ෆේස්බුක් මැසෙන්ජර් එකේ වුනත්, වට්ස්ඇප් එකේ වුනත් හිතෙන හිතෙන දේවල් යවන්න පුළුවන්ද?

දැන් කාලේ කවුරුවත් එස්.එම්.එස් ගහන්නෙ නැහැනේ. හැමෝම වගේ පණිවිඩ හුවමාරු කරගන්න පාවිච්චි කරන්නේ මැසෙන්ජර් සේවාවන්. මැසෙන්ජර් සේවාවන් කිවුවහම ඉතින් ෆේස්බුක් මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර් වගේ ජනප්‍රිය එව්වගේ ඉඳලා ටෙලිග්‍රෑම්, කික් වගේ වැඩිය ජනප්‍රිය නැති මැසෙන්ජර් සේවාවන් දක්වා අටෝරාසියක් තියෙනවා. මේ හැම එකකින්ම වගේ ටෙක්ස්ට් විතරක් නෙවෙයි, ෆොටෝ, වීඩියෝ, වොයිස් ක්ලිප්ස්, ලින්ක්ස් වගේ ඕනම දෙයක් හුවමාරු කරගන්න පුලුවන්. ඒ නිසාම දැන් යාලුවෝ අතර විතරක් නෙවෙයි, ඔෆිස් වැඩ වලට එහෙමත් මේ මැසෙන්ජර් සේවා පාවිච්චි වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඔෆිස් එකේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක ඉන්න ටීම් එක වට්ස්ඇප් ගෘප් එකක් හදාගෙන, ඒ ඔස්සේ තමයි එදිනෙදා සන්නිවේදන කටයුතු කරන්නේ.

දැන් මේ විදියට අපේ එදිනෙදා සන්නිවේදනයට මේ මැසෙන්ජර් සේවාවන් බොහොම ගැඹුරින් සම්බන්ධ වෙලා තියෙන හින්දම, මැසෙන්ජර් සේවාවන් ආවට ගියාට පාවිච්චි කරලා හරියන්නෙ නෑ. අපි පිළිපදින්න ඕන යම් යම් මූලික ආචාර ධර්ම තියෙනවා. අමාරු එව්වා නෙවෙයි, මොළේ පාවිච්චි කරනවා නම් අමුතුවෙන් හිතන්න ඕන නැති තරම් මූලික ආචාර ධර්ම. හැබැයි ඉතින් අපි මේ සූදානම් වෙන්නේ, උදවුවක් විදියට මැසෙන්ජර් සේවාවන් පාවිච්චි කරනකොට හිතන්න ඕන ආචාර ධර්මයන් ගැන ආයෙත් පාරක් මතක් කරන්න තමයි!

 

1. චැට් කරන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් අපි බොක්කේ ෆිට් එකක් එක්ක චැට් කරන කොට “ඔයාට මේ වෙලාවෙ චැට් කරන්න පුළුවන්ද?” කියලා අහ අහා ඉන්නෙ නැහැනේ. පුළුවන් වුනත් බැරි වුනත් චැට් කරපන් කියන ලෙවල් එකෙන් තමයි පටන් ගන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් අතිවිශාල ෆිට් එකක් නැති කෙනෙක් එක්ක සාමාන්‍ය චැට් එකක් පටන්ගන්නකොට වුනත්, මේ වෙලාවේ චැට් කරන එක කරදරයක්ද නැද්ද කියලා අහන්න ඕන. ඒක තමයි හරි විදිය. එතකොට යම් කිසි වෘත්තිමය කටයුත්තක් වෙනුවෙන් කෙනෙක් එක්ක චැට් කරනවා නම්, ඒක අනිවාර්යයෙන්ම අහන්න ඕන.

 

2. චැට් එක දැක්කා, ඒත් නොදැක්කා වගේ ඉන්න ඕන!

මෙන්න මේක බොහොම විවාදයට ලක් වුණු කාරණාවක්. ඒ තමයි චැට් එකට දාපු මෙසේජ් එකක් දැකලත් නොදැක්කා වගේ ඉන්න එක. මොකද හැම මැසෙන්ජර් සර්විස් එකකම වගේ මෙසේජ් එකක් කෙනෙක්ට දාලා, එයා මෙසේජ් එක දැක්කහම, මෙසේජ් එක දාපු කෙනාටත් බලාගන්න පුළුවන් දැක්කද නැද්ද කියන එක. ඇත්තටම මේ චෝදනාව ගොඩක් වෙලාවට එල්ල වෙන්නේ ගෑණු ළමයින්ට. හරි ඒ ගැන පස්සේ කථා කරමු.

ඒත් වෘත්තිමය කාරණයකට හෝ යම් කිසි වුවමනාවක් වෙනුවෙන් වෙන කාරණයකට කවුරුහරි මෙසේජ් එකක් දැම්මහම, ඒක සීන් කරලා සද්ද නැතුව ඉන්න එක කැතයි. ඒ මොහොතේ අපිට කථා කරන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි “පස්සේ කථා කරන්නං” කියලා හරි මෙසේජ් එකක් දාන එක. එහෙම කරන එක ප්‍රොෆෙෂනල්.

 

3. ඇයි ඔයා කථා නැත්තේ? කථා කරන්නකෝ!

සීන් කතන්දරේම පස්සේ කථා කරමු කියපු අනික් කෑල්ල තමයි මේ. මේක වෙන්නේ ගොඩක් වෙලාවට කෙල්ලෝ එක්ක. දැන් ඔන්න ගෑණු ළමයෙක්ට මෙසේජ් කරනවා. පොඩි හායි එකක් වෙන්න පුළුවන්. කෙල්ල සීන් කරනවා. හැබැයි සද්ද නෑ. ඔන්න තව ටිකකින් ආයෙමත් ගෑණු ළමයට හෙලෝ එකක් යවනවා. ඒකත් සීන්. ඒත් සද්ද නෑ. දැන් ‘ඉන්නවද ඔයා?’ කියලා මෙසේජ් එකක් යවනවා. ඒකත් සීන්. ඒත් සද්ද නෑ. ඔහොම දිගින් දිගටම එක්කෝ කෙල්ල බ්ලොක් කරලා දානකල්, නැත්තං තමන්‍ට හති වැටෙනකල් මෙසේජ් යවනවා! ආන්න ඒක ගැලපෙන වැඩක් නෙවෙයි.

කලින් නොදන්න කෙනෙක්ට මෙසේජ් එකක් යවනකොට සරල හායි එකකට වඩා වැඩි මෙසේජ් එකක් යවන්න උත්සාහ කරන එක වැදගත්. ඒක දැකලා නොදැක්කා වගේ ඉන්නව නම් ආයෙ ආයෙ මෙසේජ් කරන්න යන්න ඕන නෑ. ඒක ඒ කෙනාට කරදරයක් විතරයිනේ. ඇත්තටම ගෑණු ළමයින්ගේ ඉන්බොක්ස් වලට දවස ගාණේ අම්බානෙක මෙසේජස් එනවනේ. ඉතින් ඔය ඔක්කොටම රිප්ලයි කරන්න පුද්ගලික ලේකම් කෙනෙක් ගන්න වෙනවා. ආන්න ඒ නිසා සැලකිය යුතු කාලයක් දීලා බලාගෙන ඉන්න රිප්ලයි කරනකල්. ඒක සතියක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. ඊට පස්සෙත් රිප්ලයි එකක් නැතිනම් තමන්ට තීරණය කරන්න පුළුවන් එයාව ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ තියාගන්නවද, අන්ෆ්‍රෙන්ඩ් කරනවද කියන එක. එච්චරයි. දිගින් දිගට මෙසේජ් කර කර වාත වෙන්න යන්න එපා!

 

4. මෙසේජ් එකට රිප්ලයි!

මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ ගෘප් චැට් වලදී. හැබැයි පුද්ගලික චැට් එකකදී වුනත් මේක පිළිපදින එක වටිනවා. දැන් වට්ස්ඇප් වල වුනත්, ෆේස්බුක් මෙසෙන්ජර් වල වුනත් අපිට චැට් එකේ අවශ්‍ය යම් විශේෂිත කොටසකට රිප්ලයි කරන්න පහසුකම් තියෙනවා. ආන්න ඒ පහසුකම පාවිච්චි කරන්න. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දකුණට Swipe කරලා. මේ විදියට අවශ්‍ය නිශ්චිත මෙසේජ් එකට රිප්ලයි කරන එක හැමෝටම පහසුයි. එතකොට මෙසේජ් පැටලෙන්නෙ නෑ.

 

5. හරි ඉංග්‍රීසි, හරි සිංහල, හරි දෙමළ

මෙන්න මේකත් හරියට දැනගන්න ඕන දෙයක්. දැන් මෙසෙන්ජර් සේවාවන් පාවිච්චි කරනකොටත් අපි දකිනවා අර ෂෝට් එස්.එම්.එස් භාෂාවෙන් මැසේජ් කරනවා. ඉස්සර එස්.එම්.එස් වල මාගල් ගණන් දිග මෙසේජ් ගහන්න බෑ. ඒ නිසා ගහන මෙසේජ් එක කොට කරන්න තමයි ඔය ෂෝට් බාසාව ආවේ. හැබැයි ඉතින් එහෙමයි කියලා දැන් වට්ස්ඇප් වලයි ෆේස්බුක් මෙසෙන්ජර් වලයි ඔය වගේ කියන හැම එකම ෂෝට් කරන්න ගියහම වෙන්නේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා පැටලෙන එක. කවුරුත් දන්න TC වගේ එකක් කමක් නෑ. එතනින් එහාට ලියන හැම කෙහෙල්මලම ෂෝට් කරන්න යන්න එපා. සමහරු හරි ඉංග්‍රීසි ස්පෙලින්ග්ස් නොදන්න නිසාත් ඒක කරනවා. හැබැයි මතක තියාගන්න, දැන් තියෙන ස්මාට්ෆෝන් කීබෝඩ් වල හරි ස්පෙලින්ග්ස් තියෙන වචනේ යෝජනා කරන පහසුකම් තියෙනවා.

ඊලඟට තමන් සිංහලෙන් ලියනවා නම් සිංග්ලිෂ් වලින් නොලියා හෙලකුරු වගේ කීබෝඩ් එකක් දාගන්න එක වටිනවා. දෙමළටත් එහෙමයි. මොකද කියවන කෙනාට ඒක පහසුවක්.

 

6. හැම කුණුහරුපෙම එපා!

Image Source – thenewsminute.com

මේන්න මේක හැමදෙනාම මතක තියාගත යුතු දෙයක්. දැන් ඔය මෙසෙන්ජර් සේවාවන් හරහා අපිට දහසකුත් එකක් ෆොටෝස් වීඩියෝස් මීම්ස් ලැබෙනවා. ඕවා හම්බුණහම ෆනී දෙයක් තිබ්බොත් යාලුවොත් එක්ක බෙදාහදාගෙන හිනාවෙන්න අපි කැමතියිනේ. හැබැයි ගොඩක් දෙනෙක් කරන්නේ මෙහෙම මොකක් හරි හම්බුණහම පෝලිමට තමන්ගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න හැටහුටාමාරටමයි, ගෘප් ඔක්කොටමයි ෆෝවර්ඩ් කරන එක. ආන්න ඒක අප්සෙට්. ඒ විතරක් නෙවෙයි, අවදානම්.

හිතන්න පෝර්න් ස්ටාර් අක්කියෙක්ගෙ ක්ලිප් එකක් ආවහම වැඩිය හිතන්නේ නැතුව ඒක ඔෆිස් එකේ බොස්ට යැව්වා කියලා. රස්සාවට කෙලවෙනව නේද? එතකොට ඔෆිස් එකේ මාර ෆිට් නොවෙන නංගියෙක්ට එහෙම ඔය වගේ ක්ලිප් එකක් ෆෝවර්ඩ් කිරීමෙනුත් රස්සාවට කෙල වෙන්න පුළුවන්. ඇයි, නංගි ඒක HR එකට කිවුවොත් එහෙම සෙක්ෂුවල් හැරස්මන්ට් කේස් එකක්.

අනික තමන් ඉන්න ඒ ඒ ගෘප් වල ස්වභාවය අනුව තමයි ඒ ඒ දේවල් බෙදාගන්න ඕන. ඒක අමතක කරන්න එපා!

 

7. මැසෙන්ජර් වීඩියෝ කෝල්ස්

සමහරු ඉන්නවා එක පාරටම කියන්නේ නැතුවම මැසෙන්ජර් එකෙන් වීඩියෝ කෝල්ස් ගන්නවා. අන්න ඒක බොහොම වැරදි වැඩක්. මොකද අපි වෙනත් වැඩක් කරමින් ඉන්න වෙලාවක නම්, වීඩියෝ කෝල් එකක් එනකොට නොදැනුවත්වම කෝල් බට්න් එක එබිලා වීඩියෝ එක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ඉන්නේ වීඩියෝ කෝල් එකකට මුහුණ දෙන්න බැරි අවස්ථාවක නම්? ආන්න එතකොට ඒක පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් වෙනවා. අන්න ඒ නිසා මතක තියාගන්න, මැසෙන්ජර් සේවාවන් හරහා වීඩියෝ කෝල්ස් ගැනීමට පෙර අනිවාර්යයෙන්ම ඒකට අවසර ඉල්ලා සිටින්න ඕන.

අනික ෆේස්බුක් මැසෙන්ජර් වගේ සේවාවක් හරහා ඕඩියෝ කෝල් එකක් ගන්නකොට පවා කලින් අවසර ඉල්ලන එක හොඳයි. මොකද ඒ කෙනා අපිට එයාගේ දුරකථන අංකයක් දීලා නැතිනම්, අපි දන්නෙ නෑ එයා අපි කෝල් කරනවට කැමතිද නැද්ද කියන එක.