විනෝදාංශයක් විදියට එකතු කරන්න පුළුවන් අපූරු දේවල් කීපයක්!

දැන් ඔය පුංචි කාලේ අපි හැමෝටම වගේ විනෝදාංශයක් පටන් ගන්න වුවමනාව ඇති වෙනවා. මොකද ඒ කාලේ ඉස්කෝලෙදි එහෙමත් අහනවා මොකද්ද තමුන්ගෙ විනෝදාංශේ කියලා. එතකොට දැන් කාලේ ඔය නිළි අක්කිලා, නළු අයියලා වගේ “මගේ විනෝදාංශේ නිදාගන්න එකයි, ටීවී බලන එකයි” කියලා කියන්න බෑ. ඇත්තටම ඔය කාලේ අපිට පොත් කියවන එක විනෝදාංශයක්. ඊට අමතරව මුද්දර එකතු කරන එක, කාසි එකතු කරන එක, සුපර් හීරෝ කාඩ්ස් එකතු කරන එක, ස්ටිකර් එකතු කරන එක, පෝස්ට් කාඩ් එකතු කරන එක වගේ එව්වා තමයි ජනප්‍රිය විනෝදාංශ විදියට තිබුණේ. හැබැයි නරකම දේ කියන්නේ, පුංචි කාලේ බොහොම උනන්දුවෙන් සහ ආසාවෙන් කරපු මේ විනෝදාංශ, කල් යනකොට අමතකම වෙලා යන එක. ඒ කියන්නේ අපි ලොකු මහත් වෙනකොට මේ විනෝදාංශ නැතුව ගිහින්, ෆේස්බුක් යෑම, චැට් කිරීම, ටීවී බැලීම වගේ මැන්ටල් විනෝදාංශ ජීවිතේට එකතු වෙනවා. හැබැයි ඉතින් අර කියපු විනෝදාංශ වලින් මනුස්සයෙක්ගේ ජීවිතේට එකතු වෙන ආතල් එක සහ දැනුම කියලා නිම කරන්න බෑ.

අන්න ඒ නිසා අපි අරගෙන එන්න කැමතියි, ලොකු වයසේ ඉන්න උදවියට අනුගමනය කරන්න පුළුවන් විනෝදාංශ කීපයක්. මේ හැම විනෝදාංශයක්ම එකතු කරන එව්වා තමයි!

 

1. පරණ යතුරු

Image Source – pinterest.com

දැකලා තියෙනවද අර යතුරු කපන තැන්? ඒ යතුරු කපන ෂොප් වල හරි කරත්ත වල හරි යතුරු හැටහුමාරක් එල්ලලා තියෙනවා? එහෙම දකිනකොට ආස හිතිලා නැද්ද යතුරු එකතු කරන්න? හැබැයි ඉතින් එකතු කරනවා කියලා අලුතෙන් එන එක එක විදියෙ යතුරු එකතු කරන එක නෙවෙයි. ඒක බොහොම ලේසි වැඩක්නේ. හැබැයි අර ඇටසැකිලි පෙනුම තියෙන පරණ තාලේ යතුරු දැකලා තියෙනවද? ආන්න ඒවා හොයාගන්න එක ලේසි නෑ. හැබැයි හොයාගන්න බැරිත් නෑ. ආන්න ඒ වගේ යතුරු එකතුවක් විනෝදෙට එකතු කරන එක මොන තරම් ආතල් වැඩක්ද?

 

2. ගල් සහ ස්ඵටික

Image Source – en.wiktionary.org

දැන් ගල් එකතු කරනවා කිව්වහම වත්තට ගිහින් දකින දකින කළු ගල්, කබොක් ගල් එකතු කරලා හරියන්නෙ නෑ. දුර්ලභ ගල් වර්ග වෙන්න ඕන. දුර්ලභ ගල් වර්ග හම්බුවෙන තැන් තියෙනවා. සමහර වෙලාවට ඔය ගඟක් එහෙම තියෙන පැත්තකට ට්‍රිප් එකක් ගියහම ගං ඉවුරේ එහෙම හම්බුවෙනවා වතුරට අවුරුදු ගණන් මැදිලා මැදිලා මටසිළුටු වුණු ගල්. එතකොට වත්ත පල්ලෙහාට ගියහම වුනත් හම්බුවෙනවා සාමාන්‍යයෙන් දකින්න නැති දුර්ලභ ගල්. හැබැයි එකක් මතක තියාගන්න ඕන. ගල් සහ ස්ඵටික එකතු කරනවා කියන එක එහෙම නිකම්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොළව උඩ තියෙන ගල් ඇහිඳගැනීමෙන් විතරක් කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඒකට නියමිත ක්‍රමවේදයන් තියෙනවා. වෙනම මෙවලම් තියෙනවා.

 

3. පොත්

Image Source – decorbooks.co.uk

ෂා, මාරම ලේසි විනෝදාංශයක් නේද? විශේෂයෙන්ම පොත් කියවන්න මාරම ආසාවක් තියෙන මනුස්සයෙක්ට මේක හෙනම ආතල්, හෙනම ලේසි විනෝදාංශයක් කියලා නේද හිතන්නේ? ඇයි පොත් කියවන මනුස්සයෙක් කොහොම කළත් පොත් ගන්නවනේ? හැබැයි මේ කියන්නේ ඕනම පොතක් අරගෙන කියවන විනෝදාංශයක් ගැන නෙවෙයි. දුර්ලභ පොත් ගැන. පැහැදිලි නැද්ද? දැන් හිතන්න ලංකාව විතරක් ගත්තත්, ඔය හැට ගණන් වල, පනස් ගණන් වල එහෙම ගහපු පොත් දැන් හොයාගන්නවත් නැහැනේ. හැබැයි ඒවා ඉඳහිටලා අපිට පරණ පොත් කඩේක තිබිලා, පරණ පොත් එකතුවක තිබිලා එහෙම හම්බුවෙන්න පුළුවන්. එතකොට සමහර පරණ පොතක පළවෙනි මුද්‍රණයේ පොතක් එහෙමත් මේ විදියටම මුණගැහෙන්න පුළුවන්. ආන්න ඒවා එකතු කරන එක ලේසි නෑ. සල්ලිත් වියදම් වෙන්න පුළුවන්. හැබැයි මාරම සීරියස් විනෝදාංශයක්. ඒ වගේම තමයි මේ විදියට එකතු කරන පරණ පොත් එකතුවක වටිනාකම වුනත් කියලා නිම කරන්න බෑ.

 

4. සිප්පි කටු

සිප්පි කටු කියන්නේ මුහුදෙන් වට වුණු, සුන්දර වෙරළ තීරයක් තියෙන දිවයිනක ජීවත් වෙන අපිට අරුම පුදුම දේවල් නෙවෙයි. අපි හැමෝම ජීවිතේ එක වතාවක හරි පුංචි කාලේදී මුහුදු වෙරළට ගිහිල්ලා තියෙනවනේ. එහෙම ගියහම වැල්ලේ පේන්න තියෙන සිප්පි කට්ටක් හරි අපි ගෙනැල්ලත් තියෙනවනේ. හැබැයි විනෝදාංශයක් විදියට සිප්පි කටු එකතු කරනවා කියන්නේ, නිකමට මුහුදු වෙරළට ගියපු වෙලාවක පේන්න තියෙන සිප්පි කටු අරගෙන ගෙදර එනවට වඩා එහා ගියපු විනෝදාංශයක්. අපිට විනෝදාංශයක් විදියට එකතු කරන්න වැදගත් වෙන්නේ කැඩුණු, බිඳුණු පළුදුවීම් නැති, සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන දුර්ලභ සිප්පි තමයි. මේවා ගොඩක් වෙලාවට නිකම්ම වෙරළෙන් අහුල ගන්න බෑ. අන්න ඒ නිසා වැල්ල හාරලා මෙව්වා මතුකරගන්න මෙවලම් එහෙමත් තියෙන එක වටිනවා.

 

5. කැසට් පීස්

Image Source – factmag.com

දැන් ඔය ග්‍රැමෆෝන් යුගයේ තිබුණු තැටි තියෙනවනේ. ඔව්වා අසූව අනූව දශකයන් වෙනකොට අභාවයට ගිහින්, ඒ තැන කැසට් පීස් වලට ලැබුණා. ඒ නිසාම ඒ කාලේ සමහරු විනෝදාංශයක් විදියට මේ දුර්ලභ ග්‍රැමෆෝන් තැටි එකතු කරන්නත් පටන් ගත්තා. අදටත් මේ තැටි එකතු කරන අය ඉන්නවා. හැබැයි මේ වෙනකොට කැසට් පීස් යුගයත් හමාර වෙලා දශකයකටත් වඩා ගත වෙලා තියෙන්නේ. තවදුරටත් කැසට් වාදන යන්ත්‍ර දකින්න නෑ වගේම, කැසට් පීස් එහෙමත් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ආන්න ඒ නිසා පැරණි ඒත් වැඩකරන කැසට් පීස් එකතු කිරීමත් බොහොම ආකර්ෂණීය විනෝදාංශයක් බවට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය අසූව, අනූව දශකයන් වල තිබුණු පරණ කැසට් ටේප් වල තියෙන සමහර මියුසික් එහෙම අද හොයාගන්නත් නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා මෙහෙම එකතු කරන දුර්ලභ කැසට් ටේප් එකතුවක ඉහළ වටිනාකමකුත් තියෙනවා.

 

6. පැරණි වීදුරු භාණ්ඩ

මේ වගේ විනෝදාංශයක් නම් නඩත්තු කරන එක ලේසි නෑ. ඒ වගේම සමහර වෙලාවට සෑහෙන මුදල් වියදම් කරන්නත් වෙනවා. ඒ හැමදේටමත් වඩා, මේ වගේ විනෝදාංශයකට විවිධ ඉතිහාස යුගයන් වල නිර්මාණය වුණු වීදුරු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුමක් ලබාගන්නත් සිද්ධ වෙනවා. හරි, ඔය ඔක්කොම කරගත්තට පස්සේ තියෙන්නේ වැඩේ පටන් ගන්න. හැබැයි ලේසි නෑ. ඇයි? වීදුරු භාණ්ඩ කියන්නේ ඉතාම ලේසියෙන් බිඳෙන සුළු දේවල්. ඒ නිසා පැරණි වීදුරු භාණ්ඩ කැඩිලා බිඳිලා ගිහින් තියෙන්න තියෙන ඉඩ වැඩියි. හැබැයි ඉතින් අපිට අපේ පැරණි වීදුරු භාණ්ඩ දඩයම පටන් ගන්න පුළුවන් ඔය වෙන්දේසි වලින්, පරණ ගෙවල් වලින් එහෙම.

 

7. පරණ තාක්ෂණය

බලලා තියෙනවද අර Mortal Engines කියලා 2018 ආපු ෆිල්ම් එක? ඒකේ තියෙනවා පරණ ලෝකේ පරණ තාක්ෂණික කෑලි බෑලි එකතු කරලා බොහොම භයානක ආයුධයක් හදන සීන් එකක්. ඉතින් ඇත්තටම අපිට ආයුධ හදන්න ඕන නැති වුනත්, පරණ තාක්ෂණය ගැන ආසාවක් තියෙනවා නම් ඒක විනෝදාංශයක් කරගන්න බැරිද? ඇත්තටම මේක ගොඩක් මුදල් වියදම් නොවෙන විනෝදාංශයක්. හැබැයි ඉතින් ගේ දොර ඉඩ කඩ නම් ටිකක් වැඩිපුර වියදම් වෙන විනෝදාංශයක්. මේ පරණ තාක්ෂණික උපාංග එකතු කරන එක කරන්න යම් තරමකට අතීත තාක්ෂණයන් ගැන දැනුමක් අවශ්‍යයි. ගොඩක් වෙලාවට හොඳ කලෙක්ෂන් එකක් වෙන්න නම් අපි හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ පරණ ඇනලොග් උපාංග තමයි. ඒ කියන්නේ ටයිප් රයිටර්, ට්‍රාන්සිස්‍ටර් රේඩියෝ නැතිනම් වැකියුම් ටියුබ් රේඩියෝ, පරණ කැතෝඩ ටියුබ රූපවාහිනී, පරණ හෝන් වගේ මෙකී නොකී පැරණි තාක්ෂණික උපාංග. මෙව්වා වැඩ කරනවා නම් තමයි වටින්නේ. වැඩ නොකරන උපාංග වැඩ කරන තත්ත්වයට පත් කරන්න දැනුමකුත් අපිට ලබාගන්න පුළුවන් නම් තමයි තව වටින්නේ!

දැන් මේ අපි කියපු ලිස්ට් එක දැක්කහම එක දෙයක් විශේෂයෙන් තේරුම් යන්න ඕන. විනෝදාංශයක් විදියට යම් දෙයක් එකතු කරනවා කියන්නේ ඒ තෝරගත්තු දේ දකින්න තියෙන හැම තැනින්ම එකතු කරන එක නෙවෙයි. අපි එකතු කරන්න තෝරගන්නේ මොකක් වුනත්, ඒ දේ එක්කෝ දුර්ලභ වෙන්න ඕන. එහෙම නැතිනම් සුවිශේෂී වෙන්න ඕන. අන්න එතකොට තමයි ඒක විනෝදාංශයක් විදියට වටින්නේ. ඒ වගේම යම් කාලෙක ඒ එකතුවට වුනත් විශේෂ වටිනාකමක් ලැබෙන්නේ. ඒ වගේම එහෙම එකතු කරන විනෝදාංශයක් ෆුල් ආතල් වෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *