මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විවිධ විදිහට අපේ රටේ සිනමාවට දායක වුණු විදේශීය කලාකරුවෝ ගැන. ලංකාවේ සිනමාවේ ආරම්භයේ ඉඳන් විදේශීය ශිල්පීන් චිත්‍රපටි කලාවට දායක වුණා. විශේෂයෙන් දකුණු ඉන්දියාවේ ආභාෂය මුල් කාලීන චිත්‍රපටිවල දැඩිව දකින්න පුළුවන්. චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ගේ භූමිකාවේ ඉඳන් සංගීත අධ්‍යක්ෂණය සහ ගීත ගායනය දක්වා විශාල පරාසයක මේ ශිල්පීන්ගේ දායකත්වය අපිට දකින්න ලැබුණා. නමුත් කාලයත් එක්කම මේ ක්‍රමය වෙනස් වුණා. විදේශීය ශිල්පීන්ගේ මැදිහත්වීම අතිශය අවම මට්ටමකට ආවා. ඒ වගේම සමහර අවස්ථාවල විදේශීය ශිල්පීන් සම්බන්ධ කරගැනීම ගැන විරෝධතා ක්ෂේත්රයෙන්ම මතු වුණා. උදාහරණයක් විදිහට “පූජා උමා ශංකර්” නිළියක් විදිහට ලංකාවේ ජනප්‍රියත්වයට පත් වෙද්දි අපේම රටේ සමහරු ඇයට එරෙහිව අවි අමෝරා ගත්තා. හරි කමක් නෑ. අපි මේ කතා පැත්තකින් තියලා එහෙමනම් ලිපියට යමු.
1. ලතා මංගේෂ්කාර්
ලතා මංගේෂ්කාර් අපේ සිනමාවට සම්බන්ධ වෙන්නේ සැඩ සුළං චිත්‍රපටිය වෙනුවෙන් “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි” ගීතය ගායනා කිරීමෙන්. ඒ ඇගේ පළමු සහ එකම සිංහල ගීත ගායනය. 1955 දී තිරගත වූ සැඩ සුළං චිත්‍රපටිය වෙනුවෙන් ගීත රචනා කරන්නේ අපේ ජාතික ගීයේ රචකයා වුණු ආනන්ද සමරකෝන් සූරීන්මයි. මේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව තමන්ට ලැබුණු ගෙවීමත් ඇය ආනන්ද සමරකෝන් මහත්තයට පරිත්‍යාග කළාලු තමන්ට සිංහල ගීත ගායනා කළ යුතු ආකාරය කියා දීපු ඔහු තමන්ගේ ගුරුවරයෙක් විදිහට සලකනවා කියලා. මේ සිදුවීමෙන් ඇය කෙතරම් නිහතමානී කෙනෙක්ද කියන එක අපිට හිතාගන්න පුළුවන්,
2. තනූජා
තනුජා කියන නම අපිට දැන් නුහුරු වුණාට කාජල් කියන්නේ කවුද කියලා නම් නොදන්න කෙනෙක් අපේ රටේ නෑ. තනුජා කියන්නේ කාජල්ගේ මව, ඇයත් බොලිවුඩයේ එක් යුගයක ජනප්‍රිය නිළියක්. ඇය “පෙරළිකාරයෝ” චිත්‍රපටියේ ප්‍රධාන නිළිය විදිහට විජය කුමාරතුංග එක්ක සොඳුරු රඟපෑමක නිරත වුණා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ දිනේෂ් ප්‍රියසාද් මහතා. ප්‍රියසාද් මහතා කියන විදිහට තනූජා සමග ඒ වෙද්දි කුඩා වියේ හිටපු කාජලුත් ලංකාවට ඇවිත් තියෙනවා. කාජල් මව රඟපාන අතරතුරේ බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ සමග සෙල්ලම් කරමින් හිටියා කියලයි ඔහු කියන්නේ.
3. මයික් විල්සන්
බ්‍රිතාන්‍යයේ ඉපදෙන මයික් විල්සන් ලංකාවට එන්නෙ තමන්ගේ අඹ යාළුවා වුණු ආතර් සී ක්ලාක් එක්ක. ලංකාව වටේ තියෙන මහමුහුදට ක්ලාක් වගේම මයිකුත් පෙම් බඳිනවා. ක්ලාක් තනිකඩව ඉද්දි මයික් ලංකාවෙන්ම තරුණියක් හොයාගෙන විවාහ වෙනවා. මයික් විල්සන් ලංකාවේ සිනමාවේ තමන්ගේ නම නොමැකෙන්න තියෙන්නේ රන්මුතුදූවෙන්. ඒ ලංකාවේ නිපදවුණු පළවෙනි වර්ණ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා විදිහට. ඒ වගේම දිය යට දර්ශන ඇතුළත් පළමු ලාංකික චිත්‍රපටිය වුණෙත් රන්මුතුදූව. ඊට පස්සේ ජේම්ස් බොන්ඩ් ශෛලියේ චිත්‍රපටියක් වුණු “හොරුන්ගෙත් හොරු” චිත්‍රපටියත් ඔහු ලාංකීය සිනමාවට තිළිණ කරනවා. කෝනේෂ්වරම් කෝවිලේ නටබුන් මුහුදු පතුලෙන් හොයාගන්න මැදිහත් වෙන්නේ මයික් විල්සන්. මේ නිසාමද මන්දා ජීවිතයේ අවසාන කාලයේදී මයික් විල්සන් “ස්වාමි කල්කි” නමින් හින්දු සන්‍යාසියෙක් බවට පත් වෙනවා.
4. බෙන් කිංස්ලි
බෙන් කිංස්ලි කියන්නේ බටහිර සිනමාව දිග් විජය කරපු නළුවෙක්. “ගාන්ධි” චිත්‍රපටියේ ඔහු නිරූපණය කළ මහත්මා ගාන්ධිතුමාගේ චරිතය නළුවෙකු විසින් කළ විශිෂ්ටතම රඟපෑම් අතරින් එකක් විදිහටයි සැලකන්නේ. බෙන් කිංස්ලි සම්බන්ධ වෙන්නේ හැබැයි සිංහල සිනමාවට නම් නෙමෙයි. ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි සිනමාවට. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති එහෙම එකක් තියෙනවද කියලා. උත්තරය ඔව්. සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරපු A Common Man චිත්‍රපටියට බෙන් ඇතුළු විදේශීය නළුවන් කීප දෙනෙක් දායක වුණා. මේ චිත්‍රපටියට පාදක වුණේ එල්. ටී. ටී. ඊ යුද්ධ සමයේ කොළඹ නගරයට ප්‍රහාර එල්ල කිරීමට තැත් කරන ත්‍රස්තවාදියෙකු පිළිබඳ කතාවක්
5. ද්‍රිතිමත් චැටර්ජි
මේ විශිෂ්ට බෙංගාලි නළුවා දායක වෙන්නේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කරපු ” ඇගේ ඇස අග” චිත්‍රපටියේ ප්‍රධාන නළුවා විදිහට. ඔහු තමන්ගේ සිනමා ජීවිතය පටන් ගන්නේ සත්‍යජිත් රායිගේ සිනමා නිර්මාණවලට දායක වීමෙන්. අද වෙනකොට ඔහු බෙංගාලි සිනමාවට වගේම දැන්වීම්කරණ ක්ෂේත්රයටත් තමන්ගේ දායකත්වය දක්වනවා. ඒ වගේම හින්දි සිනමාවට වගේම ඇතැම් හොලිවුඩ් නිර්මාණවලටත් ඔහු තමන්ගේ දායකත්වය දක්වලා තියෙනවා. “ඇගේ ඇස අග” තුළ ඔහුගේ දායකත්වය ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගනය තරම් කතා බහට ලක් නොවීම නම් කණගාටුවට කරුණක්.
6. ජික්කි
ඇයගේ උප්පැන්නේ තිබ්බ නම වුණේ ගහපති ක්රිෂ්ණාවේනී. නමුත් සිනමා ගායිකාවක් විදිහට ඇය ප්‍රසිද්ධ වෙන්නේ ජික්කි කියන නමින්. ඇය තෙලිඟු, කන්නඩ, දෙමළ, මලයාලම් යනාදී දකුණු ඉන්දීය භාෂා සියල්ලෙන්ම වගේ ගීත ගායනා කරලා තියෙනවා. මුල් කාලීන සිංහල සිනමාව තුළ ජමුණා රාණි, ජෙමිණි කාන්තා වගේ දකුණු ඉන්දීය ගායිකාවන් වගේම ඇයත් තමන්ගේ දායකත්වය පසුබිම් ගායනයට දැක්වුවා. “ජීවිත සටන” චිත්‍රපටිය වෙනුවෙන් ඇය ගායනා කළ “ලෝ අම්බලමේ ඉඳලා යනවා” ගීතය තවමත් සිනමා ගී වලට ලැදි රසිකයන් අතර ජනප්‍රියයි.
7. අන්ජලී පාටිල්
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටියේ ශ්‍යාමි ප්‍රනාන්දු එක්ක චිත්‍රපටියේ රඟපාපු හුරුබුහුටි නිළිය ඔබට මතකද? ඇය නමින් අංජලී පාටිල්. ඇය මේ චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයටත් ලක් වෙනවා. ඒ වගේම සරසවි සහ ජනාධිපති සම්මාන උලෙළවලදි හොඳම නිළියට හිමි සම්මානත් දිනා ගන්නේ ඇය විසින්මයි. තවත් විශේෂ දෙයක් කියනවා නම් එය ඇගේ පළමු සිංහල චිත්‍රපටිය වුණත් හඬ කැවීම් සඳහා ඇයම දායක වීම. ඉන්දියාවේ මරාතී පවුලක ඉපදුණු ඇය තමන්ගේ සිනමා ගමන පටන් ගන්නේ “Delhi in a Day” චිත්‍රපටියෙන්.
මේ ලිස්ට් එකට දාන්න ඕන තව විදේශීය නිර්මාණ ශීල්පීන් ඔයාලගේ ඔළුවට එනවා නම් ඒ අය ගැන කියන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉඩකඩ ඔයාට තියෙනවා. ඒ වගේම මේ ආටිකල් එක වට්ස්ඇප්, මැසෙන්ජර් හරහා ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා ඉතින්.
Leave a Reply