මේ වෙනකොට පහුගිය ටිකේ රටේ ඇතිවුණු කම්පිත සිදුවීම ගැන හැමෝම දන්නවා ඇතිනෙ. ඒ වගේම ඉදිරියෙදි මොනවයින් මොනවා වෙයිදෝ කියල නිශ්‍චිත හැඟීමකින් තොරව ඔහේ ගලාගෙන යන කාලයක් මේක. ඒ අපිට. නමුත් මේ සිදුවීමට ඇත්තටම මුහුණ දුන්න අයගෙන් මේ වෙනකොට දිවි ගලවාගෙන ඉතිරි වෙලා ඉන්න පොඩි දරුවන්ගෙ, වැඩිහිටියන්ගේ කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය ගැනත් ගැඹුරින් හොයා බලන්න ඕනෙ වෙලාවක් මේක. මනෝවිද්‍යාව හෝ මනෝ උපදේශනය නොදන්නා කෙනෙක්ට උනත් මේ වෙලාවෙ එක වචනෙකින් හෝ ඒ අයට උදව්වක් වෙන්න පුළුවන් නම් ඒක කොයිතරම් පිනක්ද? ඔයාලටත් ඒ පිනේ පංගුකාරයන් වෙන්න මේ කරුණු ටික කියවලා බලන්න.
1. මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර වලින් පටන් ගමු
මේක දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අනුගමනය කරන පිළිවෙතක්. හදිසි කම්පිත තත්ත්වයක් ඇති උන වෙලාවට හෝ සිද්ධිය පහව ගියාට පසුව හරි අදාළ කෙනාව මනෝ උපදේශනයකට යොමු කරන තෙක් ලඟ සිටින අයට උනත් එයාට ශක්තියක් වෙන්න පුළුවන් මේ හරහා. ඉස්සෙල්ලම වෙන්න ඕනෙ අපි එයාට හොඳට සවන් දෙන එකයි. දැනට විපතට පත් වෙලා ඉන්නෙ ඔබේ අසල්වැසියා නම් එයාට කම්පනය දරාගන්න බැරුව ඉන්නවනම් ඔයාට පුළුවනි එයා එක්ක පොඩ්ඩක් කතා කරන්න. එයාට තනිකමක් දැනෙන්න දෙන්න එපා. නමුත් කිසිම වෙලාවක එයා මුහුණ දුන්නු මානසික පීඩනය නැවත නැවත මතක් කරමින් ඒ සිද්ධිය එළියට ගන්න උත්සහ කරන්නත් එපා. ඒකෙන් තත්ත්වෙ භයානක වෙන්න පුළුවන්. ඒ වගේම නොදැනුවත්ව හරි මානසිකව පීඩාවට පත් වෙන විදිහේ දේවල් කියවෙන තැන් වලින් අදාළ පුද්ගලයාව ඈත් කරලා තියන්න. ඒ කියන්නෙ මේ පුද්ගලයාගෙ මතයට විරුද්ධ මත දරන අයවළුන් වගේම නොගැලපෙන අදහස් ගේන අයගෙන් හැකිතරම් ඈත් කරලා තියන්න ඕනෙ. මිනිස්සු හිතන්නෙ බලන්නෙ නැතුව කියවෙන වචන වලින් මේ පීඩාවට පත් වෙලා, කම්පනයට පත් වෙලා ඉන්න අයගෙ මනසවල් කොච්චර කැළඹීමකට පත් වෙනවද? සංවේදී හිත් ඇති අයට නම් අපි මේ කියන්නෙ මොකද්ද කියන දේ හොඳට තේරෙනවා.
2. අවධානය සහ මූලිකත්වය අසරණ වූ පුද්ගලයාට ලබා දෙන්න
ඒ වගේම ඒ අදාළ පුද්ගලයාට මූලිකත්වය දෙන්න ඕනේ. ඒ කියන්නෙ ඒ කෙනා ගැන අපි ගොඩක් අවධානයෙන් ඉන්න ඕනෙ කියන එකයි. ඒ වගේම ඒ අයගෙ පෞද්ගලිකත්වයට හානි වෙන කිසිම දෙයක් ප්‍රසිද්ධ නොවෙන්නත් වගබලාගන්න. ලංකාව වැනි රටකට මාධ්‍ය සදාචාර කියන්නෙ මොකද්ද කියලා අමුතුවෙන්ම කියලා දෙන්න වෙලානෙ. විපතට පත් උන අයගේ මළසිරුරු කොටස්, රෝහල් වල ඉන්න අයගෙන් ලබා ගන්න වොයිස් කට්, ඒ අය දුක් වෙන ආකාරයන් දැක්වෙන ඡායාරූප මාධ්‍ය ඉදිරිපත් කිරිම කළ නොයුතුම වැඩක්. ඒත් බලන්න අද වෙනකොට වෙලා තියෙන දේ. පොඩ්ඩක්වත් හිතුවද මේ අයගෙ පවුලෙ අය ඉදිරි ජීවිතයට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක. ඒකයි අපි කිව්වෙ මේ ක්‍රියාදාමය ඒ අය එක්ක එකට ඉන්න අසල්වැසියා වෙන ඔයාට ක්‍රියාත්මක වෙලා කරන්න පුළුවන් දෙයක් කියලා. මිනිස් ජීවිතයක වටිනාකම දන්න කෙනෙක් මේ වෙලාවෙ මේ අයට උදව් නොකර ඉන්නෙ නෑ. මතක තියාගන්න මේ වෙලාවෙ මනෝ උපදේශනය අත්‍යවශ්‍ය කෙනෙක්ට උනත් මූලික අවදියෙදි තමයි අපිට මේ ප්‍රථමාධාර ටික දෙන්න පුළුවන්. ඊළඟ පියවර හැටියට සුදුසු වන්නේ මනෝ උපදේශකවරයෙකුගෙ සහය ලබා ගැනීමයි.
3. මේ සිදුවීම කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට බලපා ඇති ආකාරය තේරුම් ගැනීම
මූලික වශයෙන්ම මානසික ආතතියට ලක් උන කෙනෙක් අධික හිසරදයකින් පෙළෙන්න පුළුවන්. ඒ වගේම කතා බහින් තොරව ඉන්න පුළුවන්. කාටවත් මූණදෙන්න අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කල් යනකොට පාලනය කරගත නොහැකි කේන්ති ඇති වීම. විශේෂයෙන් කුඩා දරුවන් නිකරුණේ බියට පත්වීම, නින්දෙන් හදිසියේ නැගිට හැඬීම, තනියම සිටීමට බය වීම, තනියම එලියට යන්නට බය වීම වගේ දේවල් මේ කාලයෙදි අපිට දකින්න පුළුවන්. ලංකාවේ උන සිද්ධියෙදි සමහරුන්ට දරුවො නැති උනා, දරුවන්ට දෙමව්පියො නැති උනා, සහෝදර සහෝදරියන් නැති උනා. මේ දේවල් නිසා දරුවන්ට හිතෙන්න පුළුවන් තමුන්ට කවුරුවත් නෑ කියලා. ඒ වගේම සමහර පවුල් වල එක්කෙනෙක් විතරක් ඉතුරුවෙලා ඉන්නකොට ඒ කෙනාගෙ මානසික මට්ටම ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද?
4. අසල්වැසියන් විදියට මෙයාලට සහය වෙන්නෙ කොහොමද?
විපතට පත් උන අය ළඟින් ඉන්න අය විදියට වගේම නෑදෑ හිතවතුන් විදියට අපි මේ වෙලාවෙ ඔවුන්ට ශක්තියක් වෙන්න ඕනෙ. පවුල් පිටින් මරණයට පත් උන ගෙවල් වල නෑ හිත මිතුරන් තවමත් වැළපෙනවා ඇති. ඒ වගේම එක්කෙනෙක් විතරක් ඉතුරු වුණ ගෙවල් එහෙමත් ඇති. ඒ නිසා අපි මේ අයගෙ මනස හදන්න එයාලා එක්කම මේ ටිකේ ගැටෙන්න වෙනවා. තමන් ඒ දේට සංවේදී වෙන බව පෙන්වන්න. පුළුවන් තරම් තම තමන්ගෙ ආගමානුකූලව එයාලට යතාර්ථය පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න. කුඩා දරුවෙක්ගෙ දෙමව්පියන් නැතිවෙලා නම් එයාට ඒ ගැන බොරු නොකියා ඇත්ත පහදලා දෙන්න උත්සහ කරන්න. ඒ වගේම හැකිතරම් ඒ සිදුවීම පුන පුනා පෙන්වන මාධ්‍යන්ගෙන් ඈත් කර තියන්න. ඒ වගේම මානසික සෞඛ්‍ය විතරක් නෙමෙයි, මේ වෙලාවෙ එයාලව ශාරීරිකවද ශක්තිමත් කරලා තියන්න ඕනෙ. පීඩාකාරී දින කිහිපයකින් පසුව හරිහමන් කෑමක්වත් නැතුව ඉන්නවා ඇති ගොඩක් අය. අසල්වැසියන් විදියට අපිට පුළුවන් විදිහට කෑම ටිකක් දෙන්න. ඒ වගේම තනියට ගිහින් ඉන්න. එයාල එක්ක බෙහෙත් ගන්න හෝ වෙන ගමනක් යන්න ඕනේ නම් එක්කන් යන්න. ඒ වගේ දේවල් වලින් එයාලට ගොඩක් ලොකු සහනයක් ලැබෙනවා.
5. සමාජයක් විදියට මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ කොහොමද?
මේ වෙලාවෙ සමාජයක් විදියට අපි හැමෝම වගකීමකින් කටයුතු කරන්න ඕනෙ. මොකද අපේ ජීවිතත් අපිට විශ්වාස නොමැති වෙලාවක මොනම අයුරකින්වත් පීඩාවට පත්වුන අයට තවතවත් පීඩාවක් නොදෙන්න හැමවෙලේම වගබලාගන්න. සමාජයක් විදියට කුඩා කණ්ඩායම් එකතුවෙලා විපතට පත් උන අයට උදව් කරන්න කියලා ගිහින් එයාලට කරදරයක් නම් වෙන්න එපා. කොටින්ම කිව්වොත් ඒ අයගෙ ෆොටෝස් අරගෙන සමාජ මාධ්‍ය වල පළ කරන්න එපා. රටේ ඇති වෙලා තියෙන තත්ත්වෙ අනුව අපේ පොඩි තොරතුරක් ඇති ත්‍රස්තවාදීන්ට නැවත ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම ස්වේච්ඡා සංවිධාන වලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට ඔයාලගෙ දායකත්වය දෙන්නත් පුළුවන් මේ වෙලාවෙ.
6. දැනටමත් මේ සඳහා සහය වෙන්න මනෝ උපදේශනයන් සඳහා ඉදිරිපත්වී ඇති ආයතන
ලංකාවේ බොහොමයක් ආයතන මේ වෙනකොට විපතට පත් වෙලා ඉන්න අයට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනව. ඒ අතර මානසික සෞඛ්‍ය නගා සිටුවීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනත් ඉදිරිපත්ව සිටිනවා. පහතින් දැක්වෙන්නෙ දැනට එසේ සහය වීමට ඉදිරිපත් වී ඇති ආයතනයි. මේ අයට කතා කරන්න. ඔයාලට උදව් ලැබෙනවා නිසැකයි.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය
ක්ෂණික ඇමතුම් – 1926
සයිකොලොජි ලයිෆ් සෙන්ටර්
දොස්තර නයනානන්ද කුමාරනායක
නො.31 වුඩ්ලන්ඩ් ඇව්නිව්, කොහුවල.
දු.ක. 0772266928/0770844557
Leave a Reply