මේ දවස් වල ඉතින් ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරු පිළිබඳව විවිධ කතා අපේ සමාජයේ විවිධ ස්ථර වලින් ඇහෙන්න පටන් අරගෙන තියෙනවා. මේ කතාබහ වලදී ඇත්ත වගේම බොරුව සමාජගත වෙන එක නම් වළක්වන්න බැහැ. මේ නිසා අපි හිතුවා මේ වගේ අපේ සමාජයේ දැනට මුස්ලිම්වරුන් සහ ඉස්ලාම් දහම පිළිබඳව තියෙන මිත්‍යා මත කිහිපයක් පිළිබඳව කතාබහ කරන්න. ඒ වගේම ඒ පිළිබඳව ඇති නිවැරදි දේ ඔබත් එක්ක බෙදා ගන්න.
1. බුර්කාව අඳින්න කුරාණයෙන් කාන්තාවන්ට නියම කරලා තියෙනවද?
මේ දවස් වල බුර්කාව ගැන ඇහෙන කතන්දර බොහොමයක් තියෙනවා. පුවත්පත් සාකච්ඡාවකදී සුප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් බුර්කාවක් ඇඳලා මේ ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා ඔප්පු කරන්නත් උත්සාහ කරලා තිබ්බා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ බුර්කාව ඇඳීම කුරාණය තුළින් මුස්ලිම් කාන්තාවන්ට අනිවාර්ය කරලා තියෙනවාද කියන එක? ඒකට උත්තරේ තමයි ‘නැහැ’ කියන එක. එතකොට බුර්කාව මුස්ලිම් ජනතාව අතරට ආවේ කොහොමද කියන එක ඊළඟට ඇතිවෙන ප්‍රශ්නය වෙන්න පුළුවන්. මේ ගැන මුස්ලිම් ඉතිහාසඥයෝ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. මොහොමඩ් නබිතුමාගේ බිරින්දෑවරුන්ට මුල් කාලයේදී විවිධ ගැටලු ඇති වෙලා තිබෙනවා. මේ නිසා ඔවුන් තමන් එකිනෙකාගෙන් හඳුනාගත නොහැකි වෙන්න බුර්කාවට සමාන ඇඳුමක් ඇඳලා තියෙනවා. නමුත් නබිතුමා මේ බුර්කාව සියලුම මුස්ලිම් කාන්තාවන් ඇඳිය යුතුයි කියා කිසිවිටෙක නීතියක් පනවා නෑ. නමුත් ඇතැම් මුස්ලිම් බැතිමතුන් නබිතුමාගේ පවුල හා එම පිළිවෙළ අනුකරණය කිරීමට උත්සාහ කිරීම නිසයි මේ බුර්කාව කරළියට එන්නේ.
2. මුස්ලිම්වරු සහ අරාබිකාරයො
අපේ අයගේ දැඩි විශ්වාසයක් තියෙනවා මුස්ලිම්වරු ආවෙ අරාබියෙන් කියලත්. සාමාන්‍ය ව්‍යවහාරයේදී මුස්ලිම් සහ අරාබි කියන පද දෙක සමාන පද විදිහටත් භාවිතා වෙනවා. නමුත් මේ කතාවේ තියෙන්නේ අර්ධ සත්‍යයක්. මුස්ලිම් ආගම ආරම්භ වෙන්නේ අරාබියෙන් කියන එක ගැන විවාදයක් නෑ. ලංකාවට වෙළඳාම් කටයුතු සඳහා අරාබියෙන් මුස්ලිම්වරු පැමිණෙන්නට ඇති. නමුත් අපි අමතක කරන දෙයක් තමයි ඉන්දියාවේ විශාල මුස්ලිම් ජනගහණයක් ඉන්නවා කියන එක. ලංකාවේ බොහෝ මුස්ලිම් පවුල් වල ඉතිහාසය හාරා අවුස්සා බැලුවොත් ඔවුන් පැමිණිලා තියෙන්නෙ ඉන්දියාවෙන්. ඒ වගේම අද ලෝක ජනගහණය දිහා බැලුවොත් එහෙම පැහැදිලි වන දෙයක් තමයි සෞදි අරාබිය ජනගහණය අතින් වැඩිම මුස්ලිම් රටවල් අතර පළමු රටවල් 10 අතරවත් ඉන්නේ නෑ කියන එක. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සිටින රට වෙන්නේ ඉන්දුනීසියාව.
3. බිරින්දෑවරු හත්දෙනා
මේකත් අපේ සමාජයේ අයින් කරන්න බැරි තරමට මුල් බැස ගිය මිත්‍යා මතයක්. ඒ තමයි ඉස්ලාම් දහම වැළඳගත් කෙනෙක්ට බිරින්දෑවරු හත්දෙනෙක් අවාහ කරගන්න පුළුවන් කියන එක. නමුත් හොඳට හොයලා බැලුවොත් කිසිම මුස්ලිම් බැතිමතෙක් ඔය හත් දෙනාගේ කථාව පිළිගන්නේ නෑ. හැබැයි ඔයාට හිතෙන දේ එච්චරම වැරදිත් නෑ. හත වෙනුවට වැඩිපුර ‘ර’ අකුරක් දාගත්තා නම් හරි. හැබැයි කුරාණයේ නියම කරල තියෙන්නෙ මේ බිරින්දෑවරු හතර දෙනා ගන්න පුළුවන් ඒ හතර දෙනාටම එක හා සමානව සලකන්න ධනය සහ හැකියාව තියෙන අයට පමණයි කියලයි. උදාහරණයක් විදියට අපි හිතමු කෙනෙක් බිරින්දෑවරු දෙන්නෙක් ගත්ත කියලා. ඒ පුද්ගලයාට එක දවසක් එක බිරිඳක් ගාවත් ඊළඟ දවසේ ඊළඟ බිරිඳ ගාවත් ගත කරන විදිහට කාලය පවා සමානව බෙදා ගන්න වෙනවා.
4. අඩ සඳ සහ තරුව මුස්ලිම්ද?
අද වෙනකොට අඩ සඳ සහ තරු කියන සංකේත මුස්ලිම්වරුන් සමග බැඳිලා තියෙනවයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නමුත් මේ කතාවේ සුලමුල හොයලා බැලුවොත් එහෙම ඒක එහෙම නෙමෙයි කියන එක තේරුම් ගන්න පුළුවන්. මොහොමඩ් නබිතුමා කිසිවිටෙක අඩ සඳ සහ තරුව භාවිතා කරල නැහැ. නබිතුමා භාවිතා කරලා තියෙන්නේ මුස්ලිම් පාඨ ඇතුළත් කළු පැහැති කොඩියක්. අඩ සඳ සහ තරු ඇතුළත් කොඩියක් භාවිතා කරන්න පටන් අරගෙන තියෙන්නෙ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විසින්. පස්සේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්ත අධිරාජ්‍යය යටතේ හිටපු රටවලුත් තමන්ගෙ කොඩි සඳහා අඩ සඳ සහ තරු ලකුණු යෙදුවා. මේ රටවල් සියල්ලම පාහේ මුස්ලිම් රටවල් වූ නිසා, නිකංම වගේ අඩ සඳ සහ තරු මුස්ලිම් ජනතාව නියෝජනය කරන සලකුණු බවට පත්වුණා.
5. ගල් ගසා මැරීම
මේ ගල් ගසා මැරීම පිළිබඳව මුස්ලිම් විද්වතුන් පරස්පර මත පළ කරනවා. කුරාණය තුළ කිසිවිටෙකත් ගල් ගසා මැරීම දඬුවමක් විදිහට සදහන් කරන්නේ නෑ. උදාහරණයක් විදිහට කිවුවොත් අනියම් සම්බන්ධකම් පවත්වාගෙන ගිය අයට දඬුවම් විදිහට නියම කරලා තියෙන්නේ කස පහර ගැසීම. නමුත් කුරානයෙන් බැහැරව හදීත් නම් ආගමික ලේඛනවල ගල් ගැසීම දඬුවමක් විදිහට සඳහන් වෙනවා කියලා මුස්ලිම් විද්වතුන් මත පළ කරනවා. නමුත් අනිත් පාර්ශවය කියන්නේ කුරානයෙන් බැහැරව සඳහන් වන නිසා මේ මතය ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා.
6. මුස්ලිම් කාන්තාවන්ට නිවසේ දී හිරිහැර වෙනවාද?
සමාජයේ මුල් බැස ගිය මතයක් වෙන්නේ මුස්ලිම් කාන්තාවන්ට කිසිදු නිදහසක් නැති බවයි. ඒ වගේම පවුල් ඒකක ඇතුළෙත් මුස්ලිම් කාන්තාවන්ට විවිධ හිරිහැර වෙනවා කියන අදහස අපේ සමාජයේ තියනවා. නමුත් කුරානය තුළ ගෘහස්ථ හිංසනයට නම් කිසිම ඉඩක් නෑ.
7. කැමති කැමති විදියට ලිංගිකව එක්වෙන්න පුළුවන් ද?
බොහෝ දෙනා නොදන්නවා වුණාට ලිංගිකත්වය පිළිබඳව කුරානය තුළ සාකච්ඡා කෙරෙනවා. ඒ නිසා කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේ ලිංගික ආශාවන් වල යම් පාලනයක් ඉස්ලාම් දහම අපේක්ෂා කරනවා. උදාහරණයක් විදිහට ගුද සංසර්ගය ඉස්ලාම් දහම තුළ තහනම්. ඒ වගේම ඔසප් දිනවල සහ දරු ප්‍රසූතියෙන් පසුව ලිංගිකව එක්වීමත් තහනම්.
එහෙනම් මීට අමතරව ඉස්ලාම් දහම පිලිබඳව ඔයාට තියෙන ප්‍රශ්න ගැන comments section එකේ අහන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක share කරලා ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරු පිළිබඳව තියෙන මිත්‍යා මත දුරු කරන්නත් ඔයාට දායකවෙන්න පුළුවන්.
Leave a Reply