ඔයා ගාව ගඳයිද? ඒකට මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් ගෑණු පිරිමි භේදයකින් තොරවම බොහොම අප්සට් සහගත තත්ත්වයක් තමයි ශරීරයෙන් නරක ගන්ධයක් පිට වීම. මේකේ ලොකුම කේස් එක වෙන්නේ, සාමාන්‍යයෙන් අපේ ශරීරය ගඳ ගහනවා කියන එක අපිට නොතේරෙන එක. ඒක තේරෙන්නේ වට පිට ඉන්න උදවියට. එහෙම වට පිට ඉන්න උදවිය ගොඩක් වෙලාවට ඇඟිල්ලෙන් ඇනලා කියන්නෙ නෑ “ඔයා ගාව ගඳයි ඒයි” කියලා. හැබැයි ඉතින් පොඩ්ඩක් අපෙන් ඈත් වෙලා ඉඳී. අපිව මග අරී. ඉතින් මේ ගඳ ගහන එක නිසා තමන්ට සමාජෙන් කොන් වෙන්න සිද්ධ වෙන එක බොහොම කණගාටුදායක දෙයක්. ඒත් මේ ශරීරයෙන් නරක ගඳ පිටවීම කියන්නේ වළක්වා ගන්න බැරි තත්ත්වයක් නෙවෙයි. අන්න ඒක තමයි සුබ ආරංචිය. හැබැයි ඉතින් එහෙම ගඳ ගහන එක වළක්වා ගන්න නම් සමහර නරක පුරුදු නවත්තා ගන්න වගේම, සමහර හොඳ පුරුදු අමුතුවෙන් පුරුදු වෙන්නත් සිද්ධ වේවි.

මේ, ගඳ ගහන කොල්ලන්, කෙල්ලන් වෙනුවෙන් ගඳ නැති කරගන්න අපි ලබාදෙන අත්වැලක්!!!

 

1. දවසකට සැරයක් හරි නෑමක් හෝ සෝදාගැනීමක්!

ඔව්, සමහරු නම් මොනවා හරි මැටි කථාවක් කියලා දවස ගාණේ නානවා. හැබැයි අපි මේ කියන්නේ එහෙම නාන එක ගැන නෙවෙයි. සම්පූර්ණයෙන් ඇඟ තෙමෙන්න, ඔලුව තෙමෙන්න නාන එක ගැන. හොඳට කුණු අතුල්ලලා නාගන්න එක අනිවාර්‍යයෙන්ම කරන්න ඕන දෙයක්. හැමදාම නාන එක අනිවාර්‍ය නෑ. හැබැයි හැමදාම බොඩි වොෂ් එකක් හෝ ගන්න එක නම් අනිවාර්‍ය දෙයක්. ඒකෙන් අපේ ඇඟේ රැඳිලා තියෙන දහදිය හේදිලා ගිහිල්ලා, සමේ කඳවුරු බඳින්න සෙට් වෙන බැක්ටීරියා සුද්ධ බුද්ධ වෙලා පිරිසිදු වෙනවා. ආන්න ඒක ගඳ නැති කරගන්න අනිවාර්‍යයෙන්ම කරන්න ඕන දෙයක්.

 

2. හරියට ඇඟ හෝදන්න

අපි මීට කලිනුත් කියලා තියෙනවා නාන්න ඕන විදිය. මේං ෂවර් එක කියලා ෂවර් එක යට එක පාරක් කැරකිලා ගොඩට ආවට වැඩක් නෑ. හරියට ඇඟපත අතුල්ලලා හෝදගන්න ඕන. පාවිච්චි කරන සබන් වර්ගය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නෙ බැක්ටීරියා නාශක සබන් වර්ගයක් තමයි යෝග්‍ය වෙන්නේ. එතකොට වැඩිපුර කුණු දූවිලි රැඳෙන්න පුළුවන් ශරීරයේ නැමුම් තියෙන තැන් හොඳට අතුල්ලලා හෝදගන්නත් ඕන.

 

3. හරියට ඇඟ පිහිදාන්න

අපි කලිනුත් කියලා දුන්නා කොහොමද බාත් ටවල් එකක් හරි විදියට පාවිච්චි කරන්නේ කියලා. ඒ කියන්නේ එකම තුවාය මාසයක් දෙකක් හෝදන්නේ, වේලන්නේ නැතුව ආයෙ ආයෙ පාවිච්චි කරනවා කියන්නේ කොච්චර නෑවත් ඇති වැඩක් නෑ කියන එක තමයි. ඒ වගේම, නෑවට වැඩක් නැහැ හරියට තෙත හිඳෙන්න ඇඟ පිහිදාගන්නේ නැතුව. විශේෂයෙන්ම තෙතමනය රැඳෙන්න පුළුවන් කිහිලි, ඉකිලි, පියයුරු යට වගේ තැන් හොඳට තෙත මාත්තු කරලා පිහිදන්න ඕන. එහෙම නැතුව තෙතමනය තියෙනකොටම ඇඳුම් අඳිනවා කියන්නේ ආයෙමත් ගඳ ඇති කරන බැක්ටීරියා ඉක්මනට ඒ තැන් වල හැදෙන්න පුළුවන් කියන එක. ඒ වගේම සමේ දිලීර එහෙමත් ෂුවර් එකට හදාගන්න පුළුවන් විදියක් තමයි ඕක.

 

4. ගඳ ගහන ප්‍රයිවට් පාට්ස්!

මෙන්න මේක හිතනවට වඩා ගොඩක් අයට මුහුණ දෙන්න වෙන ගැටළුවක්. ඒ කියන්නේ තමන්ගේ ලිංගේන්ද්‍රියන් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල නරක ගන්ධයක් ඇතිවීම. සාමාන්‍යයෙන් කාන්තාවෝ වුනත් පිරිමි වුනත් තමන්ගේ යට ඇඳුම් දිනපතා මාරු කරන්න ඕන. එක දවසකට වඩා යට ඇඳුමක් අඳින එක කොයි තරම් සෞඛ්‍යයට අහිතකරද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම තමයි සමට අසීරුවක්, අහිතකර බවක් නැති අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු යට ඇඳුම් තෝරගන්න එකත් යහපත්. ඒ වගේම තමයි පිරිමි තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත ප්‍රදේශ වල සෞඛ්‍ය සම්පන්න භාවයත්, කාන්තාවෝ තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත ප්‍රදේශ වල සෞඛ්‍ය සම්පන්න භාවයත් ආරක්ෂා කරගන්න වගබලාගත යුතුයි.

 

5. ගඳ ගහන කකුල්!

ගොඩක් වෙලාවට යටි පතුල් වලින් දරන්න බැරි දුර්ගන්ධයක් එන්න හේතු කීපයක්ම බලපානවා. එකක් තමයි එකම සපත්තු කුට්ටම එක දිගටම දාන එක. ඒ වගේම සමහරු එක දවසක් පාවිච්චි කරපු මේස් කුට්ටම හෝදන්නේ කරන්නෙ නැතුව එක දිගටම පාවිච්චි කරනවා. එතකොට කකුල් හෝදගෙන ආවට පස්සේ හරියට තෙත මාත්තු කරලා කකුල් වියලෙන්න කලින්ම මේස් දාලා සපත්තු දානවා. ඔන්න ඔය විදියේ වැඩකටයුතු වලදී කකුල් ගඳ ගහන එක පුදුමයක් නෙවෙයි.

ඇත්තටම එක දවසකට එක මේස් කුට්ටමක් පාවිච්චි කරනවා වගේම, මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න සපත්තු කුට්ටම් දෙකක් වත් තියෙනවා නම් හොඳයි. ඒක අපි කලිනුත් කියලා තියෙනවා. එතකොට පාවිච්චි කරපු සපත්තු කුට්ටමක් පොඩ්ඩක් අවුවේ වේලලා කරලා අරගෙන දාන්න පුළුවන්. අනික ඇඟ හෝදලා ඇවිත් කකුල් පිහිදාන්න වෙනම පොඩි තුවා කෑල්ලක් තියාගත්තත් පාඩුවක් නෑ!

 

6. ඇඳුම් පිරිසිදුවට

Image Source – en.wikipedia.org

ඇත්තටම මේන්න මේ කාරණාව තමයි ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් පිළිනොපදින්නෙත්. ඇඳුම් පිරිසිදුවට තියාගන්නවා කියන එක හිතන තරම් අමාරු කාරණයක් නෙවෙයි. හැබැයි ගොඩක් දෙනෙක් අද ඇඳගෙන ගියපු ඇඳුම අද හෝදන්න හිතන්නෙ නෑ. හරි ඒක ප්‍රශ්නයක් නෑ කියමු. හැබැයි කාර් එකේ ගිහින් ආවත්, අද ඇඳගෙන ගියපු ඇඳුම අඩුම ගාණේ හුළං වදින්න, වේලෙන්නවත් දාන්න ඕන. හැබැයි ඉතින් එක දවසක් ඇන්දත්, අවුවේ රට වටේ ගිහිල්ලා, කොලර් වටේ දාඩිය පැල්ලම් හිටින ගාණට ආවට පස්සේ කරුණාකරලා වේලලා අඳින්න ලැහැස්ති වෙන්න එපා. ගිහින් හෝදන්න දාන්න. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් මේ එකම ඇඳුම නොසෝදා අඳින කම්මැලි පුරුද්දට යන්නේ, රෙදි හෝදන්න කම්මැලි වුනහම. අද අඳින එක පොඩ්ඩක් හරි දාඩිය ගතියයි නම් මහන්සි නොබලා අදම හෝදන්න. එතකොට රෙදි කඳු එකතු වෙන්නෙත් නෑ, කිලුටු ඇඳුම් ඇඳලා ගඳ ගහ ගහා යන්න ඕනැත් නෑ.

 

7. ගඳ නැතිවෙන්න සෞඛ්‍ය සම්පන්න කෑම

ඕන්න අමාරුම හරිය. ගඳ නැතිවෙන කෑම. මෙහෙම කිව්වහම ගොඩක් අය හිතන්නේ අර කෑවට පස්සේ කට ගඳ ගහන සුදුළූණු වගේ එව්වා කන්න එපා කියනවාය කියලා තමයි. වැරදියි ළමයිනි. සුදුළූණු ඇත්තටම කෑ යුතු කෑමක්. හැබැයි ගඳ ගහන සීන් එක තියෙනවා. කොහොම හරි අපි මේ කියන්නේ දැන්ම තියාම සෞඛ්‍ය සම්පන්න ආහාර වලට පුරුදු වෙන්න කියන එක. ඒ කියන්නේ ශරීරයට ගුණදායී එළවළු සහ පළතුරු, ඇට වර්ග එහෙම වැඩි වැඩියෙන් ආහාර වේල් වලට එකතු කරගන්න කියන එක. ඔය ජන්ක් ෆුඩ් පාරක් එහෙම සතියකට සැරයක් දැම්මට අවුලක් නෑ, මේ විදියේ බොහොම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනික් මුළු සතියේ දවස් වලම පවත්වාගෙන යනවා නම්.

ඒ වගේ දේක තියන බෝනස් එක තමයි ශරීරයේ දහදියෙන් නිකුත් වෙන දුර්ගන්ධයන්, මේ වගේ ආහාර වේලක් එක්ක අවම වෙන එක. කොහොම වෙතත් වැඩියෙන් මස් මාංස, ස්පයිසි ෆුඩ් එහෙම කනවා නම්, පෞද්ගලික ශරීර ස්වස්ථතාවත් ඒ තරම් හොඳට පවත්වා ගන්නේ නැත්නම්, එකෙන්ම දහඩිය දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්.

දැන් ඇයි අපි සෙන්ට් පවුඩර් ගැන නොකිව්වේ? එව්වා ගැන කියන්න දෙයක් නෑ. එව්වා නිෂ්පාදනය කරලා තියෙන්නේ පාවිච්චි කරන්න තමයි. උඩ කියලා තියෙන දේවල් හරියට පිළිපැද්දට පස්සේ සැන්ට් වතුරේ නාලා ආවත් අපේ මොටෝ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *