මේ දවස් වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට තියෙන දරුණුතම ප්‍රශ්නයක් තමයි හරි නිව්ස් මොනවද, වැරදි නිව්ස් මොනවද කියලා තෝරා බේරා ගන්න එක. විශේෂයෙන්ම අපි බොරු නිව්ස් අඳුනගන්නේ කොහොමද කියලත් කලින් කියලා තියෙනවා. හැබැයි ඉතින් හැම නිව්ස් එකම ෆේස්බුක් එකෙන් හොයන්න ගියොත් හරි නිව්ස් වගේම වැරදි නිව්ස් වලටත් තමන් අහුවෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. අන්න ඒ නිසා හොඳම දේ තමයි ෂුවර් පිට නිව්ස් හොයාගන්න පුළුවන් කියලා හිතෙන ඇප් එකක්, දෙකක් තමන්ගේ ෆෝන් එකේ තියාගන්න එක. අපි මේ කියන ඇප්ස් හැම එකක්ම ඉංග්‍රීසි බාසාවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ නිව්ස් වගේම ලෝකේ නිව්ස් ගැනත් දැනගන්න පුළුවන් ඇප්ස් කීපයක් අපි මේ ලිස්ට් එකට ඇතුළත් කරනවා.
1. Watchdog Sri Lanka
හරි නිව්ස්, වැරදි නිව්ස් හොයාගන්න බැරි කතන්දරේට වොච්ඩෝග් කියන්නේ නියම විසඳුමක්. සරලවම කියනවා නම්, මේ අය නිව්ස් ෆර්ස්ට්, අසාම් අමීන්, අද දෙරණ වගේ පිළිගත් සහ නිල පුවත් සේවාවන්ගෙන් ලබාදෙන උණුසුම් පුවත් හරි එසැණින් පුවත් හරි එකතු කරනවා. හැබැයි වොච් ඩෝග් ටීම් එක එතනින් නතර වෙන්නෙ නෑ. ඔය එකතු කරපු නිල පුවත් සහ පිළිගත් අයගෙන් ලැබුණු පුවත් වුනත් හරියටම හරිද කියලා කරුණු කාරණා හොයලා බලනවා. එහෙම නිවැරදි මූලාශ්‍ර ඔස්සේ හොයා බලලා හරියටම හරි කියලා හොයාගත්තු නිව්ස් එක ටැබ් එකකත්, බොරු කියලා ෂුවර් කරගත්තු නිව්ස් තව ටැබ් එකකත් පෙන්නනවා.
2. BBC News
ඉස්සර කොහොම වුනත් දැන් නම් බීබීසී කිව්ව ගමන් ඒ තරම් හොඳ අහන්න ලැබෙන්නෙ නෑ. ඒත් එහෙම කිව්වට ඇත්තටම ලෝක මට්ටමෙන් ගත්තොත් බීබීසී කියන්නේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන ප්රවෘත්ති වාර්තා බොහොම නිවැරදිව ලබාදෙන පුවත් සේවයක්. මේකේ අපිට එසැණින් පුවත් දැනගන්නත් පුළුවන්. ඒ වගේම අපිට වැඩියෙන්ම දැනගන්න වුවමනා මාතෘකා වෙනම තෝරාගන්නත් පුළුවන්. මොකද බීබීසී වගේ සේවයක නිව්ස් බොහොම බර තොගයක් හැම මොහොතකම අප්ඩේට් වෙන නිසා.
3. AP News
ඇසෝසියේටඩ් ප්‍රෙස් කියන්නේ ඇමරිකාවේ දැනට අවුරුදු 173කට විතර කලින් ආරම්භ කරපු ප්රවෘත්ති ඒජන්සියක්. මේ වෙනකොට ගෝලීය ප්රවෘත්ති ඒජන්සියක් වෙලා ඉන්න ඇසෝසියේටඩ් ප්‍රෙස් එක රටවල් 106ක ප්රවෘත්ති කාර්යාංශ 263 ක් මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇසෝසියේටඩ් ප්‍රෙස් කට්ටියගේ නිව්ස් එසැණින් ගේන මොබයිල් ඇප් එක තමන්ගේ ස්මාට්ෆෝන් එකේ තියෙන එක පාඩු නෑ. මොකද මේ අයත් විශ්වාදායක ප්රවෘත්ති ලබාදෙනවා කියලා ෂුවර් එකක් සාමාන්‍යයෙන් තියෙන නිසා.
4. Reuters
දින හතේම, පැය විසිහතරේම ලෝකේ වෙන්නෙ මොනවද කියලා දැනගන්න නම් ගැලපෙනම තවත් ඇප් එකක් තමයි රොයිටර්ස් කියන්නේ. රොයිටර් කියන්නේ කොයි තරම් ජනප්‍රිය නිව්ස් ඒජන්සියක්ද කියන්න එක උදාහරණයක් දෙන්නම්. අපේ ගම් ගොඩවල් වල සිද්ධවෙන හැමදේම දන්න ඇන්ටිලාට එහෙමත් ඒ කාලේ කිව්වේ රොයිටර් කියලා! ආන්න එහෙම රොයිටර් නිව්ස් ඒජන්සියේ නිව්ස් දැකබලා ගන්න පුළුවන් රොයිටර්ස් නිව්ස් ඇප් එකෙන්. රටවල් 180 ක ඉන්න මාධ්‍යවේදීන් 2,000කට වැඩි ප්‍රමාණයක් ඉන්න රොයිටර් එකෙන් සිදුවීම් ඉතාම ඉක්මනට, විශ්වාසනීයව ආවරණය කරනවා කියන්න පුළුවන්.
5. NYTimes
නිව්යෝර්ක් ටයිම්ස් කියලා කිවුවට මේ නිව්ස් ඒජන්සිය ආවරණය කරන්නේ මුළු ලෝකෙම තමයි. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාකරණය ගැන සමහර වෙලාවට යම් යම් මතභේද තියෙනවා. ඒ කියන්නේ ඒ අය සමහර නිව්ස් වලට වෙනස් වෙනස් අර්ථකතන දෙනවා කියලා. විශේෂයෙන්ම ලංකාවේ පහුගිය දවස් වල සිදුවීම් වලදී එහෙම වුනා කියලා සමහරු කියනවා. ඒක එහෙම වුනත් නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ ලංකාවේ ජනප්‍රියම ප්රවෘත්ති මූලාශ්රයන්ගෙන් එකක් කියන එක අපිට අමතක කරන්න බැහැ. ඒ නිසා ඔන්න නිව්යෝර්ක් ටයිම්ස් ඇප් එකත් අපේ ලිස්ට් එකට දානවා.
6. Google News
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තියෙන ස්මාට්ෆෝන් එකක් පාවිච්චි කරන ඕනම කෙනෙක්ගේ ෆෝන් එකේ තියෙන්න පුළුවන් ඇප් එකක් තමයි ගූග්ල් නිව්ස්. හැබැයි එහෙම එකක් තියෙනවා කියලවත් ගොඩක් දෙනෙක් නොදැන ඉන්න ඉඩ වැඩියි. ඇත්තටම ඉස්සර Google Play News stand කියලා ආපු ඇප් එක තමයි දැන් Google News කියලා තියෙන්නේ. මේ ඇප් එකෙනුත් ලෝකේ වටේ සිද්ධ වෙන දේවල්, ඒ සැණින්ම වගේ ගෙනැත් දෙනවා. ඒ වගේම විශ්වාසවන්ත මූලාශ්රයන්ගෙන් ප්රවෘත්ති ලබාදෙන්නත් මේ අය පරිස්සම්. සාමාන්‍යයෙන් මේ ඇප් එක දිගට දිගට පාවිච්චි කරනකොට, පාවිච්චි කරන කෙනාගේ රුචි අරුචිකම් අඳුනගෙන, ඒ අනුව පාවිච්චි කරන කෙනා වැඩියෙන්ම බලන්න කැමති නිව්ස් වලට වැඩි ප්රමුඛත්වයක් දෙන්න තරම් ‘බුද්ධියක්’ මේ ඇප් එකට තියෙනවා.
7. CNN news
වීඩියෝ නිව්ස් වලට කැමති අයට හොඳම ඇප් එකක් තමයි සී.එන්.එන් නිව්ස් කියන්නේ. ඇත්තටම සී.එන්.එන් සේවයත් ලංකාවේ සෑහෙන ප්‍රසිද්ධ විදේශ මාධ්‍ය සේවාවක්නේ. විශේෂයෙන්ම සී.එන්.එන් ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා තියෙන්නේ පැය විසිහතරේම ක්‍රියාත්මක වෙන කේබල් නිව්ස් චැනල් එකක් විදියට. ඔන්න සී.එන්.එන් නිව්ස් ඇප් එකෙනුත් ලෝකේ පුරාම සිද්ධ වෙන දේවල් ගැන නිව්ස් වීඩියෝ විදියට ලබාගන්න පුළුවන්කම තියෙනවා. මේ ඇප් එකෙනුත් ලෝකේ සිද්ධ වෙන දේවල් ඒ මොහොතේම වගේ ගෙනැත් දෙන්න උත්සාහ කරනවා.
Leave a Reply