කටට රසට කන්න කැමති උදවියට ඉන්දියන් කෑම වර්ග 5ක්

උණු උණුවෙම තෝසෙ එකක්, මසාලා වඩේ එකක් හිතුණු වෙලාවට කන්න නම් සයිවර් කඩේකටම යන්න එපැයි. එහෙම නොගිහින් ගෙදරදිම හදාගන්න පුළුවන් නම් කොච්චර ලේසිද පහසුද නේ? එහෙනම් ඔන්න ඔයාලා වෙනුවෙන්ම අද අපි ඉන්දියාවෙන් රෙසිපි අරන් ආවා.

 

1. තෝසෙ සමඟ පොල් චට්නි

Image Source – vegrecipesofindia.com

තෝසේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. උළුඳු ග්‍රෑම් 150
  2. සහල් ග්‍රෑම් 500
  3. ලුණු ස්වල්පයක්
  4. වතුර කෝප්ප 1ක්
  5. සීනි තේ හැඳි 1ක්
  • උළුඳු සහ සහල් එකට දමා විනාඩි 30ක් පමණ පොඟවා ගන්න.
  • ඉන්පසු පොඟවා ගත් සහල් හා උළුඳු වලට වතුර කෝප්පයක් මිශ්‍ර කර බ්ලෙන්ඩරයට දමා හොඳින් අඹරා ගන්න.
  • එහෙම අඹරා ගත් මිශ්‍රණය භාජනයකට දමා විනාඩි 30ක් විතර වහලා තියන්න.
  • ඊට පස්සෙ හදාගත් මිශ්‍රණයට වතුර කෝප්ප 1/4ක්, රස අනුව ලුණු හා සීනි දමා හොඳින් කලවම් කරන්න.
  • එසේ කිරීමෙන් අනතුරුව රත් වූ තෝසේ තැටියට අවශ්‍ය ප්‍රමාණයට තෝසේ මිශ්‍රණය එක් කර තුනී කරගන්න.
  • තැටිය මත වූ තෝසේ එකට තෙල් බිංදු හතරක් හෝ පහක් එක් කර හොඳින් පිසගන්න.
  • පසුව තෝසේ එක අනිත්පස හරවා එලෙසින්ම පිසගන්න.

පොල් චට්නි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොල් (බෑයක තරමට)
  2. සුදුළූණු බික් 2
  3. අමුමිරිස් කරල් 3
  4. බී ළූණු  ගෙඩි 1
  5. කරපිංචා
  6. අබ
  7. වියළි මිරිස් කරල් 2
  8. එළවළු තෙල් මේස හැදි 2
  9. රස අනුව ලුණු
  10. දෙහි යුෂ
  • ගා ගත් පොල් වලට සුදුළූණු, අමුමිරිස්, බී ළූණු දමා රස අනුව දෙහි යුෂ එකතු කරගන්න.
  • ඉන්පසු එම මිශ්‍රණය බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
  •  පසුව වෙනත් භාජනයකට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වූ පසු වියළි මිරිස්, කරපිංචා දමා හොඳින් තෙම්පරාදු කර කලින් සාදාගත් මිශ්‍රණය ද එක් කර හොඳින් කලවම් කර ළිපෙන් බා ගන්න.
  • දැන් උණු උණුවෙම තෝසේ සමඟ රස විදින්න.

 

2. පොල්රොටී සමඟ කොච්චි සම්බෝල

Image Source – pinterest.com

පොල්රොටී සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් පිටි ග්‍රෑම් 300ක්
  2. බී ළූණු ගෙඩි 1ක්
  3. අමුමිරිස් කරල් 3ක්
  4. කරපිංචා
  5. රස අනුව ලුණු
  6. වතුර කෝප්ප 1/2ක්
  7. පොල් බෑයක් (ගාගත්)
  • පාන් පිටි, සිහින්ව කපා ගත් බීළූණු, අමුමිරිස්, කරපිංචා හා පදමට ලුණු එකතු කරගන්න.
  • ඉන්පසු ගාගත් පොල් ද එයට එකතු කර හොඳින් කලවම් කර ගන්න.
  • අතේ නොඇලෙන පදමට වතුර එකතු කර එය මදක් තුනී කර රොටි තැටියේ දමා දෙපැත්තම අවශ්‍ය ප්‍රමාණයට පුළුස්සා ගන්න.

කොච්චි සම්බල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොච්චි ග්‍රෑම් 50ක්
  2. බීළූණු ගෙඩි 1ක්
  3. රස අනුව ලුණු
  4. දෙහි ගෙඩි 1ක යුෂ
  • කොච්චි, බීළූණු එකට දමා හොඳින් අඹරා ගන්න.
  • ඉන්පසු දෙහි යුෂ දමා එය රසවත් කරගන්න.
  • රස අනුව ලුණු එකතු කරගන්නත් අමතක කරන්න එපා

 

3. මසාලා වඩේ සමඟ තක්කාලි චට්නි

Image Source – vegrecipesofindia.com

මසාලා වඩේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. කඩල පරිප්පු ග්‍රෑම් 250ක්
  2. අමුමිරිස් කරල් 3ක්
  3. බීළූණු ගෙඩි 1ක්
  4. කරපිංචා
  5. සුදුළූණු බික් 3ක්
  6. රස අනුව ලුණු
  7. පොල් තෙල්
  • විනාඩි 20ක් පමණ පොඟවා ගත් කඩල පරිප්පු වතුර ඉවත් වන සේ පෙරා ගන්න.
  • ඉන්පසු එය කෑලි සිටින සේ අඹරා පසෙකින් තබා ගන්න.
  • පසුව හීනියට කපාගත් අමුමිරිස්, බීළූණු, කරපිංචා, සුදුළූණු එක් කර රස අනුව ලුණු ද ඊට එකතු කරගන්න.
  • මෙසේ සාදාගත් මිශ්‍රණයෙන් බෝල කිහිපයක් සාදා මදක් තුනී කරගන්න.
  • ඉන්පසු එවා රත්වූ ගැඹුරු තෙලෙහි හොඳින් දමා හොඳින් බැදගන්න.

තක්කාලි චට්නි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. තක්කාලි ගෙඩි 3ක්
  2. රට කජු මේස හැඳි 2ක් (බැදගත්)
  3. වියළි මිරිස් කරල් 4ක්
  4. බීළූණු ගෙඩි 1ක්
  5. රස අනුව ලුණු
  6. අබ
  7. කරපිංචා
  • තක්කාලි, බැදගත් රටකජු, වියළි මිරිස්, බීළූණු හා රස පදමට ලුණු එක් කර බ්ලෙන්ඩර් කරගන්න.
  • පසුව භාජනයක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු අබ හා කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු අඹරාගත් මිශ්‍රණය ද එයට එකතු කර කලවම් කරගන්න.

 

4. කටට රසට චපාති හා තොවෙල් චට්නි

Image Source – vegrecipesofindia.com

චපාති සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. ආටා පිටි ග්‍රෑම් 300ක්
  2. මාගරින් තේ හැදි 3ක්
  3. රස අනුව ලුණු
  4. මී කිරි මේස හැදි 1ක්
  5. වතුර කෝප්ප 1/2ක්
  • ආටා පිටි, මාගරින්, ලුණු, මී කිරි හොඳින් මිශ්‍ර කරගන්න.
  • පසුව වතුර මිශ්‍ර කරගනිමින් පදමට අනාගන්න.
  • පදමට අනාගත් රොටී මිශ්‍රණය කුඩා බෝල වලට වෙන්කර, පාන් පිටිවල තවරා හොඳින් තුනී කරගන්න.
  • පසුව එය රත්වූ තැටියක තබා පදමට පුළුස්සා ගන්න.

තොවෙල් චට්නි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. රතු ළූණු ග්‍රෑම් 100ක්
  2. වියළි මිරිස් කරල් 6ක්
  3. කරපිංචා
  4. රස අනුව ලුණු
  5. දෙහි යුෂ
  6. පොල් ස්වල්පයක්
  • රතුළූණු, වියළි මිරිස්, කරපිංචා, පොල් එකට මිශ්‍ර කර හොඳින් අඹරා ගන්න.
  • පසුව රස අනුව ලුණු දමා දෙහි යුෂ එකතු කර හිත පුරා රස විඳින්න.

 

5. පරාටා සමඟ කඩල චට්නි

Image Source – hebbarskitchen.com

පරාටා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන්පිටි කිලෝ 1
  2. බේකින් පවුඩර් තේ හැන්දක්
  3. බිත්තර 2
  4. රස අනුව ලුණු
  5. සීනි තේ හැඳි 2
  6. මාගරින් ග්‍රෑම් 100
  7. එළවළු තෙල් මේස හැඳි 3
  8. වතුර කෝප්ප 2
  • පාන්පිටි ,බේකින් පව්ඩර්, ලුණු සහ සීනි එකට මිශ්‍ර කරන්න.
  • ඒකට බිත්තර ,මාගරින්  හා එළවළු තෙල් දාලා වතුර ටික ටික දමමින් මිශ්‍රණය අනාගන්න.
  • ඒක තෙල් තවරාගත් ලන්ච්ශීට් එකකින් වහලා පැය 1/2ක් තියන්න.
  • ඉන්පස්සෙ ඒ මිශ්‍රණයෙන් කුඩා බෝල හදලා ඒවට තෙල් ගාලා තවත් පැය 1/2ක් වසා තබන්න.
  • ඉන්පසු ඒ බෝල තුනී කරලා රොටි වගේ රවුමට හරි හතරැස් අතට හරි හදාගෙන රොටී තැටියක දාලා පුළුස්සා ගන්න.

කඩල චට්නිවලට අවශ්‍ය ද්‍රව්‍ය

  1. කඩල පරිප්පු ග්‍රෑම් 500
  2. බී ළූණු ගෙඩි 2
  3. කරපිංචා
  4. වියළි මිරිස් කරල් 4
  5. ගම්මිරිස් ඇට කිහිපයක්
  6. අබ ස්වල්පයක්
  7. රස අනුව ලුණු
  8. තෙල් ස්වල්පයක්
  9. වතුර කෝප්ප 1/2
  • කඩල පරිප්පු හා කරපිංචා කබලේ බැදගන්න.
  • ඉන්පසු බී ළූණු, වියළි මිරිස්, ගම්මිරිස්, ලුණු යන සියල්ලම එකට කලවම් කරලා වතුර ටික ටික දාලා අඹරගන්න.
  • ඊට පස්සෙ වෙන භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා රත්වෙනකොට අබ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
  • ඒකට අර කලින් හදාගත්තු මිශ්‍රණය දාලා හොඳින් පිසගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *