කොල්ලො වුනහම නිදාගන්න කලින් කරන්න ඕන එව්වා තමයි මේ!

දැන් අපි යාලුවෙක්ගෙන් එහෙම ඇහුවොත් කොල්ලෙක් නිදාගන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් මොනවද කියලා, ෂුවර් එකටම අපිට අහගන්න ලැබෙන්නේ “චූ කරලා නිදාගනින්” කියන එක තමයි. හැබැයි සිරා කොල්ලෙක්ට නම් ඊට වඩා නිදාගන්න කලින් කරන්න වුවමනා දේවල් තියෙනවා. මේ දේවල් ඇත්තටම සිරා කොල්ලෙක්ගේ ජීවිතේටත්, සෞඛ්‍ය සම්පන්න බවටත් වැදගත් දේවල්. ඇත්තටම සිරා කොල්ලෙක් කියන්නෙත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන, තමන්ගේ වෘත්තිය ජීවිතේ, අධ්‍යාපන ජීවිතේ එක්ක පුද්ගලික ජීවිතේත් ගාණට සමබරව ගෙනියන ජාතියේ කොල්ලෙක්. ආන්න එහෙම කොල්ලෙක් නිදාගන්න කලින් කරන්න ඕන මොනවද කියලා තමයි මේ කියන්න යන්නේ!

 

1. දත් මදින්න ඕනෑ!

Image Source – allure.com

ඔව්, මේක හැමෝම දන්න කාරණාවක් තමයි. ඒත් අපිට ඒ කාරණාව ආයෙමත් කියන්න වෙන්නේ හේතුවක් ඇතුව. කොච්චර හැමෝම දන්න කාරණාවක් වුනත් රෑට නිදාගන්න කලින් දත් මදින්නේ කීයෙන් කී දෙනාද? හැබැයි මේ පුරුද්ද අනිවාර්යයෙන්ම ඇතිකරගත යුතු එකක්. විශේෂයෙන්ම තමන්ගේ දන්ත සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්න හිතනවා නම් දත් මැදලා නිදාගන්න එක යහපත් පුරුද්දක්!

 

2. මූණත් හෝදලා, ක්‍රීම් ගාලා

Image Source – mensjournal.com

දැන් අහන්න එපා කෙල්ලෝ කරන එව්වත් අපිට කරන්න කියනවද කියලා. නිදාගන්න කලින් පොඩ්ඩක් මූණ කට හරි ඇඟපත හරි හෝදගන්න එක හොඳයි. ඉන් පස්සේ හොඳට පිහිදගෙන කරගෙන ඇවිල්ලා නයිට් ක්‍රීම් එකක් එහෙම මූණේ ගෑවට කමක් නෑ. ඇයි ඒ? මුහුණේ රැලි අනං මනං, කළු රවුම් අනං මනං නැති වෙලා සම පැහැපත් වෙලා තියෙන්න ඒක වැදගත්. ඒ වගේම වයස පේන එක පවා අඩු වෙනවා නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරනකොට. තව ඕන තරම් ප්‍රයෝජන තියෙනවා නයිට් ක්‍රීම් එකක. ඕවා හදලා තියෙන්නේ කාන්තා පාර්ශවේට විතරක් නෙවෙයි. කොල්ලෙක් නයිට් ක්‍රීම් එකක් ගෑවා කියලා කොලුකම නැති වෙන්නෙ නෑ!

 

3. දවසේ මොනවද සිද්ධ වුනේ?

Image Source – unsplash.com

දවසේ සිද්ධ වුණු දේවල් ගැන සමාලෝචනයක් කරන්නත් හොඳම වෙලාව තමයි නින්දට යන්න කලින් රාත්තිරී වෙලාව. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණු වැඩකටයුතු ඒ විදියටම කරගන්න ලැබුණද, ඒ කටයුතු අතපසු වුනාද, තමන්ගේ ප්ලෑන්ස් අප්සෙට් ගියාද වගේ කාරණා ගැන හිතලා හරි ලියලා හරි සමාලෝචනය කරන්න පුළුවන්. එතනින් ඉවර නෑ. එහෙම අප්සට් ගියපු දේවල් තියෙනවා නම්, අතපහු වුණු දේවල් තියෙනවා නම් ඒකට හේතු කාරණාත් ඔය සමාලෝචනයටම ඇතුළත් වෙන්න ඕන. ඒක ලොකු උදවුවක් ඊලඟ දවස් වලදී වැඩ අප්සෙට් යන ප්‍රමාණය අඩු කරගන්න.

දැන් ඔය ඩයරි ලියන ඈයෝ එහෙම ඉන්නවා නම් කෙලින්ම සමාලෝචනය ඩයරියේ කරන්න පුළුවන්. එහෙම නැතිනම් සමාලෝචනය හිතෙන් කරලා, දවසේ තොරතුරු ඩයරියේ ලියන්නත් පුළුවන්.

 

4. ඊලඟ දවසට ප්ලෑන්ස්

Image Source – kelseyads.com

ඊලඟ දවස ප්ලෑන් කරන එකත් කරන්න වුවමනා අද දවස ඉවර වෙනකොටම තමයි. ඒකට හොඳම වෙලාව තමයි නින්දට යන්න කලින්. හැබැයි හෙට කරන්නේ මොනවද කියලා නිකම්ම හිතුවට හරියන්නෙ නෑ. ඒක තමන්ගේ නෝට්පොතේ ටු ඩූ ලිස්ට් එකක් විදියට හරියට ලියන්න ඕන. විශේෂයෙන්ම මෙතනදී තමන්ට ප්‍රායෝගිකව දවස ඇතුළතදී කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් හරියට සැලසුම් කරගන්න එක වැදගත්. නැත්නම් තමන්ට තියෙන වෙලාව ඇතුළතදී වැඩ කරගන්න බැරි වුනහම හිතෙන්නේ තමන් අසාර්ථකයි කියලා.

දැන් කරන්න ඕන වැඩ ටික පෙළ ගස්වා ගත්තට පස්සේ, ඒවා සිද්ධ වෙන්න ඕන ඕඩර් එකට ලිව්වත් කමක් නෑ. ඒ කියන්නේ ප්‍රමුඛත්වයේ පිළිවෙලට සහ වැඩ කරන්න හැකි ප්‍රායෝගිකත්වයේ පිළිවෙලට. උදාහරණයක් විදියට කිව්වොත්, බැංකුවට ගිහින්, ආයෙමත් එන පාරෙම තියෙන ෆුඩ් සිටියටත් ගිහින් එන එක තමයි ලේසි, දෙපාරකට ඔය වැඩ දෙකට යනවට වඩා.

 

5. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන

Image Source – nccih.nih.gov

නිදාගන්න කලින් හොඳ සුවබර නින්දක් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක් තමයි ඔලුවේ පිරිලා තියෙන අනං මනං ඉවත් වෙලා, ඔලුව සැහැල්ලු වෙන එක. ඒකට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් දෙයක් කියවන එක, හිතට දැනෙන සිංදුවක් දෙකක් අහන එක, ඩිෂුම් ඩිෂුම් නැති බොහොම ලයිට් ටීවී ෂෝ එකක් බලන එක, පොඩ්ඩක් භාවනා කරන එක වගේ ඕන තරම් දේවල් කරන්න පුළුවන්. එලියට ගිහින් රාත්තිරී ආකාසේ දිහා බලාගෙන හිටියත් හිත නිස්කලංක වෙනවා, ඔලුව සැහැල්ලු වෙනවා.

හැබැයි එකක්, මේ පියවරට පැය එකහමාරක් යන වැඩක් කරලා හරියන්නෙ නෑ. ඊට පස්සේ නිදාගන්න වෙලාවක් ලැබෙන්නෙත් නෑ.

 

6. පොතක් පතක් කියෙව්වට කමක් නෑ

Image Source – videoblocks.com

පොත් කියවන පුරුද්ද තියෙන සමහරු නිදාගන්න කලින් පොතක පිටුවක් දෙකක්වත් කියවන පුරුද්දක් තියෙනවා. ඇත්තටම ඇඳට ස්මාට්ෆෝන් එක අරගෙන ගිහිල්ලා ඒක ඔබ ඔබ ඉන්නවට වඩා මේක ඉතාම හොඳ පුරුද්දක්. එහෙම කියන්න විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ස්මාට්ෆෝන් එකේ තිරය නිසා අපිට නින්ද නැති වෙන්න පුළුවන්. ඒත් පොතක් කියවන එකෙන් ඇත්තටම නිදිමතක් ස්වභාවිකවම එනවා.

හැබැයි තව හේතුවක්. නිදාගන්න වෙලාව ගැන අපි ඊලඟට කියනවා. එතකොට කියවන පොත මාරම රසවත් කියලා එළිවෙනකල් නිදිමරාගෙන කියවන්න ගිහින් හරියන්නෙ නෑ! ඒ නිසා හොඳම දේ තමයි බොහොම සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් පොතක් නිදාගන්න කලින් කියවන එක. මේක නිදාගන්න කලින් ඔලුව නිරවුල් කරගන්න වැදගත් වෙනවා.

 

7. වෙලාවට නිදාගන්න එක

Image Source – verywellmind.com

මේ පොයින්ට් එක පොඩ්ඩක් අප්සෙට් වගේද? ඇයි නිදාගන්න කලින් කරන්න ඕන එව්වා ලියන ආටිකල් එකක වෙලාවට නිදාගන්න කියලා ලියන එක? ඇත්තටම නම් මෙහෙමයි. මනුස්සයෙක් නිදාගන්න ඕන අඩු තරමින් 10, 11 වෙනකොට වත්. උපරිම 12 වෙනකල් වෙලාව දෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා වෙලා පුරුද්දක් විදියට ඇහැරිලා ඉන්න එක කිසිසේත්ම හොඳ නෑ. ආන්න ඒ නිසා ඔය අපි කිව්ව වෙලාවලින් තමන්ට හැකි වෙලාවට ඇඳට යන්න. ඒ කියන්නේ ඔක්කොම වැඩ ඉවර කරලා ඇඳට යන්න. ඒ යනකොට කරුණාකරලා තමන්ගේ ස්මාට්ෆෝන් එක මේසේ උඩින් තියලා යන්න.

 

ඇයි එතකොට ඕවා කෙල්ලන්ට කරන්න බැරිද? ඇයි කොල්ලන්ට විතරක් මෙව්වා ලියන්නේ? අන්න එහෙම අපෙන් අහලා යුද්ධ ප්‍රකාශ කරන නංගිලටත් කියන්න පණිවිඩයක් තියෙනවා. ඔයාලටත් මේවා කරන්න පුළුවන්. හැබැයි ඔයාලා නිදන්න යනකොට කරන දේවල් මෙතනින් නතර වෙන්නෙ නැහැනේ. ආන්න ඒ නිසා සිරා කෙල්ලෙක් නිදාගන්න කලින් කරන්න ඕන දේවල් අපි පස්සේ ලියනවා!

One response to “කොල්ලො වුනහම නිදාගන්න කලින් කරන්න ඕන එව්වා තමයි මේ!”

  1. […] අපි කලිනුත් කිව්වා කොල්ලෙක් වුනහම නිදාගන්න කලින් කරන්නේ මොනවද කියලා. ඒ කියන්නේ චූ කරලා නිදාගන්න එකට අමතරව දවස සැලසුම් කිරීම වගේ නොයෙකුත් දේවල් තියෙනවා කොල්ලෙක්ට කරන්න. හැබැයි ඒ දේවල් ඒ විදියටම කෙල්ලෙක්ටත් කරන්න පුළුවන් සහ කෙල්ලෙක් වුනත් කළ යුතුයි. දත් මදින එකට හරි හෙට දවස සැලසුම් කරන එකට හරි ලිංග භේදයක් නැහැනේ! හැබැයි අපි මේ කියන්නේ ඒවා ගැන නෙවෙයි. ඕන කෙල්ලෙක් නිදාගන්න කලින් කරන්න වුවමනා වඩාත් වෙනස් දේවල් කීපයක් ගැන. හැබැයි මේ කරුණුවලත් තියෙන ෆන් එක තමයි, මේවා කොල්ලෙක්ට වුනත් කරන්න පුළුවන් වීම! […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *