මෑතකදී සිදුවුණ දරුණුතම ගුවන් අනතුරු

ගුවන් යානා කියන්නේ ප්‍රවාහන මාධ්‍ය අතරින් අනතුරු අඩුම මාධ්‍යයක්. ඒ නිසාම මෑත කාලිනව ඇතිවුණ ඉතියෝපියානු ගුවන් අනතුර ලෝකය පුරා කතාබහට ලක් වුණා. ගුවන් යානාවක් හදිසියේම කඩා වැටුනොත් නම් ගුවන් යානාවේ සිටින මගීන් බොහෝවිට ජීවිතක්ෂයට පත් වෙනවා. මේ විදියට ගුවන් අනතුරු කිහිපයක්ම මේ අවුරුද්දේ වෙලා තියෙනවා. ඉතින් මෑත ඉතිහාසයේ සිදුවුණ විශාලතම ගුවන් අනතුරු 7 ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනි කියලා ලයිෆි අපි හිතුවා. අපි ඒ ගැන ටිකක් හොයා බලමු.

 

1. Ethiopian Airlines Flight 302

Image Source – economist.com

ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට කෙන්යාවේ නයිරෝබි දක්වා 2019 මාර්තු 10 වෙනිදා ගුවන් යානයක් පිටත් වුණා. නයිරෝබි ගුවන් තොටේ ඒ යානය එනතෙක් බලාගෙන සිටි කිසිවෙකුට ඒ යානය හෝ යානයේ ගමන් කළ කිසිවෙකු නැවත කිසිදාක හමුවූයේ නෑ. බෝයින් 737 මැක්ස් කාණ්ඩයේ එම ගුවන් යානාව කාර්මික දෝෂයක් නිසා ගුවන් ගත වී මිනිත්තු 7කින් පමණ අඩිස් අබාබාවට කිට්ටු පාලු පළාතකදී මහපොළව සිපගත්තා. එම යානයේ ගමන් ගත් මගීන් 149ක් සහ කාර්යමණ්ඩලයේ 8ක් එතැනම ජීවිතක්ෂයට පත්වුණා. එම බෝයින් 737 මැක්ස් යනු බෝයින් සමාගමේ අලුත්ම මාදිලියේ ගුවන් යානයක්.

මේ අනතුරත් සමගම තාක්ෂණික අතින් ගුවන් යානයේ ආරක්ෂාව ගැන සැක සංකා මතු වුණා. යුරෝපීය සංගමය, චීනය වැනි දැවැන්තයින් ඔවුන්ගේ ගුවන් තලේ බෝයින් 737 මැක්ස් ධාවනය තහනම් කළා. අවසානයේ ලොව එතෙක් ගුවන් ගතවී තිබුණ බෝයින් 737 මැක්ස් යානා සියල්ලම ගාල්කර තැබීමට ගුවන් සමාගම් වලට  සිදුවුණා.

 

2. Colombia DC-3 අනතුර

ඩී සී 3 කියන්නේ කුඩා ගුවන් යානාවක්. කොළොම්බියාව තුළ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුන මේ ගුවන් යානාව අනතුරට පත් වුනේ 2019 මාර්තු 9 වැනිදා. යානයේ ගිය පිරිස 14යි. ඒ අනතුරින් 14 දෙනාම ජීවිතක්ෂයට පත් වුනා. මේ ගුවන් යානාව සෑහෙන පරණ එකක්. විස්තර වල දැක්වෙන විදියට මේක 1945 දී හදාපු එකක්. ගුවන් යානාව අතරමගදි කාර්මික දෝෂයකට ලක් වෙලා කොටසකින් දුමක් නගිනවා. එවිට ගුවන් යානය හැසිරවූ නියමුවන් ගුවන් යානය හදිසි ගොඩබෑමක් කරන්න යනවා. අවාසනාවට වගේ ගුවන් යානය එතකොට තිබුනේ විශාල පාම් වත්තක් උඩ. අවසානයේ පාරක් හොයාගෙන පාරට බාන්න යද්දි තමයි නරක විදියට පාර උඩටම යානය පතිත වෙලා අනතුරට ලක්වෙන්නේ.

 

3. Atlas Air Flight 3591

Image Source – bnonews.com

ඇට්ලස් එයා කියලා හඳුන්වපු බෝයින් 767-375 වර්ගයේ මේ ගුවන් යානය කඩා වැටුනේ මේ අවුරුද්දේ පෙබරවාරි 23 වැනිදා. මඩවගුරකට කඩන් වැටුන මේ යානය ඇමසන් සහ ඇමරිකානු තැපැල් බඩු ප්‍රවාහනයට යොදාගත් එකක්. ඇමරිකාවේ හූස්ටන් වල ජෝජ් බුශ් ගුවන් තොටට බාන්න යද්දි තමයි මේ ගුවන් අනතුර වෙලා තිබුණේ. මේක බඩු බාහිරාදිය ඉක්මනින් ගෙනියන්න තියෙන එයා කාගෝ වලට පමණක් යොදාගන්න බඩු ප්‍රවාහන ගුවන් ගමනක්. ඒ උනත් මේ යානාවේ සේවය කළ තුන් දෙනෙක් මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.

 

4. 2019 Saha Airlines Boeing 707

Image Source – en.wikipedia.org

පසුගිය ජනවාරි මාසයේදී තමයි මේ අනතුර සිද්ධ වුණේ. අනතුරට පත් ගුවන් යානාව ඉරානය තුළ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුන එකක්. මස් ප්‍රවාහනයට යොදාගත් මෙම ගුවන් යානාව බෝයින් 707 වර්ගයේ එකක්. ඉරානයේ බිෂ්කෙක් ආසන්නයේ තමයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ. අවුරුදු 45ක් පමණ පැරණි යානාවේ කාර්මික දෝෂයක් නිසා මේ විදියට අනතුරට ලක් වෙන්න ඇති කියලා තමයි තාක්ෂණික අංශ මත පළ කරලා තිබුණෙ. ගුවන් යානාවේ ගමන් ගත් 16 දෙනාගෙන් 15ක්ම මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.

 

5. Fly Jamaica Airways Flight 256

2018 නොවැම්බර් 9 වැනිදා ගයානාවේ සිට ටොරන්ටෝ දක්වා රාත්‍රියේදී ගමන්ගත් ජැමෙයිකන් ගුවන් සමාගමට අයිති මෙම යානාව ගුවන්ගත වුනෙත් මදක් ප්‍රමාද වෙලා. ගුවන් ගත වෙලා විනාඩි 45කින් යානාව ආයෙත් හරවගෙන ගුවන් යානාව නග්ගපු ගයානා එයාපෝට් එකටම ආවා. ඇවිත් ගුවන් යානය ගොඩබාන්න උත්සාහ කළා. ඒත් නියම වෙලාවට ගුවන් යානය නවත්වන වැඩිපිළිවෙල හරිගියේ නැහැ. ගුවන් යානය ගුවන් පථය ඉක්මවලා ගිහින් වැටකත් වැදුණා. වැදිලා මහ වැලි ගොඩක් උඩ නතර වුණා. මෙයින් කම්පනයට පත් වුණු 83 හැවිරිදි කාන්තාවක් මිය පරලොව ගියා. මේ සම්පූර්ණ සිදුවීමෙන් කිහිපදෙනෙක් සුලු තුවාල ලැබුවා ගැස්සීම් නිසා. ඒත් ගුවන් යානයේ ගිය 128 දෙනාගෙන් 127 දෙනෙකුගේම ජීවිත ගැලවුණා. ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වීම, එම නිසා නැවත හරවාගෙන ඒම, ඉන් පසු ගුවන් යානය ගුවන් පථය ඉක්මවා යෑම වගේම අනතුරින් ජීවිත ආරක්ෂාවීම සැබැවින්ම චිත්‍රපටයක වගේ අහඹු සිදුවීම් රැසකින් සමන්විත වුණා. ඒ නිසා මේක මහත් ආශ්චර්යයක් කියලා ගුවන් යානා සම්බන්ධ අංශවල අය දක්වා තිබුණා.

 

6. Lion Air Flight 610

Image Source – stabroeknews.com

මේ ගුවන් අනතුර සහ මෑතකදි සිදුවුන විශාලතම ගුවන් අනතුර වුන ඉතියෝපියන් එයා යන අනතුරු දෙකටම සම්බන්ධ වුණේ එකම මාදිලියේ බෝයින් 737-8 මැක්ස් ගුවන් යානාවක්. 2018 වසරේ ඔක්තෝබරයේදී ඉන්දුනීසියාවේ ජාකර්තා වලින් ඉහළට නැගුන මේ යානාව පිනාන් කියන ඉන්දුනීසියානු ගුවන් තොටුපල බලා තමයි පිටත් වුණේ. ගුවන් යානාව ඉහළට නැගලා විනාඩි 13ක් ඇතුළත ගුවන්යානාව හැසිරවීමේ දෝෂයක් නිසා ගුවන් යානය මුහුදට කඩා වැටුණා. ඒ ලයන් එයා යානාවේ ගිය 186 දෙනෙක් එවෙලේම ජීවිතක්ෂයට පත් වුණා. ඉන්දුනීසියාව සහ ලයන් එයා ඒ තරම්ම ගුවන් යානා වල ආරක්ෂාව ගැන සැලකිලිමත් නැහැය කියලා ඇමරිකානු මාධ්‍ය විසින් උලුප්පා දක්වලා තිබුණා. ඒත් ඊට මාස 5කට පස්සේ ඒ විදියටම ඉතියෝපියානු ගුවන් යානාව කඩන් වැටුණා. ඉන් පස්සේ බෝයින් සමාගමේ මැක්ස් ගුවන් යානා වල ආරක්ෂාව ගැන ලොව පුරා කතාබහ ඇතිවුණා.

 

7. Biman Bangladesh Airlines Flight 147

මේක බංග්ලාදේශයේ ඩකා වලින් පටන් අරන් චිතගොන් දක්වා ගිහින් එතැනින් ඩුබල් බලා යන ගුවන් යානාවක්. මේ ගුවන් යානාවට ඩකා වලින් ඇතුළුවුණු සෙල්ලම් පිස්තෝලයක් අතින් ගත් අයෙක් ගුවන් යානයේ පාලනය තමුන් අතට ගන්නට උත්සාහ කළා. ඒ අවස්ථාවේ ගුවන් යානය ඩකා ගුවන් තොටේ නවත්වලයි තිබුණේ. එසැනින් ක්‍රියාත්මක වුණු බංග්ලාදේශ කමාන්ඩෝ භටයින් මේ පුද්ගලයාව ජීවිතක්ෂයට පත් කරලා පාලනය සියතට ගත්තා. මේ අවස්ථාවේ ගුවන් යානාවේ මගීන් 134ක් සහ සේවකයින් 14ක් උන්නා. ගුවන්තොටුපලේදි මගියෙක් විදියට ඇතුල්වෙද්දි ගමන් මලු මෙන්ම මුලු සිරුරම පරීක්ෂා කරනවා. එවැනි තත්ත්වයක් යටතේ මේ පුද්ගලයා යානාව ඇතුළට ගිය එක එක්තරා පුදුමයක්.

බස් අනතුරු සහ දුම්රිය අනතුරු වළක්වාගන්නවා වගේ ලේසියෙන් ගුවන් අනතුරු වළක්වා ගන්න අමාරුයි. ගුවන් ආරක්ෂාව සම්බන්ධ ලෝකයේ ගුවන් යානා කාර්යමණ්ඩල පුහුණු කිරිමේ සිටම ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා. ගුවන් යානා නිපදවීමේදිත් ඒ වගේ ප්‍රමිතීන් තියෙනවා. මේ හැමෝම තාක්ෂණයත් එක්ක ගුවන් යානා අනතුරු අඩුකරගන්න ලොකු ලොකු වැඩපිළිවෙලවල් ගෙනියනවා. ගුවන් යානාවලින් ගමන් ගන්නා මගීන් ප්‍රමාණය බොහෝ වැඩිවුනා මෑත කාලයේදී. ඉන්දියාවේ පවා දැන් කිලෝමීටර දාහක් හමාරක් යන්න කෝච්චි වෙනුවට ගොඩක් මිනිස්සු ගුවන් ගමන් පාවිච්චි කරන්න අරගෙන තියෙනවා. ඒ වැඩිවුණ ගුවන් මගීන්ට සාපේක්ෂව ගුවන් අනතුරු වලින් සිදුවන මරණ වැඩිවෙලා නැහැ කියලා වාර්තා බැලුවාම පේනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *