වෙසක් පොහොය ලොව වටා වෙසෙන බෞද්ධයන්ට අතිවිශේෂ දිනයක්. ඒ වැදගත්කම තමන්ගේ ආගමික ශාස්තෘවරයාගේ දිවියේ අති විශේෂ වූ සිදුවීම් සිදුවූ නිසා දැක්වෙන වැදගත්කම නිසාම බෞද්ධයන් මෙම දිනය සමරයි. බුදුන් පවා වදාළ වඩා වැදගත් වූ ප්‍රතිපත්ති පූජාවේ නියැලෙන අතරෙම බොහෝදෙනෙක් ආමිස පූජාවේද නියැලෙන අයුරු මේ කාලයට දැක ගත හැකි වෙයි. මෙම ආමිස පූජා ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් එයින් විනෝදයක් ලබන විත්තිය අමුතුවෙන් කිව යුතු නෑ. ඒ නිසාම මේ සටහන වෙන් වන්නේ වෙසක් කාලයට අපේ බොහෝදෙනෙක් විනෝද වෙන්න කරන කටයුතු ගැනයි.
1. දන්සැල් දිවිලි
දාන දෙන්න කොහොමත් ලැදි බෞද්ධාගමිකයො වෙසක් පෝය දවසට එයින් මිදෙන්නෙ නැහැ. ඒ නිසාම සමහරු සල්ලි එකතු කරලා වගේම සමහරු යාලුවො සෙට් වෙලාත් දන්සැල් දෙන විත්තිය දකින්න පුළුවන්. දන්සලක ඉතින් දෙන තරමට තමයි සතුට තියෙන්නෙ. බත් දන්සලක උයද්දිත් එතන තියෙන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ වගේම දන්සැලකට එන ගෑණු ළමයින්ට පිරිමි ළමයි හෙලන බැල්මවල් එක්ක දන්සැල් කියන්නෙ ඇත්තටම හිතට විනෝදයක් ගෙනෙන දෙයක්. අන්න ඒ නිසාම අපේ අය පුළුපුළුවන් තරමින් අයිස්ක්‍රීම් දන්සැලක් හරි දෙන්න පැකිලෙන්නෙ නෑ.
2. වෙසක් කලාප
වෙසක් කලාප කියන්නෙ තරමක් ලොකු වැඩක්. එහෙම දෙයක් මාධ්‍ය ආයතන හෝ දේශපාලකයින් මැදිහත් වෙලා තමයි බොහෝවිට සිද්ධ වෙන්නෙ. සමහර වෙලාවට නං පාරවල්වල වැසියොන්ගෙ එකමුතුවෙනුත් වෙසක් කලාප පැවැත්වෙනව. වෙසක් කලාපයක් කියන්නෙ ඉතිං සියල් සපිරි තැනක්. අමුතු අමුතු දේ අලෙවි කරන වෙළෙන්දො, වෙසක් කූඩු, තොරණ්, දන්සැල් වගේම අපායවල්, හොල්මන් ගෙවල්, ඇතුළු නානාප්‍රකාර දේ වෙසක් කලාපවල දකින්න පුළුවන්. ඇත්තටම වෙසක් කලාපයක් කියන්නෙ සැබවින්ම හිතට විනෝදය ගෙනෙන තැනක්.
3. දන්සැල් වැඳිලි
දන්සැලි දිවිලි වගේම දන්සැල් වැඳිලිත් හිතට කදිම සතුටක් ගේන දෙයක්. කොටිම්ම දන්සැල් දෙන කට්ටියත් දන්සැල දෙන වෙලාවෙම පුළුපුළුවන් විදියට ගිහින් දන්සැල් වැඳගෙන එනවා. සමහරු නං වෙසක් ඉවරවෙද්දි තමුන් වැඳපු දන්සැල් ගැන සමාලෝචනයක් කරනවා. සමහරු සමාලෝචනයක් කරගන්නවත් බැරි තරමට ඉස්මුරුත්තෙට කාලයි ඉන්නෙ. මොකද උදේ ඉඳන් කිසිම ගැලපීමක් නැතුව දුන්තෙල් බත් කාලා, ඒ උඩට තම්බපු කොසුයි පොලුයි බැදපු මිරිසුයි කාලා, ඒ උඩට අයිස්ක්‍රීම් කාලා, එන ගමන් තෙල් දාපු කඩලත් කනවා. ඒ නිසා දන්සැල් වැඳිලි සහ පෝලිමේ ඉඳිලි කියන්නෙ සදා සතුටක්. සමහරු පෝලිමේ අන්තිම වෙනකංම හිටියම කෑම ඉවර වෙලා මූණු ඇඹුල් කරගෙනත් එනවා.
4. බයිසිකල් යාත්‍රා
බයිසිකල් යාත්‍රා කියන්නෙ වෙසක් කාලෙට අනිවාර්ය දෙයක්. කොල්ලො කාලෙ කවුද ඉතිං බයිසිකල් යාත්‍රා නොයන්නෙ. ගමේ යාලුවො තුන් හතර දෙනා සෙට් වෙලා නොයෙක් නොයෙක් වෙසක් කලාපවලට වගේම සමහරුනං ගෝල්ෆේස් වගේ විනෝදබර තැන්වලටත් සවාරි යනවා. බයිසිකල් පැදගෙන යන්න අමාරුවුනාම පාරෙ යන ට්‍රැක්ටර් වගේ වාහන අල්ලගෙන බයිසිකලේට කැමති විදියට යන්න දීපු නොස්ටැල්ජික් අතීත තියෙන මිනිස්සුන්ට ඒ මතකයම විනෝදයක්.
5. කූඩු හැදිලි
වෙසක් කාලෙ අනිත් සතුට තමයි කූඩු හැදිල්ල. පුංචිම කාලෙ ගෙදර වෙසක් කූඩු හැදුවා. ඊටපස්සෙ යාලුවො එක්ක සෙට් වෙලා කැරකෙන කූඩු හැදුවා. ඉස්කෝලෙ තරගෙට කූඩු හැදුවා. ඊටත් පස්සෙ ඔෆිස්වල් කූඩු හැදුවා. සමහරු තරගෙට ඉස්කෝලෙ කූඩු හදද්දි වෙසක් කියල නොහිතා හොරෙන් ගිහින් අනිත් අයගෙ කූඩු කැඩුවා. අනිත් අයගෙ කූඩුවල අඩුපාඩු හෙවුවා. කොහොම වුනත් වෙසක් කූඩු පොසොන් ඉඳන් ඇසළ වෙනකංම දකින්න ලැබුනා. ඒ අතරෙ ලොකු ලොකු පහන් කූඩුත් දකින්න ලැබුනා.
6. අත පය දිගහැර
තවත් අපි දන්න අය වෙසක් එකට කරපු විනෝදකාමීම වැඩේ තමයි ලැබෙන දවස් දෙකේ නිවාඩුවේ අත දිගහැර නිදා ගැනීම. කොහොමත් මේ කාලෙට තියෙන ආගමික වටපිටාවත් එක්ක විනෝදබර සමයකුත් ලොකුවට නැති නිසා කාර්යබහුල රාජකාරි පරිසරයෙන් මිදෙන්න බොහෝදෙනෙක් කරන්නෙ නිදාගන්න එක තමයි. හැබැයි ඉතිං ගමේ වෙළඳ ව්‍යාපාරිකයො ටික දාන ටකරං වොයිස් නිසා නිදාගන්න එකනං ටිකක් අමාරුයි කියන එක කට්ටියට මතක ඇති.
7. අමුතු කතා
වෙසක් එකට අපි ඇතියි කියල නොහිතන අමුතු කතා ටිකකුත් මේ වෙසක් දවසෙදි අපිට අත්දකින්න පුළුවන්. ඒ අතරෙ ඔය එක එක මැජික් තියෙනවා. සමහරු හදනව හොල්මං ගෙවල්. ඒවා ඇතුළට ගියාම පවු කරන්න හිතෙන්නෙ නෑ කීයටවත්. ඇයි දෙයියනේ එවුවයෙ යක්කු හීනෙකිංවත් පේන විදියෙ යක්කු නෙමෙයි. ඩයිනෝසර්ලා වගෙයි. ඊටහපං ඔලුබක්කො. විසුළුකාරී ඔලුබක්කො දැක්කම වෙසක්ද කියලත් අමතක වෙන සුළු තත්ත්වයක් තමයි ඇති වෙන්නෙ.
ඔයාලත් වෙසක් එකට කරන විනෝදකාමී වැඩ අපිට කියන්න අමතක කරන්නෙපා. ඒ වගේම වෙසඟේ සතුට විඳින යාලුවොන්ව මෙතනම මතක් කරන්නත් අමතක කරන්නෙපා. ඒ වගේම ආමිසයේ වගේම ප්‍රතිපත්තියේ යෙදෙන්නත් අමතක කරන්නෙපා.
Leave a Reply