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. අපි හිතමු අපි දන්නවා රජයේ ඉස්පිරිතාලෙක ලොකුම දොස්තර මහත්තයෙක්. අපි මේ පණුබේත් ගන්න ගිය වෙලාවක විනාඩි දහයක් පෝලිමේ ඉන්නෙ නැතුව අර මහත්තයාට කතා කරන එක ඒ මහත්තයට අපිව ඇණයක් වෙන්නත් හේතු වෙනවා. ආන්න ඒ වගේ අවශ්‍ය නැති තැන්වලට බලය පෙන්වන්න යන එකෙන් පාර්ශව කීපයක්ම අපහසුතාවයට පත් වෙනවා. අපේ අතේ කිසිම වැරැද්දක් නැතුව අනෙක් අයගේ වැඩ වලට වඩා අපේ එක ගොඩක් පරක්කු වෙනවා වගේ නම් ආන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් විදියට ඉහළින් හෙල්ප් එකක් ගත්තාට වරදක් නැහැ.

 

7. නියමිත කාල වේලාවට යමු

බැංකු ගත්තොත් රාජ්‍ය පුද්ගලික හැම එකම වගේ හවස තුනත් පහත් අතර වහනවා. පුද්ගලික බැංකු වල වහලා කිව්වම කට වහගෙන යන අය රාජ්‍ය බැංකුවල අදාළ වෙලාව පහුවෙලා කිව්වාම ගෝරි දාගන්න එනවා. කොහොම වුනත් ඒ ඒ තැන්වල රාජකාරි කෙරෙන වෙලාවල් තියෙනවා. ලොකු තැනක මහත්තයෙක් හම්බෙන්න වගේ යනවා නම් ඒ අදාළ වෙලාවක් අපිට දෙනවා. ලංකාවේ ට්‍රැෆික් එක්ක වෙලාවට යන්න හරි අමාරුයි. ඒත් පුළුවන් තරම් අපි උත්සාහ ගන්න ඕනි වැඩේ කරගන්න තියෙන තැනට විනාඩි දහයක් වත් කලින් යන්න.

 

පිටරට ගිහින් ආපු කෙනෙක්ට නම් මෙහෙ තැනකට වැඩකට ගියාම ටිකක් විතර අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික අංශයේ වැඩකරන අයටත් රජයේ වැඩ දිහා බලන් ඉඳීමම එක්තරා අප්‍රසන්නතාවයක් වෙන්න පුළුවන්. ඒත් යම් තැනක වැඩකරන, වැඩකෙරන විදිය එකිනෙකට වෙනස්. ඒ දේවල් වෙනස් කරන්න සමහර විට ඒ තැන්වල ඉන්න සේවකයින්ට විතරක්ම කරන්නත් බැහැ. අපේ වැඩේ කරගන්න ගිහින් ඇමරිකාවේ වැඩ කෙරෙන හැටි, අහවල් පුද්ගලික ස්ථානයෙ වැඩ කෙරෙන හැටි ගැන හරබර දේශනා පවත්වලාත් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. වවුලාගේ කන්තෝරුවට ගියානම් අපි එල්ලිලා ඉඳලා හරි අපේ වැඩේ කරගන්න ඕනි. රජයේ තැනකට ගියහමත් ආන්න ඒ වගේ තියෙන ඒ සිස්ටම් එකට අනුගත වෙලා අපිට ඕනි දේ කරගන්න අපි උත්සාහ කරන්න ඕනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *