ප්‍රේමසිරි කේමදාස සූරීන් ගැන රස කතා

ප්‍රේමසිරි කේමදාස කියන්නේ අපේ රටේ සංගීතය වෙනස්ම මගකට ගත්ත පුද්ගලයෙක්. අපේ සංගීතය පෙරදිග සංගීතයේ හිර කාරයෙක් බවට පත් වෙලා හිටපු කාලෙක අපරදිග සංගීතයේ වටිනාකම අපේ රටේ සංගීතවේදින්ට කියලා දුන්නේ එතුමා. සිංහලෙන් ඔපෙරා, සිම්ෆනි, කැන්ටාටා වගේ බටහිර ආරේ දේවල් කරන්න පුළුවන් කියලා ඇස් පනාපිට ඔප්පු කළේ එතුමා. මේ වගේ විප්ලවකාරී දේවල් සංගීතය ඇතුළේ කරපු එතුමාගේ ජීවිතය තුළ රස කතා එමටයි. ගොඩක් වෙලාවට එතුමා මේ වගේ රස කතාවක් කියලා මහ හයියෙන් හිනා වෙන එක කරලා තියෙනවා. කේමදාස මහත්තයා ගැන දන්න අය කියන්නේ එතුමා හිනා වෙන්නෙත් තමන්ගේ විරෝධය පළ කරන්න කියලා. අපි දැන් මේ වගේ රස කතා කීපයක් දිග අරිමු.

 

1. මහාචාර්ය සරච්චන්ද්‍ර සහ ඕබෝව

ප්‍රේමසිරි කේමදාස මහත්තයා තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සඳහා තේමා වාදනය නිර්මාණය කරලා තියෙන්නේ. මේ තේමා වාදනයටත් කේමදාස විරෝධීන් එකේක කතා කිව්වා. මේ පිළිබඳව සොයන්න පත් කරපු කොමිසමකට ආපු මහාචාර්‍ය සරච්චන්ද්‍ර තේමා වාදනයේ බටහිර ආභාෂය තියෙනවා කියලා ඊට තමන්ගේ විරෝධය පළ කළා. නමුත් මේ තේමා වාදනය වෙනුවෙන් ප්‍රවෘත්ති නිවේදකයන් දිගින් දිගටම පෙනී සිටීම නිසා තේමා වාදනය ඉවත් කරන්න බලධාරීන්ට බැරි වුණා. ඊට වසර කීපයකට පස්සේ සරච්චන්ද්‍ර මහත්තයා තමන්ගේ “මහාසාර” වේදිකා නාට්‍යයට සංගීතය සපයන්න කේමදාස මාස්ටර්ට ආරාධනා කරනවා. ඒ අවශ්‍ය නම් බටහිර සංගීත භාණ්ඩ වුණත් පාවිච්චි කරන්න කියන අවසරයත් එක්ක. දවසක් පුහුණු වීම් බලන්න එන සරච්චන්ද්‍ර මහත්තයට හොරණෑවකට සමාන සංගීත භාණ්ඩයක් දකින්න ලැබෙනවා. සරච්චන්ද්‍ර මහත්තයා අහනවා මේ සංගීත භාණ්ඩය ගැන. කේමදාස මහත්තයා කියනවා. “ඩොක්ටර් ඔය ඕබෝ එකක්, ඕක නිසානේ ඩොක්ටර් මගේ තේමා වාදනේ තහනම් කරන්න කියලා තියෙන්නේ” කියලා. සරච්චන්ද්‍ර මහත්තයා ඒක අහලා හිනා වෙනවා.

 

2. සිරි මැදුරේ නලාව

මේ කාලේ කේමදාස මහත්තයට මරණ තර්ජන එල්ල වෙලා තිබ්බ කාලේ. විජය කුමාරතුංගවත් මරලා දාලා. ඒ මරණෙට විරෝධය පළ කරලා තිබ්බ කලාකරුවන් අතළොස්ස අතරෙන් කෙනෙක් වුණෙත් කේමදාස. දවසක් බෞද්ධාලෝක මාවත දිගේ වාහනේ පදවන් එද්දි කේමදාස මාස්ටර් දකිනවා තමන්ගේ මෝටර් රථය පස්සේ ත්‍රී වීල් එකක් හඹා ගෙන එනවා. එනපොට හොඳ නෑ කියලා තේරුම් ගන්න කේමදාස මාස්ටර් ලෑල්ලටම පාගනවා. ත්‍රී වීල් එකත් අත අරින්නේ නෑ. අන්තිමට කේමදාස මාස්ටර් ඕන දෙයක් වෙච්චදෙන් කියලා කාර් එක නවත්තනවා. ත්‍රී වීල් එකේ රියැදුරා බැහැලා ඇවිත් කේමදාස මාස්ටර්ට කතා කරනවා. “සර්, මම සර්ව දැකලා අද කතා කරන්නම ඕන කියලා හිතුවා, අර සිරි මැදුරේ මියුසික්වල නලාව වෙන විදිහක නේද?” මේ ප්‍රශ්නෙ ඇහුවම කේමදාස මාස්ටර් අපේ රටේ සාමාන්‍ය මනුස්සයෙකුගේ තියෙන රසඥතාවය ගැන පුදුම වෙනවා. මොකද ඒ පුද්ගලයා කියපු විදිහටම ඒ නලාව ලතින් ඇමරිකානු රටවල භාවිතා කෙරෙන නලාවක් ඒ වගේම ඒ නලාව වාදනය කරන්න දිවත් පාවිච්චි වෙනවා.

 

3. සංගීත කණ්ඩායමට ආ ආගන්තුකයා

කේමදාස මාස්ටර්ට මුල් කාලේ ලොකු අපලයක් තිබ්බා. ඒ තමයි සිනමා සංගීතය සිදු කරන්න ලැබෙන ගොඩක් අවස්ථා මොකක් හරි හේතුවක් නිසා කඩා කප්පල් වීම. ඒ කාලෙදි සිරිසේන විමලවීර මහත්තයා “රොඩී කෙල්ල” කියලා චිත්‍රපටියක් හදන්න යනවා. මේ කාලේ සිනමා සංගීතය සපයනවා කියන දේ ලේසිපාසු කාර්‍යයක් නෙමෙයි. ගීතයක් පටිගත කරන්න ලොකු සංගීත කණ්ඩායමක් ඕන වෙනවා. එක පාරක් හරි වැරදුණොත් හරි ආපහු පටිගත කරන්න වෙනවා. ඊට අමතරව තැටිගත කරන වැඩවලට ඉන්දියාවට යවන්නත් වෙනවා. “රොඩී කෙල්ල”චිත්‍රපටියට සංගීතය පටිගත කරන්නේ බාගෙට හදපු ශබ්දාගාරයක. සේරම වැඩ ඉවර වෙලා ඉන්දියාවෙන් තැටිය ගෙනත් වාදනය කරන් යද්දි මැදදි අමුතු සද්දයක් ඇහෙනවා. මේ කේමදාස මාස්ටර් පාවිච්චි කරපු අලුත් සංගීත භාණ්ඩයක් කියලා වටේ ඉන්න අය කිව්වත් කේමදාස මාස්ටර් කියන්නේ එහෙම අලුත් සංගීත භාණ්ඩයක් තමුන් පාවිච්චි කළේ නෑ කියලා. අන්තිමේදී මාස්ටර් අනුමාන කරන්නේ මේ ඇහෙන්නේ ගෙම්බෙක්ගේ සද්දයක් කියලා. පස්සේ අර ශබ්දාගාරය පරීක්ෂා කරද්දි හරියටම හිතුවා වගේ තඩි ගෙම්බෙක් ඉන්නවා.

 

4. කේමදාස ප්‍රේමදාසට කොකා පෙන්වයි

දවසක් කේමදාස මාස්ටර්ට ඒ. ජේ රණසිංහව මුණ ගැහෙනවා සාදයකදී. බමන මතින් ඉන්න කේමදාස මාස්ටර් ඒ කාලේදී ටවර්හෝල් පදනමේ සභාපති වෙලා උන්නු (පස්සේ කාලෙක ඒ. ජේ. රණසිංහ ඇමති කෙනෙක් බවටත් පත් වෙනවා) රණසිංහට පදනමට සම්බන්ධ කටයුතු වගයක් ගැන දොස් කියනවා. රණසිංහ මේක එක දෙක කරලා කේමදාස අගමැතිතුමාටත් බැන්නා කියලා ප්‍රේමදාසට කියනවා. ප්‍රේමදාස පාර්ලිමේන්තුව ඇතුළේදි කේමදාසට දැඩි විදිහට දෝෂාරෝපණය කරනවා. මේ කාලෙදිම කේමදාස මහත්තයට සම්මානයක් ලැබෙන්න නියමිත වෙනවා ප්‍රේමදාසගේ අතින්ම. ප්‍රේමදාස විවිධ අය එවලා කේමදාස සම්මානේ ගන්න එනවද කියලා හොයලා බලනවා. ඒ හැමෝටම මාස්ටර් කියනවා,මම එනවා කියලා. අවසානේදි සම්මානේ දෙන දවසේ උත්සවේටත් ගිහිල්ලා කේමදාස නම කියනවත් එක්කම මාස්ටර් තමන්ගේ අසුනෙන් නැගිටලා ශාලාවෙන් එළියට යනවා.

 

5. වාමාංශික නායකයන්ගේ රසඥතාවය

Image Source – dailymirror.lk

කේමදාස මාස්ටර් හැමදාම තමන්ව හැඳින්වුවෙ වාමාංශික කලාකාරයෙක් විදිහට. ඒ වගේම වාමාංශික නායකයන් පිළිබඳව මාස්ටර්ට තිබ්බේ ගෞරවාන්විත හැඟීමක්. මාස්ටර් කියන විදිහට මාස්ටර්ගේ නිර්මාණයක් රස විඳින්න ආපු ආචාර්ය එන්. එම් පෙරේරා දවසක් ඇවිත් තියෙන්නේ පරක්කු වෙලා. ප්‍රවේශ පත්‍ර කවුළුව අසල හිටපු මාස්ටර්ගේ සහෝදරයා පෙරේරා මහත්තයාට ඇතුළට යන්න කියලා කීප වතාවක් ඉල්ලීමක් කළත් එන්. එම් නිර්මාණයට බාධා වෙන විදිහට එහෙම යන එක හරි නෑ කියලා ප්‍රතික්ෂේප කරලා. අවසානයේදි කෙටි විවේකයකදි තමයි ශාලාව ඇතුළට ගිහින් තියෙන්නේ.

 

6. අපේ වයිෆ්ටත් සිංදු කියන්න බෑනේ

Image Source – srilankamirror.com

දවසක් එක චිත්‍රපටි නිෂ්පාදකයෙක්ගෙන් කේමදාස මාස්ටර්ට අපූරු ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ තමයි තමන්ගේ බිරිඳව චිත්‍රපටි ගීතයකට සම්බන්ධ කරගන්න කියලා. කටහඬ පරීක්ෂාවකට එන්න කිව්වමයි මාස්ටර්ට තේරුණේ ඒ කාන්තාවට සිංදු කියනවා තියා කතා කරගන්නත් අමාරුයි කියලා. නිෂ්පාදකයාට පැත්තකට කතා කරපු මාස්ටර් මෙන්න මෙහෙම කිව්වා “මිස්ටර්, මගේ වයිෆ්ගේ නමත් ලතා, ඒ වුණාට මම එයාව චිත්‍රපටිවල සිංදු කියන්න ගන්නේ නෑ, ගන්නේ ලතා වල්පොළව, ඒ නිසා මේ චිත්‍රපටියටත් අපි ලතා වල්පොළව ගමු” කියලා. නිෂ්පාදකයත් ඒ කියපු විදිහටම ලතා වල්පොළව සිංදු කියන්න ගත්තා.

 

7. කේමදාස සියදිවි නසා ගැනීමට සැරසෙයි

Image Source – cultofmac.com

මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කේමදාස මාස්ටර්ගේ සංගීත ජීවිතයේ මුල් කාලේ. ඒ කාලේ බැරි සිල් කියන ගීත නාටකය කරන්න මාස්ටර් පොළියට සල්ලි ගන්නවා. නමුත් ගීත නාටකයෙන් එතරම් ආදායමක් ලැබෙන්නේ නෑ. ඒත් පොළී මුදලාලී ණය සහ පොළිය ඉල්ල ඉල්ල කරදර කරනවා. දවසක් මේ කරදරේ දරාගන්න බැරුව මාස්ටර් ඒ මනුස්සයා ඉස්සරහදිම උඩ තට්ටුවෙන් පනින්න යනවා. මේක දකින පොළී මුදලාලී මාස්ටර්ව බේරගෙන “චී, චී මහත්තයා ඇයි මේ සල්ලි නිසා ඔච්චර වටින තමන්ගේ ජීවිතය නැති කර ගන්න යන්නේ.” කියලා මට මහත්තයාගේ සල්ලි එපා කියලා කියනවා. මේ පොළී මුදලාලි මස්කඩ මුදලාලි කෙනෙක්. ඒත් ඒ මනුස්සයා මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අවබෝධ කර ගෙන තිබ්බේ. ඒ නිසයි අපිට පස්සෙ කාලෙක විශිෂ්ට නිර්මාණ කරපු කේමදාස කෙනෙක් ඉතුරු වුණේ.

හොඳයි ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ආටිකල් එක සම්බන්ධ ඔයාගේ අදහස් උදහස් comments section එකේ ලියලා. යන්නත් අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *