ලෝකයේ දුර්ලභම සුනඛ වර්ග

හතර පයින් ඇවිදින ලොම් සහිත මේ යාලුවො ඉතින් කොහොමත් දුර්ලභ ගති ගුණ වලින් හෙබි අය තමයි. ඒකෙ දෙකක් නෑ. මිනිහාගේ හොඳම මිතුරා වෙන මේ සුනඛයන් අතරත් ඉතාම ජනප්‍රිය සුනඛ වර්ග තියනවා. අපේ රටේ සුනඛ සුරතලුන් ගත්තොත් ජර්මන් ෂෙපර්ඩ්, රොට්වෙයිලර්, ගෝල්ඩන් රිට්‍රීවර්, ලැබ්‍රඩෝර්, ඩැල්මේෂන් වගේ සුනඛ වර්ග මෙහෙ ඉතාම ජනප්‍රියයි. හැබැයි අපි අද මේ ලිපියෙන් කියන්න යන්නේ ජනප්‍රිය අය ගැන නම් නෙමෙයි, ලෝකයේ ඉතාම දුර්ලභම සුනඛ වර්ග ගැනයි. මේ කියන්න යන වර්ගවල සුනඛ සුරතලෙක් ඔයා ගාව එහෙම ඉන්නවනම් අපිට කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා ඔන්න.

 

1. ඔටර්හවුන්ඩ් (Otterhound)

බ්‍රිතාන්‍යය තමයි ඔටර්හවුන්ඩ්ගේ ජන්ම භූමිය. බොහොම මිත්‍රශීලී ගති ලක්ෂණ තියන මේ කට්ටිය ටිකක් විතර ඇඟපතින් විශාලයි වගේම පිහිනන්නත් දක්ෂයො. දඩයම් සුනඛයන් හැටියට තමයි මේ වර්ගයේ අයව මුලදි හරි හරියට යොදාගෙන තියෙන්නෙ. පස්සේ කාලෙක මේ අයව යොදාගෙන දඩයම් කරන එක ඒ රටේ තහනම් කළාට පස්සේ තමයිලු ඔටර්හවුන්ඩ්ලාට නරක දසාවක් ලබන්න පටන්ගෙන තියෙන්නෙ. මේ වෙද්දි ලෝකයේම ඉන්නෙ ඔටර්හවුන්ඩ්ලා 800කටත් අඩු ප්‍රමාණයක් කියලයි කියන්නෙ. ලංකාවෙ මුදලින් ගත්තොත් අඩුම තරමේ රුපියල් ලක්ෂ 3ක්වත් මේ අය වටිනවා කියලයි දැනගන්න ලැබෙන්නෙ.

 

2. Canaan (කේනන්)

ලෝකයේ ඉපැරණිම සුනඛ වර්ගයක් තමයි මේ කේනන් සුනඛයන්. ඈත අතීතයේ මැද පෙරදිග මේ සුනඛ වර්ගය ජීවත් වුණාය කියලා පුරාණ ලිඛිත සාක්ෂි පවා තියනවා. ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායෙලයේ ජාතික සුනඛයා හැටියට සැළකෙන්නෙත් මේ කේනන් සුනඛයාව තමයි. මිනිස්සුත් එක්ක ෂේප් එකේ ඉන්න ඩයල්ස් එකක් වෙන මේ සුනඛයා හරිම බුද්ධිමත් සතෙක් කියලයි දැනගන්න ලැබෙන්නෙ. ඒ වගේම හොඳ ඇලර්ට් එකේ ඉන්න තද බුලට් එකක් කියලත් කියනවා. හැබැයි මෙයාල අනිත් සුනඛ වර්ග සහ බළල්ලු වර්ග එක්ක ටිකක් ගේමෙන්ලු ඉන්නෙ. ඊශ්‍රායෙලයේ ජාතික සුනඛයා වුණාට මේ වර්ගයේ සුනඛයො මුලු ලෝකෙටම ඉන්නෙ 1600ක් වගේ ගාණක් කියලයි දැනගන්න ලැබෙන්නෙ. සාමාන්‍යයෙන් මේ සුනඛ වර්ගයෙත් මිල රුපියල් ලක්ෂ එකහමාරකට වඩා උඩින් තමයි තියෙන්නෙ.

 

3. නෝවීජියන් ලන්ඩහන්ඩ් (Norwegian Lundehund)

නෝර්වේ රට තමන්ගේ වාසස්ථානය කරගත්ත මේ සත්වයා අපූරු ශරීර ලක්ෂණ කීපෙකටම උරුමකම් කියනවා. මෙයාගෙ හැම කකුලකම ඇඟිලි 6 ගාණෙ තියනවා. ඒ වගේම මෙයාට බෙල්ල පිටිපස්සට නවන්නටත් හැකියි. කකුලේ ඇඟිලි වැඩි නිසාමද මන්දා මෙයා කඳු නගින්න උපන් හපනෙක්. ඉස්සර කාලෙ මෙයාලගෙ ප්‍රධාන රාජකාරිය වෙලා තිබ්බෙ පෆින් කියන මුහුදු පක්ෂියාවත් උගේ බිත්තරත් දඩයම් කරන එකයි. ඒත් පස්සෙ කාලෙකදි වෙනත් දඩයම් ක්‍රම පැමිණීමත් එක්ක ලන්ඩහන්ඩ්ලාත් ටිකෙන් ටික දුර්ලභ වෙන්න පටන් අරන් තියනවා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ වෙද්දි මේ අය සහමුලින්ම වඳවී යන්නත් ගිහින් තියනවා. කොහොමින් කොහොම හරි අද වෙද්දි මුලු ලෝකෙටම මේ ලන්ඩහන්ඩ් සුනඛයින් 2000කටත් අඩු ගාණක් තමයිලු ඉන්නෙ. සාමාන්‍යයෙන් මේ සුනඛයෙක් රුපියල් ලක්ෂයකට ආසන්න ගාණක් වෙන බවයි දැනගන්න ලැබෙන්නෙ.

 

4. ඈසවක් (Azawakh)

බටහිර අප්‍රිකානු රටවල පැතිරිලා ඉන්න සුනඛ වර්ගයක් තමයි මේ ඈසවක් කියන්නෙ. සහරාව ආශ්‍රිතව ජීවත් වෙච්ච නොයෙකුත් ගෝත්‍ර එක්ක තමයි ඈසවක් සුනඛයා මුල් අවධියේදී සෙට් වෙලා ඉඳල තියෙන්නෙ. දිග කකුල් වලින් සහ කෙටි ලොම් වලින් යුක්ත මේ සත්වයා මිනිස්සුන්ට ඉතාම හිතවන්තව ජීවත් වෙන සතෙක්. ඒ වගේම හොඳ අවධානෙන් ඉන්න මුර බල්ලෙක් හැටියටත් මෙයා ප්‍රසිද්ධයි. මේ එක් සුනඛයෙක් අඩුම වශයෙන් ඇමරිකානු ඩොලර් 1000ක් සිට ආරම්භ වන මිලකට තමයි අලෙවි වෙන්නෙ. අද වෙද්දි මේ වර්ගයේ සුනඛයනුත් ලෝකේම ඉන්නෙ දහස් ගණනක් විතරයි.

 

5. සෝලෝඉට්ස්ක්වින්ට්ලි (Xoloitzcuintli)

Xolo එහෙමත් නැත්නම් ෂෝලෝ කියන කෙටි නමිනුත් මේ සුනඛයව හඳුන්වනවා. මේ සුනඛයාගෙ පෙනුම ගැනනම් අපිට ඒ තරම් ප්‍රශංසා කරන්න අමාරුයි. මයිල් හැලුණු විරූපී පෙනුමක් තමයි මේ ෂෝලෝ සුනඛයට තියෙන්නෙ. මෙක්සිකන් තට්ට බල්ලා කියලත් මේ අයව හඳුන්වනව. ඉතාම ඈත ඉතිහාසයක් තියන මේ සුනඛයා ගෘහස්ථ සුරතලුන් බවට පත්වුණ පැරණිම සුනඛ වර්ගයක් හැටියටයි සැළකෙන්නෙ. මේ සත්වයාගෙ ස්මාරක පවා ලෝකේ සමහර තැන් වල ඉදිවෙලා තියෙනවා. ඉතාම ක්‍රියාශීලී සහ බුද්ධිමත් සතෙක් වෙන මේ ෂොලෝ සුනඛයින් 1000කටත් අඩු ප්‍රමාණයක් තමයි මේ වෙද්දි මේ ලෝක තලේ සැරි සරන්නෙ. ෂෝලෝ සුනඛයෙක් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 600 ඉඳන් ඉහළට තමයි මිල නියම වෙන්නෙ.

 

6. චිනූක් (Chinook)

මෙයා ඇවිල්ලා කම්කරු පන්තියට අයිති සුනඛයෙක්. තවත් පැහැදිළි කරනවානම් මේ සුනඛ වර්ගය එක එක වැඩ රාජකාරි කරන්න යොදවන වර්ගයක්. හිම කරත්ත අදින්න, අතුරුදන් වෙච්ච අයව හොයන්න වගේ වැඩ වලට බහුලව යොදාගන්න මේ සුනඛ වර්ගය මිනිසාටත් ඉතාම හිතවත්ව ජීවත් වෙනව. හොඳ ශක්තිමත් ශරීරයකින් යුක්ත ජවසම්පන්න සුනඛ විශේෂයක් වෙච්ච මේ අයට ඒ තරම් දීර්ඝ ඉතිහාසයක් නම් නැහැ. හස්කී සහ මස්ටිෆ් කියන සුනඛ වර්ග දෙක මුහු කිරීමෙන් නිර්මාණය කරපු සුනඛ විශේෂයක් තමයි මොවුන්. නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ නිල සුනඛයා වෙන්නෙත් මේ චිනූක් සුනඛයා තමයි. කොහොම වුණත් මේ සුනඛයාත් වඳවී යාමේ තර්ජනයට දැන් මුහුණපාල ඉන්න සත්වයෙක්. සාමාන්‍යයෙන් මේ සුනඛයන් ඇමරිකානු ඩොලර් 1000ක් වගේ වටිනාකමකින් යුක්තයි.

 

7. ලාගෝටෝ රොමාන්යෝලෝ (Lagotto Romagnolo)

කැරළි ගැසුණු ලොම් සහිත කුඩා සිරුරකින් යුක්ත හුරතල් පෙනුමක් තියන මේ සුනඛයාගේ සම්භවය ඉතාලියෙන් තමයි සිදුවෙන්නෙ. මෙයාටත් පැවරිච්ච එක සුවිශේෂ රාජකාරියක් තියනවා. ඒ තමයි යුරෝපයේ ආහාර සංස්කෘතියෙ ජනප්‍රිය අමුද්‍රව්‍යයක් වෙන ට්‍රෆ්ල් කියන දිලීර විශේෂය හොයාගන්න එක. මෙයත් මිනිස්සු එක්කත් හිතවත්ව ජීවත් වෙන සතෙක්. හැබැයි මෙයාගෙ ශරීර ශක්තිය ගැන වගේම මානසික සුවය ගැනත් ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕනෙලු. අපි කලින් කියපු ට්‍රෆ්ල් සොයාගන්න හොඳට පුහුණු කරපු මේ වර්ගයේ සුනඛයෙක් සාමාන්‍යයෙන් ලංකාවෙ රුපියල් මිලියනයකුත් ඉක්මවන බවයි සඳහන් වෙන්නෙ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *