වෙනසකට කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම ඇසිය යුතු පොඩ්කාස්ට් කීපයක්!

ඉස්සර රේඩියෝ අහනකොට අපි අනිවාර්‍යයෙන්ම අහන්න බලාගෙන හිටපු වැඩසටහන් තිබිලා නැද්ද? ඒ කියන්නේ එක්කෝ ඒක අපි ආසම විදියේ සිංදු -ඒ කියන්නේ හිංදි ෆිල්ම් සිංදු හරි සිංහල ක්ලැසික් සිංදු හරි ප්‍රචාරය කරන වැඩසටහනක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ලෝකේ වටේ තොරතුරු ගේන වැඩසටහනක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කලාව ගැන කථා කරන වැඩසටහනක් වෙන්න පුළුවන්. දැන් කාලේ එහෙම වැඩසටහන් රේඩියෝ එකේ සෑහෙන්න අඩු වුනාට, නැතුවමයි කියන්න බෑ. හැබැයි රේඩියෝ එකේ වෙලාවට යන වැඩසටහනක් අහනවට වඩා බොහොම ලේසි රේඩියෝ වැඩක් තමයි පොඩ්කාස්ට් කියන්නේ. පොඩ්කාස්ට් විකාශය වෙන්නේ අන්තර්ජාලය හරහා. තමන්ට ඕනම වෙලාවක අහන්න පුළුවන්. විවිධ මාතෘකා යටතේ විවිධ අය පටිගත කරන වැඩසටහන් මාලාවන් තියෙන පොඩ්කාස්ට් බර ගාණක් අතරින්, අපිට හිතට සෙට් වෙන පොඩ්කාස්ට් එකක් තෝරගන්න පුළුවන්.

එහෙම හොඳ පොඩ්කාස්ට් එකක් තෝරගන්න අමාරු නම්, පටන් ගැන්මකට හොඳ පොඩ්කාස්ට් කීපයක් තෝරලා පොඩි උදවුවක් දෙන්න තමයි මේ ආටිකල් එක ලියන්නේ!

එතකොට පොඩ්කාස්ට් අහන්න නම් මොකද කරන්නේ? ඒකට Google Podcasts, Pocket Casts, Podcast Addict, Overcast, Stitcher, Player FM වගේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරගත්තා නම් හරි.

 

1. Eat Sleep Work Repeat

Image Source – eatsleepworkrepeat.fm

අපි හැමෝම එක්කෝ ‍රැකියාවක් නැතිනම් තමන්ගේම ව්‍යාපාරයක් කරන අයනේ. තමන්ගේම ව්‍යාපාරයක් කියන්නෙත් ‍රැකියාවක් තමයි. හැබැයි අපි ‍රැකියාවක් කරන්න පටන් ගත්තු මුල් කාලෙදි අපි කරන වැරදි අනන්තයි. ‍රැකියාවේදී කියන ගොන් කථාත් අනන්තයි. මේකට සරලම හේතුව අපි ‍රැකියා සංස්කෘතිය ගැන දැනීමක් නැති කම. හැබැයි අපිට දැන් වුනත් වර්ක් කල්චර්, වර්ක් එතික් වගේ දේවල් ගැන දැනුමක් ලබා ගන්න ඕන නම්, අපිට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ පොඩ්කාස්ට් එක. ට්විටර් යුරෝපියන් උපසභාපති බෲස් ඩෙයිස්ලි තමයි මේක කරගෙන යන්නේ.

 

2. Analysis

Image Source – podcasts.apple.com

බීබීසී 4 චැනල් එකෙන් කරන ඇනලිසිස් පොඩ්කාස්ට් එකෙන් සතියකට සැරයක් මිනිත්තු 30ක පොඩ්කාස්ට් එකක් කරගෙන යනවා. මේකේ කතාබහට ලක්වෙන තේමාවන්, දැනුම හොයන අයට නම් බොහොම ඉන්ටරස්ටින්ග් කියලා බය නැතුව කියන්න පුළුවන්. මේ පොඩ්කාස්ට් එකේ දේශපාලනය, විද්‍යාව, ආර්ථිකය සහ ඒ වගේ වෙනත් මාතෘකා ඔස්සේ විවරණාත්මක සාකච්ඡාවන් තමයි පැවැත්වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් ඊලඟ ලෝක ආර්ථික කඩාවැටීම කවදා සිදුවේවිද, ඒක ලෝකයට මොන වගේ බලපෑමක් කරාවිද වගේ කරුණු කාරණා මේ ඇනලිසිස් පොඩ්කාස්ට් එක ඔස්සේ එක සතියකදී සාකච්ඡා වුනා.

 

3. Without Fail

Image Source – gimletmedia.com

ගිම්ලට් මීඩියා එකෙන් කරන මේ පොඩ්කාස්ට් එක මෙහෙයවන්නේ ප්‍රකට නිවේදකයෙක් වෙන ඇලෙක්ස් බ්ලුම්බර්ග්. අපි හැමෝම කැමතියිනේ සාර්ථක වුණු මිනිස්සුන්ගේ කතා අහන්න? මේ පොඩ්කාස්ට් එකෙන් අපිට ලබාදෙන්නෙත් අන්න ඒක තමයි. ඒ කියන්නේ මේ පොඩ්කාස්ට් එක යන්නේ සම්මුඛ සාකච්ඡා විදියට. ව්‍යාපාරික ලෝකයේ, ක්‍රීඩා ලෝකයේ, කලා ලෝකයේ සාර්ථකත්වයක් අත්පත් කරගත් මිනිස්සුත් එක්ක කතාබහ කරන මේ සාකච්ඡා වලදී, ඇත්තටම මේ අය බොහොම අවංකව කථා කරනවා තමන්ගේ සාර්ථකත්වය පසුපස්සේ තියෙන ගණන් කළ නොහැකි අසාර්ථකවීම් ප්‍රමාණය ගැන. තමන්ගේ ගමනේ තමන්ට වැරදුණු තැන් ගැන. හැබැයි ඒ හැම වැරදීමක්ම ආශීර්වාදයක් කරගෙන ඉස්සරහටම ආපු විදිය ගැන.

 

4. Everything is Alive

Image Source – everythingisalive.com

මේ පොඩ්කාස්ට් එක ඉන්ටර්වීව් ෂෝ එකක්. හැබැයි මේ අය කතා කරන්නේ එක එක වස්තූන් ගැන. ඒ කියන්නේ අපිට එදිනෙදා ජීවිතේ මුණගැහෙන සහ ලේසියෙන් මුණගැහෙන්නේ නැති භෞතික දේවල් ගැන. හැබැයි තව විශේෂත්වයක් තියෙනවා. මේ හැම ඉන්ටර්වීව් එකකම ඉන්න කෙනා කතා කරන්නේ මේ අජීවී භෞතික වස්තූන් තමන් කියලා හිතාගෙන. පැහැදිලි නැද්ද? මතකද “මම පෑනක්”, “මම පොල් ගහක්” වගේ මාතෘකා ඔස්සේ රචනා ලිව්වා අපි පුංචි කාලේ? ආන්න ඒ වගේ දෙයක්. උදාහරණයක් විදියට එක එපිසෝඩ් එකක එක් කෙනෙක් කථාව පටන් ගන්නේ “මම වායු බැලුමක්” කියලා. එතනින් එහාට එයා කතා කරන්නේ කොහොමද එයා වායු බැලුමක් විදියට ඉපදුනේ, කොහොමද එයා මිනිස්සු එක්ක වායු බැලුමක් විදියට ගනුදෙනු කලේ වගේ දේවල් එක්ක. අජීවී වස්තුවක්, හැඟීම් දැනීම් තියෙන, පණ තියෙන දේවල් විදියට සලකමින් කරන මේ පොඩ්කාස්ට් එක හරිම අපූරුයි.

 

5. The Dollop

Image Source – youtube.com

ඇමරිකානු ඉතිහාසය ඉගෙන ගන්න අතරතුරදීම සමහර වෙලාවට හිනාත් යන සංවාදෙකට සවන් දෙන්න ආස නම් මෙන්න නියම පොඩ්කාස්ට් එක. මේක කරන්නේ ඩේව් ඇන්තනි සහ ගැරත් රෙනෝල්ඩ්ස්. මෙතනදී හැම සතියකදීම ඇන්තනී ඇමරිකානු ඉතිහාසයෙන් කතාවක් අරගෙන රෙනෝල්ඩ්ස්ට කියනවා. හැබැයි රෙනෝල්ඩ්ස් දන්නෙ නෑ මේ කතාව. එතකොට මෙලෝ දෙයක් නොදැන මේ ඉතිහාස කතන්දර අහන රෙනෝල්ඩ්ස්ගේ ප්‍රතිචාර සෑහෙන්න හිනා යන සුළුයි. ඒ නිසාම මේ පොඩ්කාස්ට් එක අහන අයට දෙයක් ඉගෙන ගන්න වගේම, පොඩ්ඩක් ලේ පිරිසිදු කරගන්නත් ඉඩ ප්‍රස්තාව ලැබෙනවා.

 

6. The Tip Off

Image Source – play.acast.com

දැන් ඔය ජනමාධ්‍යවේදියෝ ඉන්නවනේ. ඔය ජනමාධ්‍යවේදියෝ කියන්නේ තමන්ගේ කකුල් දෙක මුලට වැටෙන නිව්ස් විතරක්ම ලියන ඈයෝ නෙවෙයිනේ. ඒ අය විශේෂයෙන්ම යම් කිසි කතාවක් ඉව වැ‍ටුනට පස්සේ ඒක විමර්ෂණය කරලා, බොහොම අමාරුවෙන් කරුණු සොයා බලලා තමයි ඒ ගැන ලිපියක් ලියන්නේ. හැබැයි ඉතින් ඔය වගේ කතා ලිවීම බොහොම භයානක වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම දේශපාලන ලිපි එහෙම. ඉතින් අන්න ඒ නියම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියන්ගේ ලෝකය ගැන දැනගන්න නම් මේ පොඩ්කාස්ට් එක අපි නිර්දේශ කරනවා. ඇත්තටම ජනමාධ්‍යවේදියන්ට වගේම අනෙකුත් අයටත් බොහොම ප්‍රයෝජනවත් මේ පොඩ්කාස්ට් එක. මේකෙදී ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදියෝ එක්ක සාකච්ඡා කිරීමක් තමයි වෙන්නේ. ඒ සාකච්ඡාවේදී මේ ජනමාධ්‍යවේදියෝ කියනවා කොහොමද ඒ අයගේ දැවැන්තම හෙළිකිරීම් වලට පාර කැපුණේ කියලා. ඒ කියන්නේ ඒ ආටිකල් පිටිපස්සේ තියෙන වැඩකටයුතු, අසීරුතාවයන්, අවදානම වගේ හැම දෙයක්ම මෙතනදී කතාවෙනවා.

 

7. We Like Drinking

Image Source – subscribeonandroid.com

මෙන්න බොනපාට්ලා වෙනුවෙන්ම නිර්මාණය වුණු පොඩ්කාස්ට් එකක්. ඇත්තටම එහෙම කියන එකත් වැරදියි. මේ පොඩ්කාස්ට් එකෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇල්කොහොල් වල තියෙන ආට් එක, ඇල්කොහොල් කල්චර් එක සහ ඇල්කොහොල් ඉන්ඩස්ට්‍රි එක ගැන උනන්දු වෙන අයට. මේ පොඩ්කාස්ට් එකේදී ජෙෆ් එක්ල්ස්, ජෝන් රූයැක් සහ ජෙෆ් සොලමන් කියන නිවේදකයෝ තුන් දෙනා, මත්පැන් කර්මාන්තයේ ලෝකේ වටේම ඉන්න ප්‍රවීණයොත් එක්ක කතා කරනවා. මේ අය කතා කරන්නේ මත්පැන් ගැන. බියර්, වයින්, විස්කි විතරක් නෙවෙයි, ලෝකේ තියෙන ප්‍රසිද්ධ අප්‍රසිද්ධ කතාබහට ලක් විය යුතු හැම ඇල්කොහොල් වර්ගයක් ගැනම මේ අය කතා කරනවා. ඒ වගේම කතා කරනවා විතරක් නෙවෙයි, පොඩ්කාස්ට් එකේ සාකච්ඡාව අතරේදීම මේ කට්ටියත් ෂොට් එක දානවා!

ඇත්තටම හොඳම පොඩ්කාස්ට් ගැන කථා කරන්න වුනත් මේ ආටිකල් එක මදි. ඒ නිසා අපි තවත් දවසක, තවත් ආටිකල් එකකින්, වෙනස්ම මාතෘකා කීපයක් ගැන කතාබහ වෙන තවත් පොඩ්කාස්ට් ලිස්ට් එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *