තමන්ගේ මුහුණට සහ සමේ පාටට ගැලපෙන විදියේ සන්ග්ලාස් එකක් තෝරගන්නේ මෙහෙමයි!

සන්ග්ලාස් දාන්නේ අව්වට විතරක්ම නෙවෙයි, ෆැෂන් එකටත් එක්කම තමයි! ඒ නිසා සන්ග්ලාස් දෙකක් ගන්න ගියහම බලන්න ඕන ඒක තමන්ගේ ඇස්වලට හිරුඑළියෙන් ආරක්ෂාව ලබාදෙනවද කියන එක විතරක්ම නෙවෙයි. ඒක අංක එකට බලන්න ඕන දේ. ඒ ගැන අපි කලිනුත් කියලා තියෙනවා. හැබැයි ඉන් පස්සේ බලන්න ඕන කාරණාව තමයි, මේ සන්ග්ලාසස් අපේ මූණේ හැඩයට, අපේ මූණේ සයිස් එකට සහ අපේ හමේ වර්ණයට ගැලපෙනවද කියලා. ඇස් වලට සුපිරියටම පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන සන්ග්ලාස් දෙකක් වුනත් දැම්මට පස්සේ ගොනයි මීමයි වගේ නම් කිසිම තේරුමක් නැහැනේ. ආන්න ඒ නිසා සන්ග්ලාසස් වල අපේ මූණට සහ පාටට ගැලපෙන ස්ටයිල් එක තෝරගන්න තමයි මේ උපදෙස් කීපය.

 

1. මුලින්ම මූණ මැනගමු

Image Source – cocoleni.com

සන්ග්ලාස් තෝරන්න කලින් දැනුවත් වෙන්න ඕන අපේ මූණේ හැඩය ගැන. ඇත්තටම ප්‍රධාන මුහුණු හැඩයන් හයක් තියෙනවා. හැබැයි ඒ මුහුණු හැඩයන් හයෙන් කෝකටද අපේ මූණ අයිතිවෙන්නේ කියලා බලන්න නම්, අපිට මූණේ මිනුම් ගන්න වෙනවා. හරි පටන් ගමු.

මුලින්ම නළලේ උඩම කෙළවරේ ඉඳලා නිකටේ යටම කෙළවර දක්වා දිග මනිමු. ඊට පස්සේ මූණේ පළල මිනුම් තුනකින් ගන්න වෙනවා. නළල හරහට කෙළවරක ඉඳලා අනික් කෙළවරට තියෙන දිග, කම්මුල් වල එක් කෙළවරක ඉඳලා අනික් කෙළවරට තියෙන දිග සහ අන්තිමට හනුවේ කෙළවරක ඉඳලා අනික් කෙළවරට තියෙන දිග. හැබැයි මේ දිගවල් මනිනකොට මුහුණේ තියෙන වක්‍රාකාරී ස්වභාවයත් එක්ක අහුවෙන්න මනින්න එපා. කෙලින් ටේප් එක තියලා දිග තමයි ගන්න ඕන.

දැන් බලමු මූණු ටයිප්!

 

2. Oblong Face

Image Source – gearpatrol.com

මේ කියන්නේ මූණ පළලට වඩා දිගින් වැඩි මූණක්. හැබැයි නළල, කම්මුල් සහ හනු රේඛාව ආසන්න වශයෙන් එක සමානයි. හනුව වක්‍රාකාරීයි.

එහෙම මූණකට ගැලපෙන්නේ තරමක් විශාල, ඝනකම රාමු තියෙන්න අව් කණ්ණාඩි. හැබැයි ෆ්‍රේම්ලස් එහෙමනම් දාන්න එපා. මේ විදියේ මූණකට ඒක කැතයි. හාෆ් ෆ්‍රේම් වුනත්, පුංචි ප්‍රමාණයේ සන්ග්ලාසස් වුනත් මේ විදියේ මූණකට ගැලපෙන්නේ නෑ. හැබැයි වඩාත් විශාල සන්ග්ලාසස් වලින් ඔබ්ලෝන්ග් මූණක ප්‍රමාණය සම්පූර්ණ වෙලා දැනෙනවා.

ඒ වගේම සන්ග්ලාසස් ‍තෝරනකොට පුළුවන් තරම් වක්‍ර වුණු සන්ග්ලාසස් ‍තෝරගන්න. හරි හත‍රැස් කෑලි එහෙම ඔබ්ලෝන්ග් මූණකට ඒ තරම් ගැලපෙන්නේ නෑ.

 

3. Heart Face

Image Source – gearpatrol.com

මේ කියන්නේ නළල පළල්, කම්මුල් ගත්තත් ඒ වගේම පළල්, හැබැයි හනුව ඊට වඩා පළලින් අඩු, විශේෂයෙන්ම හනුව පහතට යන කොට සිහින් වෙලා තියෙන විදියේ මූණක්. බැලූබැල්මට වොල්නට් ගෙඩියක් වගේ පෙනුනත් ඇත්තටම මේකට කියන්නේ හාට් ෂේප් කියලා!

මේ විදියේ මූණකට පහළට දිගු වුණු සන්ග්ලාසස් තමයි ගැලපෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි ඒවියේටර් සන්ග්ලාසස්. මේ විදියේ සන්ග්ලාසස් වලින් හාට් ෂේප් මූණක් හොඳින් සමබර වෙනවා. හැබැයි ප්‍රමාණයෙන් වඩාත් විශාල සන්ග්ලාසස් මේ මූණට ගැලපෙන්නෙත් නෑ කියලා මතක තියාගන්න. හත‍රැස් ඒවා වුණත් කමක් නෑ, සන්ග්ලාසස් වල ඉහළ දිගට වඩා පහළ දිග අඩු ඒවා නම්. ඒ කියන්නේ අර ඒවියේටර්ස් වගේම පහළට පොයින්ට් වුණු සන්ග්ලාසස් තමයි මේ වගේ මූණකට වුවමනා කරන්නේ!

 

4. Square Face

හත‍රැස් මූණක් කියන්නේ දිගින් වගේම පළලින් සමාන වෙන්න පුළුවන්, එහෙම නැතිනම් දිගින් වැඩි වෙන්නත් පුළුවන්, ඒත් නළල, කම්මුල් සහ හනුව කියන තැන්වල පළල ආසන්නව සමාන මූණක්. කෙටියෙන් කිව්වොත් හත‍රැස් හැඩයක්.

එතකොට හත‍රැස් මූණට හරියන්නේ රවුම් හැඩයන් තියෙන සන්ග්ලාසස් කියලා ටක්කෙටම කියන්න පුළුවන්. ඒ කියන්නේ විහිළුවටවත් හත‍රැස් ආකාරයේ හැඩයන් තියෙන සන්ග්ලාසස් දාන්න එපා. වක්‍ර හැඩ තිබුණත් සමස්තයක් විදියට හත‍රැස් හැඩ සන්ග්ලාසස් මෙහෙම මූණකට කැතයි. ඒ වගේම සන්ග්ලාසස් වල පළල ඔබේ මූණේ පළලට ගැලපෙනවද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න.

 

5. Oval Face

Image Source – gearpatrol.com

ඕවල් මූණක් ගැන ගොඩක් අය කියන්නේ හරියට උඩ යට හරවපු බිත්තරයක් වගේ කියලා. ඒ කියන්නේ එහෙම මූණක් පළලට වඩා දිගින් වැඩියි. කම්මුල් පළල වැඩියි. නළලේ පළලත් ටිකක් තියෙනවා. හැබැයි හනුවේ පළල නළලට වඩා අඩුයි.

මේ තියෙන්නේ සන්ග්ලාසස් දාන්නම කියලා දෙයියෝ මැව්ව මූණු. ඇයි? මේ මූණට ආයෙ සෙට් නොවෙන සන්ග්ලාසස් නැති නිසා. තමන්ගේ මූණේ ප්‍රමාණයට වඩා විශාල වශයෙන් කුඩා නොවෙන සහ කැත විදියට මූණට වඩා විශාල නැති සන්ග්ලාසස් ගන්න විතරයි පරිස්සම් වෙන්න ඕනෑ. හැබැයි සන්ග්ලාසස් වල ෂේප් එක ගැන එහෙම නම් වද වෙන්න ඕනම නෑ. තමන්ගේ හිතට අල්ලන සන්ග්ලාසස් ගන්න විතරයි ඕන.

 

6. Round Face

Image Source – gearpatrol.com

රවුම් මූණක් කියන්නේ මොකද්ද කියලා කිව්ව ගමන් ඔලුවට එනවනේ. මේ විදියේ මූණක දිග සහ කම්මුල් සීමාවේ පළල ගොඩක් වෙලාවට ආසන්නයි. හැබැයි කම්මුල් වල පළලට වඩා නළලේ පළල සහ හනුවේ පළල සෑහෙන්න අඩුයි. කම්මුල් ගොඩක් වෙලාවට පිරුණු ස්වභාවයකින් පේන නිසා තවත් ඒ රවුම් පෙනුම කැපිලා පේනවා. යටි හනුව වුනත් හරි වක්‍රාකාරී විදියට තමයි පිහිටලා තියෙන්නේ.

මෙන්න මේ විදියේ රවුම් මූණක් තියෙන කෙනෙක් නම් ඔයා, කරුණාකරලා තවත් මූණ රවුම් කරලා පෙන්නන රවුම් ෆ්‍රේම් තියෙන සන්ග්ලාසස් වලට යන්න එපා. ඔයාලට තමයි ඔය හත‍රැස්, තියුණු කෝණ තියෙන විදියේ සන්ග්ලාසස් හදලා තියෙන්නේ. අර සෘජුකෝණාශ්‍ර හැඩේ සන්ග්ලාසස් නම් මේ විදියේ මූණකට සුපර්. රවුම් මූණකට වඩාත් අඳුරු පාට ෆ්‍රේම් තියෙන සන්ග්ලාසස් හොඳින් ගැලපෙනවා.

 

7. Diamond Face

Image Source – gearpatrol.com

ඩයමන්ඩ් ෆේස් එකක් කියන්නෙත් ටිකක් ඕවල් මූණක්ම තමයි. හැබැයි ඕවල් මූණකට වඩා තියුණු ගතියක් තමයි ඩයමන්ඩ් මූණක තියෙන්නේ. ඒකට හේතුව මේකයි. ඩයමන්ඩ් මූණක් පළලට වඩා දිගින් වැඩියි, කම්මුල් තමයි වැඩියෙන්ම පළල. හැබැයි නළල ටිකක් ප‍ටුයි. එතකොට යටි හනුව ඊටත් වඩා ප‍ටුයි සහ බොහොම තියුණු හැඩයකින් යුක්තයි.

මේ දියමන්ති මූණු තියෙන අයට ගොඩක් ලොකු සන්ග්ලාසස් ගැලපෙන්නේ නෑ. තමන්ගේ මූණට සාපේක්ෂව සාමාන්‍ය හෝ කුඩා ප්‍රමාණයක සන්ග්ලාසස් තමයි මේ අයට හරියන්නේ. හැබැයි ගොඩක් ප‍ටු අව් කණ්ණාඩි ගන්නත් එපා. ඒකත් කැතයි. එතකොට ගොඩක් ඝනකම රාමු හරියන්නෙත් නෑ. හැබැයි සන්ග්ලාසස් වල උඩ රාමුව ඝනකම වෙන තරමට හොඳයි. විශේෂයෙන්ම හාෆ් ෆ්‍රේම් එහෙම මේ අයට සුපිරියටම ගැලපෙනවා.

 

8. හමේ පාට සහ සන්ග්ලාසස්

හමේ පාට හොයන එක තමයි වැඩේ. ඇයි? අවුවට පිච්චෙන හරිය එක පාටක්, අවුව වැටෙන්නේ නැති හරිය තව පාටක්. එහෙමනේ. හැබැයි ඇත්තටම හමේ පාට බලන්න ඕන තමන්ගේ අතේ ඇතුළු පැත්තෙන්. ඒ කියන්නේ අතේ පහළ කොටසේ මැණික් ක‍ටුව ගාව ඉඳලා ඇතුළු පැත්ත. අනික මේ හමේ පාට බලන ටෙස්ට් එක කරන්න යන්න ඉර එළිය සාමාන්‍යයෙන් තියෙන තැනකට. නැතිනම් ගෙවල් ඇතුළේ තියෙන අඳුර, ලයිට් බල්බ් වල කෘත්‍රිම ආලෝකය එක්ක ඕක කරන්න බෑ.

සුදුමැලි පෙනුම තියෙන හමක් නම් ඔබට තියෙන්නේ, පැස්ටල් පාට වල ෆ්‍රේම්ස් හරියනවා. රෝස/සුදු පාටට හුරු මධ්‍යම පාටක් තියෙන සමකට ගැලපෙන්නේ නිල්. රතු, දුඹුරු පාට සන්ග්ලාසස්. තල එළලු පාට සමක් නම් තියෙන්නේ, මෙට්ල් පාටවල්, තද දුඹුරු හරි සමහර වෙලාවට ඇම්බර් පාට හරි ගැලපෙනවා. වඩාත් අඳුරු පැහැති සමක් තියෙන කෙනෙක්ට ගැලපෙන්නේ වඩාත් අඳුරු, තද පාට වර්ණ තියෙන සන්ග්ලාසස්. කළු, තද දුඹුරු, ඉතා තද නිල් වගේ වර්ණ.

 

හැබැයි තවත් එකක්. දැන් මේ ටිප්ස් වල විදියටම ස්ටයිල් එක සුපිරියටම ගැලපෙන විදියට ෆැෂනබල් අව් කණ්ණාඩි දෙකක් තෝරගත්තා කියමු. හැබැයි ඒකෙන් ඇස් වලට සම්පූර්ණ සුපිරි ආරක්ෂාවක් ලැබෙන්නේ නැතිනම් ඒත් වැඩක් නෑ කියන එක මතක තියාගන්න. උපයෝගිතාවය එක, ස්ටයිල් එක දෙක!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *