ශ්‍රී ලංකාව ඇතුළේ කාන්තාවට විඳින්න සිදුවෙලා තියෙන ලිංගික හිරිහැර වලදී කළ හැකි දේ මොනවද?

ශ්‍රී ලංකාව කියන්නේ විසංවාදයන් බොහෝමයක් තියෙන රටක්. එක අතකින් අඩියක් අඩියක් පාසා පන්සල්, බෝ ගස්, පල්ලි, සුරුවම්, කෝවිල් තියෙන අතරේ, නොයෙකුත් නීතිවිරෝධී වැඩකටයුතුත් අඩියක් අඩියක් පාසා සිද්ධ වෙනවා. හැබැයි කාටවත් ගාණක් නෑ. අවුරුදු දෙදාස් පන්සීයක සංස්කෘතියක් ගැන කිය කියා ආදරවන්තයන් දෙදෙනෙක්ගේ සිප ගැනීමකට වුනත් තහංචි දාන අතරේම, සංස්කෘතිය ගැන වගේ වගක් නැතුව මිනිස්සුන්ව මරණවා. ගෙදර බුදුන් අම්මා කියලා කවි සිලෝ කියන අතරේම, ශ්‍රී ලාංකීය කාන්තාව දෛනිකව ලිංගික හිරිහැර, අකටයුතුකම් වලට බඳුන් වෙනවා.

 

ඇත්තටම ඇයි මේ?

ඒක හොඳ ප්‍රශ්නයක්. අන්න ඒ නිසා අපේ උත්සාහය වෙන්නේ ශ්‍රී ලාංකීය කාන්තාවට විඳින්න සිද්ධ වෙලා තියෙන මේ ලිංගික හිරිහැර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් තව ටිකක් දුරට කථාබහ කරන්න. විශේෂයෙන්ම කාන්තාවකට ඒ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන් මොනවද කියලා කථාබහ කරන්න. ඒ වගේම පිරිමියෙකුටත් ඒ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන් මොනවද කියලා කථාබහ කරන්න.

 

1. මොනවද මේ ලිංගික හිරිහැර?

සාමාන්‍යයෙන් ලිංගික හිරිහැර සහ අකටයුතුකම් කියන්නේ අපයෝජනයන් වගේ ලිංගික අපරාධයන්ට නෙවෙයි. හැබැයි එහෙම කියලා ලිංගික හිරිහැර වල බරපතල බව නම් කිසිසේත්ම අඩු වෙන්නෙ නෑ. බස් එකකදී සිද්ධ වෙන අනවශ්‍ය අතපත ගෑම්, ලිංගික අවයව පෙන්වීම්, ලිංගික අවයව ඇඟට තදකිරීම්, මිරිකීම් හෝ කෙනිත්තීම් සහ අවමන් කිරීම් කියන හැම දෙයක්ම ලිංගික හිරිහැර තමයි. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල මගින් පවත්වපු සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා ලංකාවේ කාන්තාවන් සියේට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවර, ලිංගික හිරිහැර වලට ලක් වෙනවා කියලා. කාන්තාවන්ට වෙනම කෝච්චි දාන්න වුනෙත් ඒකනේ.

එතනින් පස්සේ පාරේ තොටේ යනකොට පිරිමි විසින් කරන සූව දැමීම් නැත්නම් කැට් කෝලින්ග්, අසභ්‍ය කතා කීම්, දුරකථන අංක ඉල්ලීම්, අනවශ්‍ය විහිළු, ලිංගික අවයව පෙන්වීම් වල ඉඳලා බලහත්කාරයෙන් ස්පර්ෂ කරන්නට තැත් කිරීම් සහ බලහත්කාරකම් දක්වා දේවලුත් ලිංගික අතවර තමයි.

ඒ වගේම නිවසකදී, තමන්ගේම ස්වාමියා අතින් වුනත් ලිංගික අතවර වෙන්න පුළුවන්. ඒ කොහොමද කියලද අහන්නේ? ස්වාමියා වුනත් කාන්තාවගේ කැමැත්ත නැතුව ලිංගික එක්වීමකට යනවා නම්, බලහත්කාරී ලිංගික ක්‍රියාවන් වල නිරත වෙනවා නම් ඒක ලිංගික අතවරයක්. විවාහය කියන්නේ තමන්ට වුවමනා විදියට කාන්තාව ලිංගිකව පාවිච්චි කරන්න දෙන ලයිසන් එකක් නෙවෙයි.

දැන් මේ වගේ අවස්ථාවලදී මොනවද කරන්න පුළුවන්?

 

2. කාන්තාව අනිවාර්‍යයෙන්ම කථා කළ යුතුයි!

පොදු ප්‍රවාහනයේදී එහෙම නම් කාන්තාවක් තමන්ට මුහුණ පාන්නට සිද්ධ වෙන ලිංගික හිංසනයකදී කථා නොකරන්න යම් යම් හේතු තියෙනවා. එයින් එකක් තමයි හිංසකයා විසින් ප්‍රතිවදන් එල්ල කිරීම. ඒ කියන්නේ එක්කෝ කියයි “බස් එකේ යන්න බැරි නම් කාර් එකක් ගන්න” කියලා. එහෙම නැතිනම් කියයි “අත පත ගාන්න ඔයා මාර කෑල්ල කියලද හිතාගෙන ඉන්නේ කියලා. මේ මොන දේ කිවුවත් තමන්ට සිද්ධ වුණු හෝ සිද්ධ වෙන්න ගිය හිංසනයට විරුද්ධව කාන්තාවක් අනිවාර්‍යයෙන්ම කථා කළ යුතුයි. කෙනෙක් තමන්ව අනවශ්‍ය විදියට ස්පර්ෂ කරන්න තැත් කරනවා කියලා තේරෙනවා නම්, “අත ගන්න” කියලා කෙලින්ම කියන්න ශක්තිය කාන්තාවට තිබිය යුතුයි. ඒ වගේම වෙනත් කාන්තාවකට ඒ වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙන වෙලාවකදී වුනත් කාන්තා ඔබ ඒ වින්දිත කාන්තාවට අනිවාර්‍යයෙන්ම සහයෝගය දැක්විය යුතුයි.

 

3. පිරිමියා අනිවාර්‍යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි!

ඔව්, මේක අදාළ වෙන්නේ පිරිමින්ට. පොදු ප්‍රවාහනයේදී යම් කිසි තැනැත්තෙක් අතින් කාන්තාවකට යම් කිසි අතවරයක් සිද්ධ වෙනවා තමන් දකිනවා නම්, කාන්තාවක් තමන්ට සිද්ධ වෙන අතවරයක් සම්බන්ධයෙන් හඬ අවදි කරනවා නම්, මැටි පිළිම වගේ නොහිට ඒ සම්බන්ධයෙන් කථා කරන්න පිරිමින්ටත් වගකීමක් තියෙනවා. හැබැයි මේ කියන්නේ ඔය හිංසනය හරි අතවරය හරි කරන්න මුල් වුණු කෙනාව ඇදලා අරගෙන දෙකක් අනින එක නෙවෙයි. විශේෂයෙන්ම යම් කිසි අතවරයක් කාන්තාවකට කරන්න උත්සාහ කරලා, වැරදුණු තැන ඒ කාන්තාවට අපහාස කරනවා නම්, ආන්න එතනදී ඒ කාන්තාව වෙනුවෙන් අනික් පිරිමි නැගී සිටින්න ඕන. තමන්ට ඒ වෙනුවෙන් නැගී සිටින්න බැහැයි කියලා හිතෙනවා නම්, එතන ඉන්න බලය තියෙන කෙනෙක්ව දැනුවත් කිරීම හරි කරන්න පුළුවන්. ඒ කියන්නේ බස් එකක නම් කොන්දොස්තරවරයා.

 

4. පිරිමි සහ ගැහැණු විසින් වැරැද්ද ලිහිල් කිරීම නොකළ යුතුයි

මෙන්න මේ කාරණය පිරිමි වගේම ගැහැණුත් නොදැනුවත්වම සහ දැනුවත්වම කරන දෙයක්. සාමාන්‍යයෙන් ඕනෑම ලිංගික අපචාරයක්, හිංසනයක්, හිරිහැරයක් සම්බන්ධයෙන් කථා කරනකොට කාන්තාවගේ ඇඳුම, කාන්තාව තනිපංගලමේද යන්නේ කියන එක වගේ කාරණාත් සාකච්ඡාවට එනවා. සරලවම කිවුවොත් ගෑණු කොටට ඇඳලා යන නිසා අසහනකාරයෙක්ගේ මද කිපිලා මේ වගේ හිරිහැර, අතවර සිද්ධ වෙන බව කියන අය ඉන්නවා. ගෑණු තනියෙන් රෑ බෝවෙලා යන එන නිසා මේ වගේ හිරිහැර, අතවර සිද්ධ වෙන බව කියන අය ඉන්නවා. මේන්න මේ විදියේ දේවල් කියන අය ඇත්තටම කරන්නේ, සැබෑ ප්‍රශ්නය විතැන් කරන එක සහ අපරාධකරුවා කරපු දෙයෙහි බරපතලකම ලිහිල් කරන එක. ආන්න ඒ නිසා කරුණාකරලා තමන්ට ප්‍රශ්නයක් විසඳන්න මැදිහත් වෙන්න බැරි නම්, ඒ ප්‍රශ්නයේ බරපතලකම ලිහිල් කරන්නට හරි අපරාධකරුවාව සුද්ධ කරන්න හරි උත්සාහ නොකර පැත්තකට වෙලා ඉඳීම වටිනවා.

 

5. ආත්මාරක්ෂාව

මෙන්න මේක ඉතාම හොඳ, ප්‍රචලිත විය යුතු දෙයක්. ඒ තමයි විශේෂයෙන්ම කාන්තාවන්ට ආත්මාරක්ෂක පුහුණුව ලැබීම. ඇත්තටම ගොඩක් වෙලාවට කාන්තාවක් අතවරයට, හිරිහැරයට හෝ හිංසනයට ලක් වෙන්නේ, කාන්තාව පිරිමියාට වඩා කායික බලය අතින් දුර්වලයි කියන තැන ඉඳලා. ඒක හැම වෙලාවකම සියේට සීයක් ඇත්ත නෙවෙයි. හැබැයි බොහෝ දුරට ඇත්ත. ඒ නිසා කාන්තාවන්ට කුඩා කාලයේ ඉඳලම ආත්මාරක්ෂක සටන් පුහුණු වීම් කරන්න පුළුවන් නම්, ඔවුන්ට ඒක තමන්ට කරදරයක් සිද්ධ වෙන්න යන මොහොතකදී පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් කාන්තාවන්ගේ ආත්ම ශක්තිය වැඩිදියුණු වීමත් සිද්ධ වෙනවා. ඒ වගේම ඒක එදිනෙදා ජීවිතයට හොඳ ව්‍යායාමයකුත් වෙනවා.

 

6. අදාළ නීති ආයතන ඔස්සේ කටයුතු කිරීම

ගොඩක් දෙනෙක් පොලිසියට වගේ තැනකට යම් කාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සහ ඒ ඔස්සේ සිදුවෙන ක්‍රියාවලිය දකින්නේ කාලය නාස්තියක් සහ හිරිහැරයක් විදියට. ඒ නිසාම තමන්ට විඳින්න සිද්ධ වෙන ලිංගික හිරිහැරයකදී හෝ අතවරයකදී නීති ආයතන වල පිහිට පතන්න ගොඩක් කාන්තාවෝ පැකිළෙනවා. සමහර වෙලාවට පොලිසියට ගියොත් ඒත් තමන්ට සාධාරණය ඉෂ්ට වෙනවා වෙනුවට, තමන්ට අනවශ්‍ය කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන බයත් සමහරු තුළ තියෙනවා. හැබැයි තමන්ට මුහුණ පාන්නට සිද්ධ වෙන ලිංගික හිරිහැරයකදී හෝ අතවරයකදී, ඒ සම්බන්ධයෙන් අදාළ නීති ආයතන වලට පැමිණිලි කිරීම ඔස්සේ මේ වගේ ක්‍රියාවන් නැවත නැවත සිදුවීම අවම කරන්න දායක වෙන්න පුළුවන්. ඒ වගේම 1929  කියන පැය විසිහතරම ක්‍රියාත්මක වන දුරකථන අංකය ඔස්සේ වුනත්, කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳව පැමිණිලි කරන්න පුළුවන්.

 

7. කොටියා ආවෝ!

මේකත් අපි එක කාරණයක් විදියට ඇතුළත් කරනවා. ඒ තමයි හැබෑවටම සිද්ධ වෙන ලිංගික හිංසනයක්, හිරිහැරයක් හෝ අතවරයක් හඳුනා ගැනීමට හැකියාව තිබීම. ඇත්තටම මෙහෙම දෙයක් කියන්න ලොකු හේතුවක් තියෙනවා. වර්තමානයේ බොහෝ වෙලාවට මේ ලිංගික හිංසනයන් හෝ අතවරයන් සම්බන්ධයෙන් කථා කරනකොට, ඒක ‘පිරිමියාට එදිරිව කාන්තාව’ කියන තැනට ලඝු වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය එහෙම විසඳන්න බෑ. ඒකට පිරිමියාත් සක්‍රියව සහභාගී විය යුතුයි. ආන්න ඒ නිසා කාන්තාවට බැහැ හැම පිරිමියෙක්ම අපයෝජකයෙක්ය කියන තැන ඉඳලා මේ දිහා බලන්න. ඇත්තටම එහෙම නෑ. ඒ නිසා සැබෑ ලිංගික හිංසනයක් සහ අත්වැරදීමක් හෝ අහඹු සිදුවීමක් හඳුනා ගන්න කාන්තාවකට හැකි වෙන්න වුවමනායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *