නිර්මාංශ භක්ෂකයෙකුට පෙම් බඳින මාංශ භක්ෂකයෙකු දැනගෙන සිටිය යුතුම කරුණු මේවායි!

දැන් ඔය ප්‍රේම හිතක් කාරිය පහළ වුනාට පස්සේ අපි කොයි තරම් නං දේවල් නොසලකා හරිනවද? පෙනුම, පාට, උස් මිටි කම්, කුල මල, තත්ත්වය, සමාජ පංතිය, වස්තු දේපළ, දෙමාපිය නෑදෑ තරාතිරම් වගේ කිසිම දෙයක් තඹේකට ගණන් නොගෙන ලව් කරන මිනිස්සු ඉන්නවනේ. එහෙම ලව් කරලා කසාදත් බැඳලා හොඳින් ජීවත් වෙනවා. ආදරේ එහෙම තමයි.

හැබැයි ඉතින් ඔය කියන කොයි කාරණේ නොගැලපුනත් රන් රස වගේ එකට ඉන්න නම් දෙන්නට දෙන්නා සුපිරි අවබෝධයකින් ඉන්න ඕනෑ. ආන්න ඒ අවබෝධය තියේ නං වෙජිටේරියන් කෙල්ලෙක්ට වුනත් ෆුල් මස් කන කානිවෝර් කොල්ලෙක් එක්ක හරි ඉන්න පුළුවන්. ඇත්තටම අපි කථාකරන්න ආවෙත් ආන්න ඒක ගැන තමයි. නිර්මාංශ භක්ෂකයෙක්ට ආදරේ කරන මාංශ භක්ෂකයෙක් අතර ප්‍රේම කතාව පළුදු කරගන්නෙත් නැතුව, දෙන්නට දෙන්නගේ කෑම පුරුදු එක වහලක් යට බැලන්ස් කරගන්නේ කොහොමද කියන එක ගැන!

 

1. එයා බුදු අම්මෝ මස් ලෙවල් එකේද?

සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් නිර්මාංශික වෙලා හිටපු කෙනෙක් මස් මාළු අල්ලන්නවත් එච්චර ප්‍රියතාවයක් දක්වන්නේ නෑ. සමහරු තමන් නොකෑවා කියලා මස් මාළු උයන්න කරන්න කිසිම අවුලක් නෑ. තවත් සමහරු මාළු වලට අවුලක් නෑ, හැබැයි මසක් එහෙම ගෙදර හරියේ ගේනවට කැමති නෑ. ආන්න ඒ නිසා දෙන්නට දෙන්නගේ කෑම වලට තියෙන සංවේදීතාවය ගැන හොඳ අදහසක් දෙන්නටම තියෙන්න ඕන. ඒ අදහස ලැබෙන්න නම් දෙන්නට දෙන්නා ඒ ගැන කතාබහ කරන්න ඕන. එතකොට මස් කන කෙනා දන්නවා ගෙදරට ගේන්න ඕන කපපු ගමන් කුකුලෙක්ද, චිකන් හැම්ද, චිකන් සොසේජස්ද කියලා. එතකොට මස් නොකන කෙනාගෙන් ඈත් කරලා තියන්න ඕන මොනවද, එයා ඉන්න තැන කුස්සියට ගෙනාවට අවුලක් නැත්තේ මොනවද කියන කාරණාවත් විසඳගන්න පුළුවන්.

 

2. තමන්ගේ මස් නං තමන්ම කුකින්!

දැන් අපි දන්නවනේ නිර්මාංශිකයා සංවේදී මස් මාලු වර්ග මොනවද කියලා. දැන් අපේ නිර්මාංශිකයා මස් මාලු නොකෑවට උයන්න අප්සෙට් එකක් නැති නම් කිසිම අවුලක් නෑ. දෙන්න දෙමහල්ලන්ට ඕන විදියට වැඩ බෙදාගෙන එදිනෙදා උයන්න පිහන්න පුළුවන්. හැබැයි අපේ නිර්මාංශිකයා මස් මාලු අල්ලන්නවත් කැමති නැති නම් හොඳම දේ තමයි මාංශ භක්ෂිකයා තමන්ට ඕන මස් මාලු, තමන්ට ඕන තාලෙට උයා පිහා ගන්න එක. එතකොට අනික් කෙනාට පුළුවන් ඒ වෙලාවට කුස්සියෙන් ඈත් වෙලා ඉන්න, තමන් මස් මාලු දකින්නවත් කැමති නැතිනම්.

 

3. භාජන හරියට තියාගන්නඕන

මේක සාමාන්‍යයෙන් තේරුමක් නැති කතන්දරයක් වගේ පෙනුනට, ඇත්තටම මේකේ ලොකු සීන් එකක් තියෙනවා. දැන් කුස්සියේ තියෙන මොකක් හරි භාජනයක මස් උයලා, ඒක හරියට හේදිලා නැතුව, ඒකේ මස් ගඳ තියෙද්දිම නිර්මාංශ භක්ෂිකයාත් ඒකේ උයන්න ගත්තොත් මොකද කරන්නේ? සමහර වෙලාවට එච්චර දුර යන්න ඕන වෙන්නෙ නෑ. ගඳ එනකොටම වැඩේ හබක් වෙන්න පුළුවන්. අපි කිවුවනේ ඒ වගේ මස් මාලු වලට අධි සංවේදී නිර්මාංශ භක්ෂිකයෝ ඉන්නවා කියලා. ආන්න ඒ නිසා කළ යුතු දේ තමයි තමන් පාවිච්චි කරන භාජන හොඳින් පිරිසිදු කරන එක. ආයි සුපිරියටම ගඳක් සුවඳක් ගෑවිලාවත් නැති වෙන්න පිරිසිදු කරන ආට් එක ඉගෙන ගන්න ඕන. ඒ වගේම වඩා හොඳයි, මස් මාලු උයන්න වෙනම හට්ටි මුට්ටි සෙට් එකක් තියාගන්න පුළුවන් නම්!

ඒ වගේම තමයි මස් කපන්න වෙනම පිහියක්, වෙනම ලෑල්ලක් එහෙමත් තියාගන්න වෙනවා!

 

4. ෆ්‍රිජ් එක හරියට බෙදාගන්න ඕන

මේකත් සරලයි වගේ හිතුවට සරල නැති කාරණයක්. මේ කාරණයත් බලපාන්නේ අධි සංවේදී නිර්මාංශ භක්ෂකයෙක් එක්ක ජීවත් වෙනකොට. දැන් දෙන්නට හරියන කෑම බීම වලට ෆ්‍රිජ් දෙකක් ගන්න බැහැනේ. ආන්න ඒ නිසා ශීතකරණ අවකාශය හරියට කළමනාකරණය කරගන්න ඕන. ගොඩක් වෙලාවට මස් මාංස දාන්නේ අධිශීතකරණයේ නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කොටසේම හරියට ආවරණය නොකර අයිස් කැට දාලා තිබුණොත්, ඒ අයිස් අරගෙන දෙන්නටම කූල් බීම හදන්න සිද්ධ වුනොත් ප්‍රශ්නයක්. ආන්න ඒ නිසා දෙන්නත් එක්ක එකතු වෙලා ඒ වගේ ප්‍රශ්න නොවෙන්න ශීතකරණයේ ඉඩ කඩ බෙදාගන්න ඕන.

 

5. කෑම හදන ලේසි ක්‍රම

සාමාන්‍යයෙන් බත් මාලු පිණි උයනකොට නම් ලොකු අවුලක් නෑ. ඇයි, බත් එළවළු දෙන්නම කනවා. මසක් මාළුවක් තමයි මාංශ භක්ෂකයට වෙනම හදන්න ඕන. හැබැයි ඔය නූඩ්ල්ස්, පාස්තා වගේ ෆැන්සි කෑමක් හදනකොට මොකද කරන්නේ? එහෙම වෙලාවකට මුලින් නිර්මාංශ භක්ෂකයගේ කෑම කොටස වෙන් කරන්න ඕන. නැත්නම් මාංශ භක්ෂකයගේ කොටස වෙන් කරන්න ඕන. දැන් ඒකට අමතරව දාන්න ඕන මස් මාළු දාලා හදාගන්න පුළුවන්.

 

6. පිරිසිදු කම

මේ කතන්දරේට නම් මාංශ භක්ෂක නිර්මාංශ භක්ෂක කතා නෑ. හැම කෙනෙක්ම පිරිසිදුවට ඉන්න ඕනෑ. හැබැයි මස් මාංස ආහාරයට ගන්න කෙනෙක් නම්, නිර්මාංශ භක්ෂකයෙක් එක්ක ජීවත් වෙනවා නම් තමන්ගේ පුද්ගලික ශරීර පිරිසිදුකම ගැන සියේට තුන්සීයක් හිතන්න ඕන. උදාහරණයක් විදියට, මස් මාංස එක්ක කෑවාට පස්සේ නිකම්ම කට හෝදලා මදි. පොඩ්ඩක් දත් සෙට් එක මදින්න ඕන. එතකොට තමයි මස් මාලු කාපු ගඳ යන්නේ. එතකොට අත් වුනත් හොඳට සබන් දාලා හෝදන්න ඕන. එතකොට තදබල විදියට මස් කන හාදයෙක් නම් තමන්ගේ ශරීර අභ්‍යන්තරය පිරිසිදු වෙන ආහාර පානත් වැඩි වැඩියෙන් ගන්න ඕනෑ.

 

7. අන්තිමට වැදගත්ම දේ

වැදගත්ම දේ තමයි අන්තිමට කියන්න යන්නේ. ඒ තමයි එකිනෙකා කෙරෙහි තියෙන අන්‍යෝන්‍ය ගරුත්වය. එකිනෙකා ගැන තියෙන මනා අවබෝධය. අපි දැකලා තියෙනවනේ වෙජිටේරියන් අය මස් මාළු කන අයව පහත් කරලා කතා කරන විදිය. ඒ වගේම තමයි මස් මාලු කන අයත් නිර්මාංශිකයින්ව පහත් කරන එක අපිට අද සමාජේ දකින්න ලැබෙනවා. හැබැයි පුතෝ අන්න ඒ වගේ අදහස් උදහස් එක්ක නම් දීගේ වැඩිකලක් ඇදගෙන යන්න බැරිවෙයි. ආන්න ඒ නිසා තමන් මොනවා කෑවත්, නොකෑවත්, අනික් කෙනා කන නොකන දේ ගැන ජජ්මන්ට් නොදී විවෘතව බලන්නත් අනිවාර්‍යයෙන්ම පුරුදු වෙන්න ඕන. අනික් කෙනා තමන්ගේ ජීවන රටාව තෝරගෙන තියෙන්නේ තමන්ට ඕන විදියට. අපි අපේ ජීවන රටාව තෝරගෙන තියෙන්නෙත් අපිට ඕන විදියට. එච්චරයි. සරලයි.

මාංශ භක්ෂකයෙක් සහ නිර්මාංශ භක්ෂකයෙක් එක වහලක් යට ජීවත් වෙන්න යනවා නම් පිළිපදින්න ඕන මූලිකම කොන්දේසිය තමයි ඔය රෙස්පෙක්ට් එක කියන එක!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *