මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ දිවි පෙවෙත සැකෙවින්

පහුගිය අඳුරු සමය තුළ ජාති ආගම් භේදයකින් තොරව හැම දෙනාගෙම ගෞරවාදරයට පත්වුන එක පුද්ගලයෙක් හිටියා. ඒ තමයි අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ මේ අසීරු අවස්ථාවේ වුවත් උපශාන්ත බවක් පළ කළා. අපේ සමහර දේශපාලඥයන් මෙම සිදුවීමෙදි හැසිරුණු ආකාරය එක්ක බලද්දි, උන්වහන්සේ හැසිරුණු වගකීම් සහගත ආකාරය ගැන කියන්න වචන නෑ. පසුගිය දවස්වල අපිට ආරංචි වුණා උන්වහන්සේ තමන්ට රජය මගින් ලබා දෙන්න නියමිත වෙලා තිබ්බ වෙඩි නොවදින රථයත් ප්‍රතික්ෂේප කළා කියලා. උන්වහන්සේ කියල තිබ්බෙ සමස්ත රට වැසියාගේ ආරක්ෂාව සහතික නොකර තමන්ගේ ආරක්ෂාව ගැන විතරක් රජය වද වෙන එකේ තේරුමක් නැහැයි කියලා. මේ සිදුවීම්වලට කලිනුත් උන්වහන්සේ මෙරට අන්‍ය ආගමික සමාජ තුළ විශේෂයෙන්ම බෞද්ධ සමාජය තුළ ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. ඒ උන්වහන්සේ බෞද්ධ ආගමට යම් යම් මදිපුංචිකම් සිදුවුණු සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් සෘජුව කතා කළ නිසා. මේ නිසා අපි අද හිතුවා උන්වහන්සේගේ ජීවිත කතාව සැකෙවින් ඔබත් එක්ක බෙදා ගන්න.

 

1. උන්වහන්සේගේ පවුල් පසුබිම

Image Source – catholicnewsagency.com

උන්වහන්සේගේ සම්පූර්ණ නම වෙන්නේ පටබැඳිගේ දොන් මැල්කම් රංජිත්. 1947 නොවැම්බර් මාසේ 15 පොල්ගහවෙලදී උපත ලබන උන්වහන්සේගේ මවුපියන් වීමට වාසනාව ලබන්නේ දොන් විලියම් සහ මේරී විනිෆ්‍රීඩා යුවල. ඒ වගේම උන්වහන්සේ පවුලේ වැඩිමල්ම දරුවා. මෝදර ද ලා සාල් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගන්න උන්වහන්සේ, කුඩා කාලයේ සිටම පල්ලිය සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. ඒ වගේම උන්වහන්සේගෙන් පළ වුණේ අසාමාන්‍ය විදිහට දෙවියන් වහන්සේ වෙත නැඹුරුවීමක්.

 

2. දේව ධර්මය හැදෑරීම

Image Source – orbiscatholicussecundus.blogspot.com

1955 විතර වෙද්දි උන්වහන්සේ වටහා ගත්තා තමන් වහන්සේට දෙවියන් වහන්සේ වෙතින් යම් නියමයක් ලැබී ඇති බව. ඒ අනුව මව්පිය අවසරය ලබාගෙන 1956 දී  බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්ම ශාස්ත්‍රාලයට ඇතුළත් වන උන්වහන්සේ දේවධර්මය හදාරන්න පටන් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේගේ නවාතැන වුණේ  මහනුවර ජාතික දේවධර්ම ශාස්ත්‍රාලය. එම ආයතනයෙන් වැඩිදුර ධර්ම ඥානය දියුණු කර ගනිමින් 1970 දක්වා ගත කළා. උන්වහන්සේගේ දක්ෂතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරපු තෝමස් කුරේ කාදිනල් තුමා, උන් වහන්සේව වැඩිදුර අධ්‍යාපනය සඳහා රෝමයේ පොන්ටිෆිකල් උර්බානු සරසවිය වෙත යොමු කළා.

 

3. රෝමයේ ගතකළ කාලය

1975 ජූනි 29 වන දින උන්වහන්සේ පූජකවරය ලබා ගන්නේ අති උතුම් ශුද්ධෝත්තම හයවෙනි පාවුළු පාප් වහන්සේ වෙතින්. ටික කලක් ලංකාවට පැමිණ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන උන්වහන්සේ නැවත තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා රෝමය වෙත යනවා. ෆොන්ටිපිකල් බිබිලිකල් ආයතනයෙන් ශුද්ධ වූ ග්‍රන්ථ පිළිබඳව වැඩි දුරටත් හැදෑරීම් කරන්නේ එවකට සිටින විශිෂ්ට දේව ධර්මචාරීන් වහන්සේලා යටතේ. ඊට පස්සේ ජෙරුසලමේ පිහිටි හේබ්‍රෙව් විශ්ව විද්‍යාලයෙන්  පශ්චාත් උපාධි කටයුතු සිදු කරනවා.

 

4. ලංකාවට උන්වහන්සේගේ සේවය ලබා දීම ආරම්භ කිරීම

1978 පමුණුගම මීසම් භාර සහයක පියතුමන් ලෙස උන්වහන්සේ ලක් කිතු සසුනට තමන්ගේ සේවය ලබාදීම ආරම්භ කරනවා. ඉන්පසුව උන්වහන්සේ කළුතර සහ පයාගල ප්‍රදේශවල මීසම් භාර පියතුමා ලෙස කටයුතු කරනවා. විශේෂයෙන්ම ධීවර ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් එතුමා දැඩි ලෙස කැප වෙනවා. ඒ වෙනුවෙන් සෙත් සෙවන ආයතනය  එතුමාගේ මූලිකත්වයෙන් පිහිටවනු ලබනවා.

 

5. ලක්දිව කතෝලික සභාවේ නායකත්වය කරා උන්වහන්සේ පැමිණි ගමන

උන්වහන්සේ ලංකා කතෝලික සභාවේ ප්‍රධාන තනතුරකට පත් වන්නේ 1991 දී. ඒ කොළඹ සහයක රදගුරු පදවියට පත් වෙමින්. වසර 4 ක් වගේ කාලයක් තුළ උන්වහන්සේ රදගුරු පදවියට පත්වෙනවා, ඒ රත්නපුර පළමු රදගුරුවරයා වීමෙන්. එසේම උන්වහන්සේ කතෝලික රදගුරු සම්මේලනයේ ලේකම් ධුරයටත්, ශුද්ධෝත්තම හයවෙනි ජුවාම් පාවුළු පාප් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ අවස්ථාවේ සංවිධායක කමිටුවේ සභාපති ධූරයටත් පත් වෙනවා.

 

6. වතිකානුව හා සම්බන්ධ වීම

ශ්‍රී ලංකාව තුළ විශේෂ සේවයක් සිදුකරමින් සිටින විට උන් වහන්සේට වතිකානුව වෙත කැඳවීමක් ලැබෙනවා. ඒ අනුව උන්වහන්සේ වතිකානුවේ පරිපාලන සේවයට එක් වුණු පළමු ශ්‍රී ලාංකික පියතුමා බවට පත්වුණා. ඒ ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් බවට 2001 වසරේදී  පත්වීමෙන්. 2004 වසරේ දී ඉන්දුනීසියාව සහ නැගෙනහිර ටිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙස උන් වහන්සේව පත් කරනු ලැබුවා. එම කාලය උන්වහන්සේගේ ජීවිතයේ අභියෝගාත්මක කාලයක් වුණා. හේතුව වුණේ ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යය වන ඉන්දුනීසියාවෙන් ඉවත් වීමට කතෝලික බහුතරයක් සහිත නැගෙනහිර ටිමෝරය උත්සාහ කිරීම නිසා ඇතිවූ තත්ත්වයන් නිසා. පසුව උන්වහන්සේ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙස සේවය කළා.

 

7. ශ්‍රී ලංකාවේ අගරදගුරු පදවියට සහ කාඩිනල් ධූරයට පත්වීම

2009 ජූනි 16 වන දින ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් විශ්‍රාම යෑම නිසා හිස්වුණු කොළඹ අගරදගුරු පදවිය සඳහා ශුද්ධෝත්තම 6 වන බෙනඩික් පාප්වහන්සේ විසින් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේව පත් කරනු ලැබුවා. 2010 නොවැම්බර් 20 වන දින සකල ශ්‍රී ලංකාවාසීන්ටම වැදගත් දිනයක් බවට පත් වුණා.ඒ ශුද්ධෝත්තම පියතුමාණන් විසින් මැල්කම් රංජිත් හිමිපාණන් කාදිනල් ධූරයට පත් කිරීම නිසා. කාදිනල් ධූරය සැලකෙන්නේ  කතෝලික සභාව තුළ පාප් වහන්සේට පමණක් දෙවැනි වන ධූරයක් විදිහට. මීට පෙර මේ උත්තරීතර පදවියට පත්ව ඇත්තේ එකම එක ශ්‍රී ලාංකිකයෙක් පමණයි. ඒ තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් පමණයි.

මේ ආටිකල් එක තුළින් අපි මැල්කම් රංජිත් හිමිපාණන් ගේ ජීවිත කථාව කෙටියෙන් ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කළා ඒ පිළිබඳව ඔබේ අදහස් comment තීරුවෙන් ඉදිරිපත් කරන්න.ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *