Uber, Pickme කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. මේ ඌබර්, පික්මී වගේ ඇප් එකකින් වැඩ කරන කැබ් සර්විස් කියන සංකල්පය ලංකාවේ අපිට ටිකක් අලුත් සංකල්පයක් උනාට අද වෙද්දී මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ගමනක් යන්න වාහනයක් ඕන උනාම ඔක්කෝටම කලින් අපි කාගෙත් ඔලුවට එන්නේ මේ නම් දෙක තමයි. ඌබර් කියන්නෙ ජාත්‍යන්තර සේවාවක් උනාට පික්මී කියන්නෙ ලංකාව ඇතුළේ විතරක් තියෙන සර්විස් එකක්. හැබැයි ඔය දෙකේම ඔපරේෂන්ස් හුඟක් දුරට එක සමානයි. මූලිකම සංකල්පය වෙන්නෙ වෙනත් රැකියාවක් කරන අතරේ පාර්ට් ටයිම් කැබ්ස් දුවන්න කැමති අයව සම්බන්ධ කරගෙන නෙට්වර්ක් එක හදාගන්න එකයි. ඒ අතරේ ත්‍රීවීල්, නැනෝ කාර්ස් වගේ ෆුල් ටයිම් දුවන අයත් නැතුවම නෙමෙයි. ඉතින් ඔන්න ඔය අමතර ආදායමක් විදිහට, පාර්ට් ටයිම් මේ දෙකෙන් එකකට හෝ දෙකටම සම්බන්ධ වෙන්න කැමති අයට මේ ගැන දැනගෙන ඉන්න ඕන වැදගත් කරණා ටිකක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ෆුල් ටයිම් දුවන කෙනෙකුට උනත් මේකෙන් අදහසක් ගන්න බැරි නෑ හොඳේ.
1. වාහනයේ වර්ගය
කැබ් සර්විස් එකකට දාල ලාභයක් බලාපොරොත්තු වෙන්න නම් මේ කාරණාව ගැන ලොකූ අවධානයක් දෙන්න වෙනවා. වාහනයේ වර්ගය කියන්නෙ ටෝයෝටද, හොන්ඩද කියන එකනම් නෙමෙයි. මේ වාහනයේ oil consumption එක ඒ කියන්නෙ තෙල් වැඩ කරන ප්‍රමාණය හොඳ මට්ටමක තියෙන්න ඕනේ. නැත්තම් අන්තිමේදී හොයන ලාභෙ තෙල් වලටම ඉවර වෙනවනම් මහන්සියෙනුත් වැඩක් නැහැනෙ.
ඒ වගේම තමයි මේ කියන සේවාවන් දෙකේම විවිධ වාහන ප්‍රභේද තියෙනවා. බජට් ත්‍රීවීල්, බජට් කාර්ස්, ලක්ෂරි කාර්ස් විදිහට. එතනිනුත් තමන්ගේ වාහනය අනුව සම්බන්ධ වෙන කැටගරි එක තෝරගන්න පුළුවන්. ඒ එකකින් එකකට අයකෙරෙන මිල ගණන් වෙනස්. ඒ එක එක ප්‍රභේද වලට අරගන්න වාහනත් වෙනස්. බජට් කාර් කිව්වම සුසුකි ඇල්ටෝ, නැනෝ (හැබැයි නැනෝ කාර් ගන්නෙ පික්මී විතරයි. ඌබර් නැනෝ කාර් ගන්නෙ නැහැ) සුසුකි වැගන් ආර් වගේ වාහන බජට් කැටගරි එකට ඇතුළත් වෙද්දී ටොයෝට ප්රියස්, ඇක්සියෝ වගේ වාහන ලක්ෂරි ගණයට ඇතුළත් වෙනවා.
2. වාහනයේ රක්ෂණය
ඊළඟට අවධානය යොමු කරන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ. ඕනෙම වාහනයක් පාරෙ දුවන්නම් වලංගු රක්ෂණාවරණයක් තියෙන්න ඕන බව ඉතින් අපි කවුරුත් දන්නවනේ. මේකත් ඒ නීතිමය කරණාවටම සම්බන්ධ වෙන දෙයක්. ඕනෙම වාහනයක් පෞද්ගලික භාවිතයට නැතුව හයරින් වලට පාවිච්චි කරනවානම් ඒ වාහනයේ රක්ෂණයට හයරින් කියන ආවරණය අනිවාර්යයෙන්ම ඇතුළත් කරගන්න ඕන. එහෙම නැති වුනොත් අනතුරක් සිදුවුණ වෙලාවක වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන්න රක්ෂණ ආයතනයට සම්පූර්ණ අයිතිය තියෙනවා. අන්න ඒ නිසාම මේ කැබ් සර්විස් වලට තමන්ගේ වාහනය හයර් කරන්න දානවනම් සාමාන්‍ය රක්ෂණයට හයරින් ආවරණය ඇතුළත්ද කියන එක ඔවුන් විශේෂයෙන්ම පරික්ෂා කරලා බලනව. අද වෙද්දී ඌබර් ආයතනය මේ කාරණාව සම්බන්ධයෙන් ටිකක් විතර ලිහිල් නීතියක් අනුගමනය කළත් ඒක එයාලට මිසක් අපිටනම් වාසි වෙන්නෙ නෑ කියන එක මතක තියාගන්න ඕනෙ. මොකද කලිනුත් කිව්ව වගේ ක්ලෙම් එකක් ගන්න ගියාම තමයි ප්‍රශ්න එන්න පුළුවන්.
3. යොදවන වෙලාව
තමන් ඌබර් දුවන්න තෝරාගන්න වෙලාව මොකක්ද කියන එකත් තීරණය කරගන්න ඕන. වෙලාව අනුවත් ලැබෙන ලාභය වෙනස් වෙන්න පුළුවන්. ට්‍රැෆික් වෙලාවක වගේනම් එක හයර් එකකට ගතවෙන වෙලාව, වැයවෙන තෙල් හුඟක් වැඩියිනෙ. හැබැයි හයර් වල මිල ගණනුත් ටිකක් වෙනස්. උදේ පාන්දරට, රෑ 9න් 10න් පස්සෙ වගේ තමන්ට කැමති වෙලාවක් තෝරාගන්න පුළුවන්. ඒ වගේම තමන් ගැහැණු කෙනෙක්නම් තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා මේ වෙලාව තෝරාගැනීම කරන්න පුළුවන් (ඔව් ඔව්… උබර්, පික්මී දුවන කාන්තා රියදුරෝ අපේ රටේ ඉන්නව නොදන්නව උණාට).
මේ වෙලාව තෝරාගැනීම කියන එක පටන් ගත්ත මුල් දවස්වලදී ටිකක් අපහසු උනාට කාලයක් යද්දි ඒ සිස්ටම් එකත් එක්ක තමන්ටම තේරෙනවා වෙලාවල් වල වෙනස්කම්.
4. Area එක
මේකත් වෙලාව වගේම වැදගත්. ඒ වගේම වෙලාවත් එක්කම සම්බන්ධ කරල තීරණය කරන්න පුළුවන් කාරණාවක්. ඒ කියන්නේ තමන් තෝරාගන්න වෙලාවට ට්‍රැෆික් අඩු හයර්ස් වැඩි ඒරියා එකක් තෝරාගන්න එක. නැත්තම් තමන්ට පහසු පාරවල් හොඳ, පාරවල් ලේසියෙන් හොයාගන්න පුළුවන් ඒරියා එකක් හොයාගන්න එක. ඌබර් පික්මී ඇප් දෙකම ගූගල් මැප්ස් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා ට්‍රැෆික් තත්ත්වය, පාරවල් ගැන එහෙම හොයාගන්න ලේසී. අනික ඇප් වලින්ම වැඩිපුර හයර් තියෙන, මිල වැඩියෙන් යන ඒරියාස් පෙන්නන නිසා තමන්ට අවශ්‍ය ප්‍රදේශය තෝරාගන්න පුළුවන් පොඩ්ඩක් අවධානය යොමු කළාම.
5. රියදුරු
මේ කියන්නෙ හයර් යන්නේ කව්ද කියන එක. තමන්ම ඩ්‍රයිව් කරනවද, නැත්තම් ඩ්‍රයිවර් කෙනෙක් දාල කරනවද කියල තීරණය කරගන්න. ෆුල් ටයිම් වාහනයක් දාල හයර් කරද්දී පිටින් ඩ්‍රයිවර් කෙනෙක් යොදවල කරන එක ලාභ උණාට ඉඳල හිටලා පාර්ට් ටයිම් දුවනවනම් ඒක පාඩුයි. ඒ ගැනත් හිතන්න ඕනෙ.
ඒ වගේම තමයි කවුරු උනත් රියදුරු ලියාපදිංචි වෙන්නේ අදාළ වාහනේ අංකය යටතේ. මේ ඇප් වල විශේෂයෙන්ම හදපු ඩ්‍රයිවර් රේටින්, ඒ කියන්නේ රියදුරු ගැන අදහස් දක්වන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ලැබෙන රේටින් අනුව තමයි පහුකාලීනව ලැබෙන හයර් පවා තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඔයාගෙ රේටින්ග්ස් අඩුනම් ළඟ තියෙන හයර් පවා ඔයාට නොලැබී යන්න පුළුවන්. ඒ නිසා මේ රේටින් එක පවත්වා ගැනීම හරිම වැදගත්. පුළුවන් තරම් සුහදව කස්ටමර්ව තේරුම් අරන් සේවාව සපයන්න.
6. ක්‍රමවේදය
කලින් කිව්ව වගේම මේ සේවාවන් දෙකම රන් වෙන්නේ මොබයිල් ඇප් බේස් කරගෙන. ඒ කියන්නේ ජංගම දුරකථන තාක්ෂණය ගැන සාමාන්‍ය මට්ටමක දැනුමක් තියෙන්නම ඕනේ මේ වැඩේ හරියට කරන්නනම්. ඩ්‍රයිවර්ට වෙනම ඇප් එකකුත් රයිඩර්ට ඒ කියන්නේ පාරිභෝගිකයාට වෙනම ඇප් එකකුත් විදිහට ඇප් දෙකකින් තමයි මේක වැඩ කරන්නෙ. ඩ්‍රයිවර් ඇප් එකෙන් ගූගල් මැප්ස් වලට කෙලින්ම සම්බන්ධ වෙලා නොදන්න පාරක් උනත් හොයාගන්න පුළුවන්. හැබැයි මේ කෝක කරන්නත් හොඳ සවිමත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්නත් ඕනේ. මොකද මේ ඇප්ලිකේෂන් රන් වෙන්නේ ඩේටා වලින්.
ඒ වගේම තමන් ඩ්‍රයිවර් උනත් රයිඩර් ඇප් එකත් ඩවුන්ලෝඩ් කරගෙන ඒ ගැනත් අවබෝධය ලබාගන්න. මොකද ඇප් දෙකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනව. අනික මේක ඇප් දෙකකින් දුවන බව අපි දන්නවා උණාට හුඟක් රයිඩර්ස්ල දන්නෙ නැහැනේ. ඒ නිසා අපි පැටලුනු දෙයක් ඇහුවොත් අපේ දැනුම අඩුබව එයාල හිතන්න පුළුවන්.
7. ටාගට් එක
අන්තිමේදී ඔය ඔක්කොම කරණා බලල තමන්ට ඩේලි ටාගට් එකක් සෙට් කරගන්න එකත් වැදගත්. මුල් දවස් ටිකෙන් පස්සේ තමන්ටම අදහසක් එනවා තෝරාගන්න වෙලාව අනුව කීයක විතර උපරිම ටාගට් එකකට යන්න පුළුවන්ද කියල. අන්න ඒ අනුව දවසේ හයර් පටන් ගන්න කලින්ම අද දවසේ මගේ ටාගට් එක මෙන්න මේකයි කියන එක හිතාගන්න. මගදී කම්මැලිකමට වගේ ගෙදර නොයා අවශ්‍ය ලාභය උපයගන්න පුළුවන් එතකොටයි. එහෙම නැතුව ඔහේ කරන්නන් වාලේ කළොත්නම් වැයකරන කාලය, මූලිකව කරපු ආයෝජනය කියන එකකින්වත් වැඩක් වෙන්නේ නැහැ.
Leave a Reply