ලංකාවේ සුප්‍රසිද්ධ තනිකඩ පිරිමි

අපි අද කතා කරන්න යන්නේ තාමත් තනිකඩ ලංකාවේ සුප්‍රකට පිරිමි චරිත කීපයක් ගැන.  හැබැයි ඉරණම්කාරී කොයි වෙලේ හරි මුණ ගැහෙන්න පුළුවන් නිසා මේ අය හෙට අනිද්දට කසාදයක් බැඳගනියිද කියන්නත් බෑ, එහෙම වුණොත් මේ ආටිකල් එක ලියපු අපිටයි, කියවපු ඔයාටයි ඇඬෙයි නේහ්. යම් විදිහකට එහෙම අවස්ථාවක් ආවොත් අපි ඒ අයගේ නම් මේ ආටිකල් එකෙන් ඉවත් කරනවා කියලා දිවුරා පොරොන්දු වෙනවා. ඔව් සත්තයි. හරි අපි දැන් අපේ තනිකඩ ලැයිස්තුව පටාන් ගමු.

 

1. එඩ්වින් ආරියදාස

Image Source – youtube.com

මේ තනිකඩ ලැයිස්තුවේ මුලටම ඉන්න පුද්ගලයා තමයි කලා කීර්ති එඩ්වින් ආරියදාස මහත්තයා. එතුමාගේ දැන් වයස අවුරුදු 96 ක්. එතුමා අපට ඉන්න ද්විභාෂික ජ්‍යෙෂ්ඨතම ජනමාධ්‍යවේදියෙක්. එතුමා කියන විදිහට එතුමාට පවුලේ වැඩිමල් සහෝදර සහෝදරියන් පස් දෙනෙක් ඉඳලා තියෙනවා. කුඩා කාලයේ ඉඳන්ම බාලයා නිසා ඒ අයගේ දැඩි ආදරයට එතුමාව ලක් වෙලා තියෙනවා. තමන්ට තරුණ කාලයේ පෙම්වතියන් කිහිප දෙනෙක් සිටියත් විවාහ වීමට එතුමා වැඩි කැමැත්තක් දක්වලා නෑ. ප්‍රතිඵලය ඉතින් වයස අවුරුදු 96 වෙනකනුත් එතුමා තවම තනිකඩයි. නමුත් එතුමා තවමත් තරුණයෙකුගේ ජවයෙන් ඉගෙනීම් කටයුතුවල යෙදෙනවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ ආදරණීය ගුරුතුමා එතුමා.

 

 

2. සුනිල් ආරියරත්න

Image Source – youtube.com

ලංකාවේ ජනප්‍රියතම ගී පද රචකයා කවුද කියලා ඇහුවොත් බොහොමයක් දෙනෙක් උත්තර දෙන්නේ ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න කියලා. නන්දා මාලිනී ගායනා කරන ප්‍රේමණීය ගීත බොහෝ ගණනක් ලියවුණේ එතුමාගේ පන්හිඳෙන්. නමුත් එතුමාත් තවම තනිකඩයි. මේ නිසාමද මන්දා එතුමාගේ එක් ගී පද මාලා පොතක් නම් වුණේ “තනි යහනේදී” කියලා. සරසවි කාලයේ එතුමාට පෙම් සබඳතා කිහිපයක් තිබිලා තියෙනවා. නමුත් කාලයත් සමගම ඒවා නැති වෙලා. සමහර පෙම්වතියන්ගේ දරුවන්ගේ විවාහවලදි සාක්කියට අත්සන් කරන්නත් තමන්ට ආරාධනා ලැබුණා කියලා එතුමා කියන්නේ හිනා වෙවී.

 

3. මංගල සමරවීර

අපේ මුදල් ඇමතිතුමාවත් අපි මේ ලිස්ට් එකට දැම්මා. පාර්ලිමේන්තුවේ එතුමාගේ වයස නියෝජනය කරන අයගෙන් තනිකඩව ඉන්න එකම චරිතය එතුමා. මේ නිසාම විවිධ අය විවිධ කතා එතුමාට කියනවා. ඒ වුණාට එතුමා නම් ඒ කතා සත පහකට ගණන් ගන්නේ නෑ. ඒ වගේම සමහර අවස්ථාවල ඒ කරන චෝදනාවලට බොහොම කෙලින් පිළිතුරු දීපු අවස්ථාත් අපිට දකින්න පුළුවන්. මේ නිසාම ෆේස්බුක්වල හුවමාරු වෙන විවිධ ඡායාරූප සඳහාත් එතුමාගේ රූපය නැතුවම බැරි වෙලා තියෙනවා.

 

4. දයාන් විතාරණ

Image Source – youtube.com

“මගේ ජීවිතේ සතුට රැඳී තිබුණේ වෙන කෙනෙකුන්ගේ නෙතු සඟලේ යැයි, හසරැල්ලේ යැයි සිතුවේ නෑ… මට දැනුනේ නෑ ඔබ දකිනතුරා” මේ වගේ බොහෝම  ආදරය වෑහෙන ගීත කීපයක් ගායනා කරලා තියෙන දයාන් විතාරණ ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය වුණේ ඡායාරූප ශිල්පියෙක් විදිහට. දයාන් තමන්ගේ මවට ඉතාම ආදරය කළ කෙනෙක්, අම්මා මිය යනතුරු ඇයට උපස්ථාන කරපු දයාන් විවාහයක් ගැන සිතුවේ නෑ. දැන් නම් දයාන් කියන්නේ තමන් ජීවිතයේ අනිත්‍ය ස්වභාවය තේරුම් අරන් ඉන්න නිසා විවාහයක් ගැන සිතන්නේ නෑ කියලා.

 

5. රන්ජන් රාමනායක

Image Source – newsfirst.lk

රන්ජන් රාමනායක කියන්නේ පාර්ලිමේන්තු ගිය අපේ රටේ සිනමාවේ සුපිරි වීරයා. සමහරු කියන විදිහට නම් රන්ජන් පාර්ලිමේන්තුව ඇතුළේ කරන්නෙත් රඟපෑමක්. ඒවා පැත්තක දාමුකෝ ඉතින්. රන්ජන් ඇමතිතුමත් මේ වෙද්දි තනිකඩයි. හැබැයි එතුමා කියන විදිහට එතුමා විවාහ වෙන්නේ නෑලු. තමන්ගේ මුළු ජීවිතයම රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැපකරනවලු. “මට රකින්නට පරපුරක් නැත” කියලා ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කියපු කතාවක් ‍රන්ජන් ඇමතිතුමා කියනවා. හැබැයි සිනමාවට ආපු කාලේ රන්ජන්ගේ පෙම් සම්බන්ධතාවයක් දිල්හානි අශෝකමාලා එක්ක තිබ්බලු. විවිධ හේතු උඩ ඒ ප්‍රේම සම්බන්ධතාවය කැඩී යාමත් එක්කම තමන්ට වෙන ප්‍රේම සම්බන්ධකම් එපා වුණා කියලා රන්ජන් පත්තරවලට කියලා තිබ්බා. මේ කොහොම වුණත් පාර්ලිමේන්තුව තුළදි රන්ජන් ඇමතිතුමයි සමහර කාන්තාවෝ ගැනයි කට කැඩිච්ච කතා විපක්ෂය පැත්තෙන් ඇහෙනවා.

 

6. සනත් ගුණතිලක

Image Source – youtube.com

සනත් ගුණතිලක කියන්නෙත් අපේ සිනමාවේ එක් යුගයක සිහින කුමරෙක්. මේ නිසාම බොහෝ නිළියන්ගේ ආදරය සනත් ගුණතිලකට ලැබුණා. සිනමාවට එන්න කලින් සනත්ට ප්‍රේම සම්බන්ධතා කීපයක් තිබිලා තියෙනවා. සමහර පෙම්වතියන් වෙනුවෙන් තමන් පිස්සෙක් වගේ ආදරය කරපු බව සනත් කියනවා. නමුත් ඒ පෙම් සබඳතාවලට සනත්ගේ නිවසෙන් අනුමැතිය හිමි වෙන්නේ නෑ. සිනමාවට පිවිසියාට පස්සේ සනත් තමන්ගේ ජීවිතයේ විවිධ කාලවලදි විවිධ නිළියන් සමග ප්‍රේම සබඳතා ගොඩ නගා ගන්නවා. ඒ අතරින් ඔහු දැඩිව ප්‍රේම කරන්නේ “අනුෂ්කා මැදිවක” කියන නිළියට. නමුත් ඒ ප්‍රේමයට අනුෂ්කාගේ ගෙදරින් කැමැත්තක් දක්වන්නේ නෑ. නමුත් අනුෂ්කාගේ නිවසෙන් තමන්ගේම දරුවෙක්ට වගේ සනත්ට සලකනවා. පස්සේ කාලෙක මාලිනි ෆොන්සේකා සමගත් සනත්ගේ ප්‍රේමයක් ඇති වෙනවා. ඇය නිෂ්පාදනය කරපු “සසර චේතනා” චිත්‍රපටියට සනත් උදව් කරනවා. මේ කාලයේ සමීපව වැඩ කිරීමෙන් සනත්ව තමන්ට නොගැලපෙනවා කියලා මාලිනී හිතුවා කියලයි සනත් කියන්නේ. ඒත් එක්කම ඒ ප්‍රේමයටත් තිත තැබෙනවා. සනත් සහ සබීතා පෙරේරා අතර තිබ්බ ප්‍රේමයත් කාලයත් සමග නිම වෙනවා. සනත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ උපදේශකයෙකු බවට පත්වීමත් එක්ක තවත් කතාවක් මැවෙනවා. කොහොම වුණත් අද වෙනකන් සනතුත් තනිකඩයි.

සනත්, සබීතාගේ වගේම රන්ජන් දිල්හානිගේ නොකෙරුණු විවාහ ගැන අපි කලින් කතා කළා. මේ ඒ ලිපියේ ලින්ක් එක.

එහෙනම් ඉතින් අපිට මේ ලිස්ට් එකට රිංගවන්න බැරිවුණු තනිකඩයෝ ගැන කමෙන්ට් කරන්න ඕන හොඳේ. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා ඉතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *