මඤ්ඤොක්කා කිව්වම අපිට මතක් වෙන්නෙ කහපාටට තම්බලා ලුණු මිරිස් හරි සැර කොච්චි සම්බෝලයක් එක්ක හරි කන හැටිනේ. එතනින් එහාට ගිහිල්ලා මඤ්ඤොක්කා වලින් හදන්න පුළුවන් තව රස කෑම ටිකක් ඔයාලටත් කියාල දෙන්නයි මේ හදන්නෙ.
1. මඤ්ඤොක්කා සැලඩ්
හෑ. ඒ මොනාද? ඔව් ඔව්. මේ සැලඩ් එක හදන්නෙ මඤ්ඤොක්කා වලින් තමා. ඔන්න එහෙනම් අහගන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 200
- රතුළූණු ගෙඩි 6
- තක්කාලි ගෙඩි 1
- අමුමිරිස් කරල් 2
- බෙල් පෙපර් (කොළ, රතු)
- මයෝනිස් මේස හැඳි 5
- තක්කාලි සෝස් මේස හැඳි 1
- දෙහි යුෂ ස්වල්පයක්
- රස අනුව ලුණු
- පාන්පිටි ස්වල්පයක්
- බැද ගැනීමට තෙල්
- තම්බාගත් මඤ්ඤොක්කා ටික කුඩා තීරු වලට කපාගන්න.
- මේකට පාන්පිටි ස්වල්පයක් තවරලා බැදගන්න.
- රතුළූණු, අමුමිරිස්, තක්කාලි, බෙල් පෙපර්, හීනියට කොටුවට කපාගන්න.
- බෝල් එකක් අරගෙන ඒකට මයෝනිස් සෝස් දාලා තව තක්කාලි සෝස් එහෙමත් දාලා බැදගත්තු මඤ්ඤොක්කා ටික එකතු කරගන්න.
- ඊට පස්සෙ ඒකට කපාගත්තු එළවලු ටිකත් දාල දෙහි යුෂ හා ලුණු එකතු කරලා හොඳට කලවම් කරන්න.
2. මඤ්ඤොක්කා පිට්ටු
කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ. හැබැයි මඤ්ඤොක්කා පිට්ටු ගිලපු කෙනෙක් ගොළු වෙලා ඉන්නවනම් ඒ වෙන මොකුත් නිසා නෙමෙයි, මඤ්ඤොක්කා පිට්ටු වල රස විස්තර කරන්න වචන ගළපන්න බැරි නිසා.
අවශ්‍ය ද්‍රව්‍ය
- වියළාගත් මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200
- හාල්පිටි ග්‍රෑම් 100
- ගාගත් පොල් ගෙඩි 1
- උණු වතුර ස්වල්පයක්
- මුලින්ම පොතු ඇරලා කපලා හෝදගත්තු මඤ්ඤොක්කා ටික පොඩියට වෙන්න කපලා අව්වේ වේලගන්න.
- ඊට පස්සෙ වේලගත්තු මඤ්ඤොක්කා ටික කොටාගෙන, හලාගෙන මඤ්ඤොක්කා පිටි ටික හදාගන්න.
- ඊට පස්සෙ භාජනයක් අරගෙන මඤ්ඤොක්කා පිටි හා හාල්පිටි එකතු කරන්න.
- ඒකට ගාගත්තු පොල්, ලුණු සහ වතුර එකතු කරලා කැට හිටින විදියට කලවම් කරගන්න.
- මේ විදියට කැට කරගත්තු මිශ්‍රණය පිට්ටු බම්බුවකට දාලා තම්බ ගන්න.
3. මඤ්ඤොක්කා සුප්
සුප් හදන්න ගියාම එළවලු හොය හොය ඉඳපු කාලෙ ගියා. වෙනසකටත් එක්ක මෙන්න මේ සුප් එක හදලා දෙන්න. ගෙදර උදවිය හැමදාම උනත් ඉල්ලයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- මඤ්ඤොක්කා ග්‍රෑම් 200
- රතුළූණු ගෙඩි 1
- පරිප්පු ග්‍රෑම් 50
- සුදුළූණු බික් 3
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- කරපිංචා ස්වල්පයක්
- පොල්කිරි කෝප්ප 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- මුලින්ම පොතු ඇරපු මඤ්ඤොක්කා ටික භාජනේකට දාගන්න.
- ඒකට පරිප්පු, හීනියට කපාගත්තු රතුළූණු, සුදුළූණු, කරපිංචා එකතු කරන්න.
- ඒකට තුනපහ කුඩු එකතු කරලා වතුර ටිකක් දාලා හොඳට තම්බගන්න.
- ඊට පස්සෙ තම්බගත්තු මිශ්‍රණය නිවෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න.
- පස්සෙ ඒක පෙරාගෙන, පෙරාගත්තු උකු මිශ්‍රණයට පොල් කිරි ටික දාලා ලිපේ තියන්න.
- ඊට පස්සෙ රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරලා ලිපෙන් බාගන්න.
4. මඤ්ඤොක්කා රොටී
හැමදාම කන පොල් රොටියෙන් එහාට ගිය රොටියක් මේක…
අවශ්‍ය ද්‍රව්‍ය
- මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200 (මඤ්ඤොක්කා පිට්ටු සඳහා පිළියෙල කරගත්)
- පාන්පිටි ග්‍රෑම් 100
- ගාගත් පොල් ගෙඩි 1
- රම්පේ, කරපිංචා ස්වල්පයක්
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3ක්
- සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 50ක්
- බටර් ස්වල්පයක්
- මඤ්ඤොක්කා පිටි හා පාන්පිටි මිශ්‍ර කරන්න
- ඒකට බී ළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස් එකතු කරන්න.
- ඒකට ගාගත් පොල්, ලුණු හා බටර් එක්කර හොඳින් අනාගන්න.
- ඕනෙනම් වතුර ටිකකුත් දාගන්න
- ඊට පස්සෙ මේ මිශ්‍රණය කැමති විදියට කොටස් වෙන් කරලා රොටී හදාගන්න.
- එහෙම හදාගත්තු රොටිය රත් වුණු තැටියක දමා දෙපැත්ත පුච්චගන්න.
5. මඤ්ඤොක්කා බයිට්
බයිට් කර කර බයිට් වෙවී කන්න වෙනස්ම කෑමක් ගෙනාවෙ ඔන්න. නිකන් ඉන්න වෙලාවට හදලා හප හප ඉන්න කියාපු බයිට් එක.
අවශ්‍ය ද්‍රව්‍ය
- පිරිසිදු කරගත් මඤ්ඤොක්කා පොතු
- ලුණු
- මිරිස් කුඩු
- බැද ගැනීමට තෙල්
- මඤ්ඤොක්කා පොතු අයින් කරලා දිග අතට තීරු කපාගන්න.
- ඊට පස්සෙ ඒ ටික බාගෙට තම්බගන්න.
- ඊට පස්සෙ ඒ ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.
- බැදගත්තු මඤ්ඤොක්කා තීරු වලට ලුණු කුඩු හා මිරිස්කුඩු ඉහලා කෑමට ගන්න.
6. මඤ්ඤොක්කා කට්ලට්
කට්ලට් ටිකක් හදාගන්නත් ඕනේ. ඒත් අලයි මාළුයි නෑනෙ. මොකද කරන්නෙ?
අනේ මොකුත් ඕනෙ නෑ මඤ්ඤොක්කා තියෙනවනම්. මෙන්න අපෙන් රසම රස මඤ්ඤොක්කා කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- මඤ්ඤොක්කා ග්‍රෑම් 250
- රතුළූණු ගෙඩි 5
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3
- සිහින්ව ලියාගත් සුදුළූණු බික් 2
- පාන්පිටි ග්‍රෑම් 50
- පාන්කුඩු ග්‍රෑම් 75
- බිත්තර 1
- කහකුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු
- ලුණු කුඩු
- කුරුඳුපොතු
- බැදගැනීමට තෙල්
- හොඳට පිරිසිදු කරගත් මඤ්ඤොක්කා හොඳින් තම්බලා පොඩි කරගන්න.
- ඊට පස්සෙ වෙන භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා රත් වෙන්න ඇරලා රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, රතුළූණු, අමුමිරිස්, සුදු ළූණු එකතු කරගන්න.
- ඊට පස්සෙ ඒකට කහකුඩු, ගම්මිරිස් කුඩු එකතු කරලා පොඩි කරගත් මඤ්ඤොක්කා ටික එකතු කරන්න.
- ඊට පස්සෙ ලුණු දාලා රස බලල ලිපෙන් බාගන්න.
- ලිපෙන් බාගත්තු මිශ්‍රණය නිවෙන්න තියලා කට්ලට් බෝල හදාගන්න.
- ඊට පස්සෙ පාන්පිටි හා බිත්තරේ එකතු කරලා උකු බැටර් එකක් හදාගෙන කට්ලට් ඒකෙ දවටලා, පාන්කුඩු එකේ දාලා ගැඹුරු තෙලේ බැදලා ගන්න.
7. මඤ්ඤොක්කා ව්‍යාංජනය
හැම විදියටම හදපු එකේ කරි එකක් වගෙත් හදමුද මඤ්ඤොක්කා?
අවශ්‍ය ද්‍රව්‍ය
- මඤ්ඤොක්කා ග්‍රෑම් 500
- රතුළූණු ග්රැම් 75
- අමුමිරිස් කරල් 3
- සුදුළූණු බික් 3
- කුරුඳුපොතු කෑලි 1
- කහකුඩු තේ හැඳි 1/2
- තුනපහකුඩු තේ හැඳි 1/2
- මිටිකිරි කෝප්ප 1
- දියකිරි කෝප්ප 1
- රස අනුව ලුණු
- රම්පේ / කරපිංචා
- මුලින්ම මඤ්ඤොක්කා ටික පොතු අයින් කරලා හෝදලා කපාගන්න.
- ඊට පස්සෙ භාජනයක් අරගෙන මඤ්ඤොක්කා, හීනියට කපාගත්තු රතුළූණු, අමුමිරිස්, සුදුළූණු, අබ, කුරුඳුපොතු, කහකුඩු, තුනපහ කුඩු, රම්පේ, කරපිංචා දාලා දෙවෙනි කිරෙන් තම්බගන්න (දිය කිරෙන්).
- ඊට පස්සෙ දෙවෙනි කිර හොඳට හිඳුනට පස්සෙ පළවෙනි කිර (මිටිකිරි) එකතු කරලා හොඳට උතුරන්න ඇරලා ලිපෙන් බාගන්න.
Leave a Reply