මත්පැන් වලින් ශරීරයට වන හානිය අවම කරගන්න නම් මේ උපදෙස් හිතට ගන්න

මත්පැන් බීමේ ආදීනව ගැන කවුරුත් කතාවෙනවනෙ. පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම ආර්ථිකමය, සමාජමය සහ සෞඛ්‍යමය අතින් බොහොම පාඩු සිදුකරන්නක් බවත් ඇත්තක්. ඒත් ඉතින් ඔය මොන දේ කිවුවත් අපි වැඩි දෙනෙක්ට ඉතින් ලාවට හරි ස්ටෙලා නොවී ඉන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් තමන්ට මත්පැන් බීම නවත්වන්න බැරිනම් අඩුම තරමින් බොන වෙලාවේ එයින් සෞඛ්‍යයට වෙන හානිය අවම කරගන්නවත් අපි කටයුතු කරන්න බලන්න ඕනෙ. අන්න ඒ නිසායි මේ උපදෙස් ටික අපි ඔබට කියන්නෙ.

 

1. ලිමිට් එකේ ඉන්න

Image Source – themanual.com

පොඩියට ඩ්‍රින්ක් එකක් ගත්තත් ඒකෙනුත් ශරීරයට සුළුවෙන් හරි හානියක් වෙනවා. ඒක තමයි ඇත්ත. කොහොම වෙතත් ශරීරයට හානිදායක නොවන්නට නම් සතියකට මත්පැන් පානය සීමා කරන්න ඕනෙ මට්ටමක් අන්තර්ජාතිකව හඳුන්වල දීල තියනව. ඒ සතියකට මත්පැන් ඒකක 14ක්. මේක ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අදාළයි. ඉස්සර නම් පිරිමින්ට සතියකට මත්පැන් ඒකක 21කුත්, කාන්තාවන්ට ඒකක 14කුත් හැටියට තමයි තිබ්බෙ. හැබැයි දැන් දෙගොල්ලොන්ටම ඒකක 14 තමයි ආරක්ෂිත සීමාව. මේ ඒකක 14 ගැන අදහසක් ගන්න ඕනෙනම් මෙහෙමයි එක මත්පැන් ඒකකයක් අපි මනින්නෙ. මේ විදිහෙ ඒකක 14ක් සතියක් ඇතුළත පන්නන්නෙ නැතිව ඉන්න උත්සාහ දරන්න පුළුවන් තරම්.

මත්පැන් ඒකක 1ක් =

සැර 40% විස්කි – මිලි ලීටර 25ක්

13% සැර වයින් – මිලි ලීටර 76ක්

4% සැර බියර් – මිලි ලීටර 250ක්

8% සැර බියර් – මිලි ලීටර 125ක්

 

2. හිස්බඩ බොන්න එපා

Image Source – clifbar.com

බඩ ගොඩක් පිරුණහම හරියට බොන්න බැහැ කියලා ගොඩක් උදවිය බොන්න කලින් බඩ පුරවගන්න යන්නෙ නැහැ. හැබැයි ඒක හොඳ පුරුද්දක් නම් නෙමෙයි. මොකද හිස්බඩ බොද්දි ඇල්කොහොල් ඉතාම ඉක්මනින් අපේ කුඩා අන්ත්‍රයට එකතු වෙනවා. අපි මොනව හරි කාලා හිටියානම් මේ විදිහට මත්පැන් ඉක්මනින් ශරීරයට උරාගන්නේ නැහැ සහ එයින් වෙන හානිය අඩුයි. මේ නිසා මත්පැන් බොන්න කලින් මොනව හරි බඩට දාගන්න එක හරිම වැදගත්. සමබල ආහාර වේලක් ගන්න පුළුවන්නම් ඒක ඔක්කොටම වඩා හොඳයි.

 

3. සුදු ජාති වඩා හොඳයි

Image Source – bustle.com

සැර වැඩි මත්පැන් ෂොට් එකකට දෙකකට වඩා බොන්න හිතන් ඉන්නවනම් තද පාට මත්පැනකට වඩා සුදු පාට එකක් තෝරාගන්න එක හොඳයි කියල තමයි විශේෂඥයො කියන්නෙ. ඒකට හේතුව තමයි මත්පැන් පෙරීමේදී තද පාට මත්පැන්වල ලා පාට ඒවට වඩා වැඩියෙන් අහිතකර රසායන එකතුවීම. ඒ හින්දා තදපාට මත්පැන් බිවුවම සුදු පාට මත්පැන් වලට වඩා පහුවදාට අමාරු ගතියක්, එහෙමත් නැත්නම් හැන්ගෝවර් එකක් ඇති වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. ඒ නිසා වැඩිපුර ටිකක් බොන්න හිතනවානම් විස්කි, බ්‍රැන්ඩි වලට වඩා වොඩ්කා, ජින් වගේ දෙයක් තෝරගන්න එක හිතකර වෙයි.

 

4. ෂැන්ඩි ගැනත් අවධානයෙන්

Image Source – pinterest.com

වොඩ්කා ජින් වගේ ජාති මික්ස් කරන්න ගන්න පළතුරු යුෂ සහ රෙඩ්බුල් වගේ අධික සීනි සාන්ද්‍රණයක් තියන බීම ජාති පාවිච්චි නොකරන තරමටම තමයි හොඳ. මේවා ඇල්කොහොල් වගේම ශරීරයෙන් බැහැර කරන්න අපහසුයි. මත්පැන් නිසා පහුවදාට ඇතිවෙන හැන්ගෝවර් තත්ත්වයත් දෙගුණ තෙගුණ කරන්න හේතු වෙනවලු මේ අධික සීනි සාන්ද්‍රණයක් සහිත බීම වර්ග මික්ස් කරගත්තහම. ඒ නිසා පුළුවන් තරම් වතුර හරි සීනි රහිත ස්වභාවික පළතුරු යුෂ හරි මත්පැන් එක්ක මිශ්‍ර කරන්න බලන්න.

 

5. හොඳට වතුර බොන්න

Image Source – pinterest.com

කොයි වෙලාවකවත් ළඟ නවන්න යන්න එපා. කල් අරගෙන තමන්ගේ ඩ්‍රින්ක් එක එන්ජෝයි කරන්න. ඒ වගේම බොන අතරින් පතර වතුර වීදුරුවක් ළඟින් තියාගෙන සැරින් සැරේ පානය කරන්නත් අමතක කරන්න එපා. ඒකෙන් ශරීරය විජලනය වෙන එක අඩුවෙලා ඇල්කොහොල් ඉක්මනින් ශරීරගත වීමේ අවදානමත් අඩු කරනව. ඒ වගේම පහුවදාට ඔලුව කැක්කුම් ඇති වෙන එකත් අවම කරනව. පමණට වඩා මත්පැන් පානය වෙන එකත් වැලකෙනව යහමින් ජලය ශරීරගත වීම නිසා.

 

6. බයිට් එකත් සමබරව

Image Source – yamu.lk

බොන වෙලාවට හිත ඉල්ලන්නේම හොඳට තෙල් ගතියෙන් යුක්ත, කර කර ගාල හැපෙන බර කෑම තමයි. හැබැයි ඉතින් ඒකත් හොඳ පුරුද්දක් නෙමෙයි. බීමත් එක්ක මේ විදිහෙ අධික කැලරි සහිත කෑම ශරීරගත වෙන එක සෞඛ්‍ය අවදානමක් ඇති කරවන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මස් මාළු වගේම එළවලු, පළතුරු මිශ්‍ර සමබල ආහාරයක් බයිට් එක හැටියටත් ගන්න බලන්න. අධික ලුණු සහිත බයිට් වර්ග ගන්න එකෙනුත් වැළකෙන්න. මොකද ලුණු තිබහ ඇති කරන්න බලනව. ඒ හින්දා තවත් වැඩිපුර තිබහ නිවෙන්න මත්පාන වර්ග ශරීරගත කරගන්න අපි පෙළඹෙන්න පුළුවන්.

 

7. ලිමිට් දැනගන්න

බොනවා කියන්නෙ වීර කමක් කිරීමක් නෙමෙයි. ඒ නිසා අනුන් ඉස්සරහා ලොකු පොරක් වෙන්න හරි, නෝන්ඩි වේවි කියල බයට හරි තමන්ට උහුලන්න බැරි තරම් ප්‍රමාණ බොන්න යන්න එපා. බොන අතරතුර පොඩ්ඩක් ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටලා ඇවිදලා ආවොත් තමන් මත්වෙලා ඉන්න ප්‍රමාණය යම් පමණකට තේරුම් අරගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි බීපු දවසකට පහුවදාට තමන්ගේ ශරීරයෙන් අඩුවුණ විටමින් සහ ඛනිජ වර්ග නැවත ශරීරයට ලැබෙන විදිහේ ආහාර වේලක් ගන්නත්, ශරීරයට ව්‍යායාමයක් දෙන්නත් අමතක කරන්න එපා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *