ලොවම සොයන කෲරතර ත්‍රස්ත නායකයා අබු බකර් අල් බග්ඩාඩි

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය ලෝකේ සෑම තැනකම පාහේ බය ගෙනදෙන ත්‍රස්තවාදයක්. ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, ඇමරිකාව පමණක් නොව පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සමග ලංකාව වැනි රටවලටද ජාත්‍යන්තර ත්‍රස්තවාදී බය ඇවිල්ලා තියෙනවා. මීළඟ ISIS ත්‍රස්තවාදියො කොහෙන් මතුවෙයිද කියලා කාටවත් කියන්න බැහැ. ඇමරිකාවේ ආධාර ගත්තු කුර්දි කාරයෝ සහ සිරියානු ඉරාක හමුදා නිසා දැන් සංවිධානයක් විදියට ISIS බිත්තියට හේත්තු වෙලා. ඒත් මහ මොළකරු හෙවත් ISIS නායක අබු බකර් අල් බග්ඩාඩි තාමත් නිදැල්ලේ ඉන්නවා.

 

1. ඔහු ජීවතුන් අතරද?

Image Source – middleeasteye.net

අබු බකර් අල් බග්ඩාඩි කියන්නේ හැංගෙන්න දක්සයා. ඔහුගේ සාර්ථකත්වයේ එක් දෙයක් තමයි ඉක්මනින් සාර්ථකව සැඟවීම. ඊයේ පෙරේදා අබු බකර් පෙනී ඉන්න වීඩියෝවක් ගියා. ඒ වීඩියෝවෙන් පස්සේ ඕඩියෝවකුත් ගියා. ආන්න ඒ ඕඩියෝ එකේ ලංකාවට ඇටෑක් කරපු ඊස්ටර් ඇටෑක් එක ගැනත් සඳහන් වෙලා තිබුනා. එක අතකින් බග්ඩාඩිට ඕනි තමුන් ජීවතුන් අතර ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන්න. අනික් පසින් තාමත් මිනිහාගේ ඇටෑක් වල පවර් එක හිඳුනේ නැහැය කියල පෙන්වන්නත් මේ වීඩියෝවෙන් බග්ඩාඩිට හැකි වුනා.

 

2. බග්ඩාඩිගේ උපත සහ වර්ධනය

Image Source – qz.com

බග්ඩාඩි 1971දී ඉරාකයේ ඉපදුනා. ඔහු තරුණ වයසේ පටන්ම ඉස්ලාම් ආගම ඉගෙනගත් දක්ෂයෙක් වුනා. ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් අබු බකර් බග්ඩාඩි ඉරාකයේ සදාම් හුසේන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක්. ඔහු ඉස්ලාම් ආගමේ සෞදි රටේ තිබෙන සම්ප්‍රදායක් වන වහාබ්වාදය වැඩිදුර ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය ඉස්ලාම් ආගමට වඩා කොරාන් පොතේ තිබෙන වාක්‍ය ඒ ආකාරයෙන්ම විශ්වාස කරන වහාබ්වාදීන්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ගති එළියට පනිනවා වැඩියි. බග්ඩාඩි 2003 වර්ෂයේදී අල් කයිඩා එක එක්ක එකතු වුනා.

 

3. ඇමරිකාවෙන් අල්ලා ගැනීම සහ සිරකිරීම

Image Source – newsweek.com

ඇමරිකාව විසින් ඉරාකය අල්ලාගත්තා. ඇත්තටම සදාම් ඉරාකය පාලනය කරද්දි ඉස්ලාමීය අන්තවාදීන් එක මට්ටමකින් තියාගන්න සදාම් හුසේන් සමත් වුනා. ඒත් සදාම් නැතිවුනාට පස්සේ පොඩි පොඩි ඉස්ලාමීය කණ්ඩායම් පවා ලොකු වෙන්න ගත්තා. 2005 දි ඇමරිකාව ඉරාකය අල්ලාගද්දි එතකොට ඉරාකයේ හිටි දක්ෂයො කණ්ඩායමක් අබු ග්‍රාහිබ් කියන සිරගෙදරට දැම්මා. ඒකෙන් බග්ඩාඩිට තමුන්ගේ ත්‍රස්ත කණ්ඩායම නිර්මාණය කරගන්න ලොකු බලයක් ලැබුනා. ඔහුට විවිධාකාර සම්බන්ධකම් ගොඩනගාගන්න හැකි වුනා.

 

4. ඉස්ලාමික් ස්ටේට් පිහිටුවීම

Image Source – pri.org

ඉරාකයේ දේශසීමා බල ප්‍රදේශ සහ සිරියාවේ කොටසක් එකතු කරගෙන අබු බකර් අල් බග්ඩාඩි සහ ISIS කණ්ඩායම 2011 සිට අලුත් දේශයක් නිර්මාණය කරගන්නවා. එතැනදී ක්‍රිස්තියානි සහ ෂියා මුස්ලිම්වරුන්ට මුහුණදෙන්න වෙන්නේ දරුණු ශෝකාන්තයකට. වරක් ටික්රිස් කියන ඉරාක නගරයේ හමුදා පුහුණුවට අලුතින් ආපු තරුණයෝ 1500ක් ටයිග්‍රිස් ගංගාව ආසන්නයේ වෙඩිතියලා කපලා කොටලා මරලා දානවා. ඒ වගේම ISIS බලය පැතිරුන පළාත් වල ක්‍රිස්තියානි අයටත් මූණ දෙන්න සිදුවුනේ කෲරතර වද හිංසා වලට. විදෙස් මාධ්‍යවේදීන් සහ ISISට විරුද්ධ අයටත් බෙලි කැපීම්, කෲර වදහිංසා වැනි දරුණු දේවලට මුහුණ දෙන්නට සිද්ද වුනා.

 

5. බග්ඩාඩි කාලිෆ් වීම

Image Source – hstoday.us

ඉස්ලාමික් ස්ටේට් පිහිටුවාගත් බග්ඩාඩි ඉන් පසුව ඉස්ලාම ආගමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කාලිෆ් ලෙස තමුන්වම හඳුන්වාගන්නවා. එක් පසෙකින් ඔහු ඉස්ලාමීය ආගම පිළිබද හොඳ දැනුමක් තිබුන තැනැත්තෙක්. අනික් පැත්තෙන් බලයක් ගොඩනගාගෙන කෙසේ හෝ ඉස්ලාමීය දේශයක් ගොඩනගාගත් අයෙක්. එහෙත් ඔහුගේ මේ ඉස්ලාමීය රට ලෝකේ බොහෝ මුස්ලිම් රටවල් වලින් පිළිගත්තේ නැහැ. ඒත් සමහර අන්තවාදීන්ට සහාය දෙන මුස්ලිම් රටවලින් බග්ඩාඩිගේ ISIS එකට යටින් සහයෝගය ලැබුනා කියලා ආරංචි මාර්ග කියනවා.

 

6. බිඳවැටීම

Image Source – hetimes.co.uk

2014 දි බග්ඩාඩි ඉස්ලාමික් ස්ටේට් පිහිටුවලා මොසුල් නුවර පල්ලියකදී දේශනයක් තියනවා. ඉන් පස්සේ 2016 ඉඳලා බග්ඩාඩිට තමුන්ගේ සිහින රාජ්‍යය අත හරින්න වෙනවා. කාන්තාර බිම දෙදරවන දැඩි යුද්ධයකින් පස්සේ 2019 වනවිට බග්ඩාඩිගේ අවසාන ගම වුනු බොගස් ප්‍රදේශයෙන්ද බග්ඩාඩිට යන්න වෙනවා. එතකොට ලෝකෙම මීඩියා හිතුවා බග්ඩාඩි මියගියා කියලා. ඒත් ලංකාවෙ ඊස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ බග්ඩාඩි ආයෙමත් පෙනී සිටියා. කොටින්ම මේ 2014 බග්ඩාඩි මොසුල් වල පෙනී සිටියට පස්සේ ජාත්‍යන්තරයට පෙනී සිටිය පළමු අවස්ථාව වුනා. මේ වීඩියෝව අධ්‍යනය කළ අය කියන්නේ මෙය කලින් පටිගත කරන ලද වීඩියෝ එකක් කියලා. කොහොම වුනත් සම්පූර්ණයෙන් භූමියක් නැතිව වුනත් තවමත් ISIS නායකයාගේ තුච්ඡ බලපෑම ලෝකෙට තියනවා කියලා මේකෙන් පෙනුනා.

 

7. බග්ඩාඩි සහ පැවැත්ම

Image Source – vifindia.org

බග්ඩාඩිගේ පාලනය නූතන ලෝකයට නොගැළපෙන විශාල ප්‍රචණ්ඩ ස්වභාවයක් ගත් එකක් වුනා. එක් අවස්ථාවක ISIS පාලන පළාත් වල උන් ක්‍රිස්තියානි මිනිස්සු ඝාතනය කරන එකට අල් ක්වයිඩා සාමාජිකයින් වුනත් කැමති වෙලා නැහැ. ඒත් බග්ඩාඩිගේ සිත එයින් සැලුනේ නැහැ. සමහර විදෙස් මාධ්‍යවේදිනියන් දරුණු ලෙස දූෂණය කරපු වෙලාවලුත් බග්ඩාඩිගේ ඉතිහාසයේ තියෙනවා. අන්තවාදයේ, ත්‍රස්තවාදයේ පියවරුන් වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. ඔසාමා බින් ලාඩ්න්ට පවා ඇමරිකාවෙන් ගැලවිලා උපරිම ආයුෂ විඳලා මැරෙන්න බැරිවුනා. ත්‍රස්තවාදීන් බිහිකරන්න ලෝකේ දියුණු රටවලුත් හේතු වෙනවා කියලා ඉතිහාසේ පෙන්වලා දීලා තියෙනවා.

 

8. බග්ඩාඩි සහ ලංකාව

Image Source – usatoday.com

අබු බකර් අල් බග්ඩාඩි ගැන ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල කිව්වත් ඔහු සහ ලංකාව සම්බන්ධ වීම පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ සිදුවුන දෙයක්. ඒ ප්‍රහාරයේ තියෙන අනතුර තමයි ලංකාවේ බෝම්බ පුපුරාගත් අන්තවාදීන් කාණ්ඩේ, ISIS කණ්ඩායමේ ලොකු බලයක් තිබුන, ISIS එක්ක සමීපතම සම්බන්ධතාවයක් කාලයක් තියාගත්ත කණ්ඩායමක් නෙමෙයි. සරලවම ISIS කාරයො දෙන පොඩි සපෝට් එකකින් බොහොම දුර ඈත ඉන්න රටක පොඩි පිරිසකට අන්තවාදී විෂබීජ දෙන්න මේ සිද්දියේදි හැකිවෙලා තියෙනවා. මේක ලෝකෙටම අවදානමක්. මේ නිසා ඉස්සරහට බග්ඩාඩිගේ හිස සෙවීම තව තවත් තද වෙනවා. මොන විදිහෙ ත්‍රස්තයෙක්ට වුනත් ලෝකයේ දියුණුම ඔත්තු පද්ධතිවලින් හැමදාම හැංගිලා ඉන්න අමාරුයි. ඉතින් අපේ රටෙත් ජීවිත සිය ගාණක් බිලිගත්ත දායක වුනු ත්‍රස්තයාට තවත් ප්‍රහාර සහ විනාසයන් කරන්නට බැරිවෙන්න ඉක්මනට අල්ලාගන්න හැකිවේවා කියන එක අප හැමෝගේම ප්‍රාර්ථනයයි.

 

 

 

 

zvr
Your Reaction

Comments