රටම කඳුලින් නැහැවුණු, අවිනිශ්චිත බවින් මැඩුණු මොහොතක ඔබගේ කාර්යය කුමක්ද?

මේ වෙනකොට අවුරුදු දහයකට පස්සේ ආයෙමත් අපේ හිත් කම්පා කරවපු, රටම කම්පනය කරවපු දිනයක් පහුවෙලා අවසානයි. මිනිසුන් සිය ගණනින් මිය ගිහින් අවසානයි. ඒත් 21 පාස්කු ඉරිදා උදෑසන පටන් ගත් කම්පනය, අවිනිශ්චිත බව තවමත් අවසාන වෙලා නැහැ. සිදුවීමට වගකිව යුත්තන් සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට අරගෙන අවසානද, මේ සිදුවීම් දාමයට නැවතීමේ තිත තියන්නට ආරක්ෂක අංශ සමත් වෙලාද කියන කාරණය සම්බන්ධයෙන් පවා කාටවත් සියයට සියයක් නිවැරදි පිළිතුරක් දෙන්නට පුළුවන් කමක් නැහැ.

මේ සිදුවීමෙන් ඔබත් අපත් කම්පනයට පත් වෙලා ඉන්නේ. සෝ බරිත වෙලා ඉන්නේ. ක්‍රෝධයෙන් පිපිරෙමින් ඉන්නේ. ඒත් ඇත්තටම අපි කරන්න ඕන මොනවද? නොකරන්න ඕන මොනවද? අන්න ඒ ගැන පොඩි හරි අදහසක් ලබාදෙන්න තමයි මේ ටික ලියන්නේ.

 

1. ඇඳිරි නීතිය

Image Source – independent.ie

මේ වෙනකොට රට පුරා ඇඳිරි නීතිය දින දෙකක් පුරාවට කඩින් කඩ පැනවුනා. ඉදිරියේදීත් ඇඳිරි නීතිය පැනවීම හෝ නොපැනවීම සිද්ධ වෙන්න පුළුවන්, පවතින තත්ත්වයේ වර්ධනයන් සමගින්. අන්න ඒ නිසා කරුණාකරලා ඇඳිරි නීතිය පැනවුනා කියලා නිල වශයෙන් නිවේදනය කරලා තියෙන වෙලාවන් වල එලිපහලියට යන්න තියාගන්න එපා. පුළුවන් තරම් ඇඳිරි නීතියට කලින් ගෙදර එන්න උත්සාහ කරන්න. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ඇඳිරි නීතියට කලින් එකතු කරලා තියාගන්න. කොහොමත් මේ ටිකේ කෑම බීම පොඩ්ඩක් දවස් දෙක තුනකට ස්ටොක් කරගත්තට කමක් නෑ.

 

2. හදිසි නීතිය

Image Source – france24.com

තත්ත්වය පාලනයට හදිසි නීතියේ ත්‍රස්තවාදී මර්දනයට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා සූදානම් වෙලා ඉන්නවා. මේ, 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ත්‍රස්ත මර්දනයට අදාළ හදිසි නීති විධිවිධාන තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ යටතේ තියෙන කරුණු කාරණා ගැනත් පුරවැසියෝ විදියට දැනගෙන ඉන්න එක වටිනවා.

  1. වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට
  2. නිශ්චල සහ චංචල දේපල රජයේ පාලනයට ගැනීමට
  3. සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීමට
  4. පවතින පොදු නීතිය අභිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට
  5. මෙම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැගෙන වැඩිමනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ.

හදිසි නීති රෙගුලාසි හෝ, එම රෙගුලාසි මත පනවන කිසිදු ආඥාවක්, දෙන නියෝගයක්, හෝ මඟ පෙන්වීමක්, කිසිදු අධිකරණය ප්‍රශ්ණ කිරීමට භාජනය කළ නොහැකි වන අතර හදිසි නීති විධිවිධාන යටතේ, එම රෙගුලාසි වලට අනුකූලව කරනු ලබන කිසිදු ක්‍රියාවකට එරෙහිව කිසිදු අධිකරණයක කිසිදු නඩු පැවරීමක්, නඩු විභාගයක්, හෝ අපරාධ විධිවිධාන ක්‍රියාවේ යෙදවීමක් කළ නොහැක.

 

3. සමාජ ජාල භාවිතය

මේ වෙනකොට යම් යම් සමාජ ජාල සේවාවන් භාවිතයට තාවකාලිකව රජයෙන් වැට බැඳලා තියෙනවා. ඒකේ මූලික අරමුණ වෙන්නේ අසත්‍ය තොරතුරු සහ ගැටුම් වලට තුඩු දිය හැකි ප්‍රචාරයන් සමාජ ජාලා ඔස්සේ පැතිර ගිහින්, තවත් නිවන්න බැරි ගිනි ඇතිවෙන එක වලක්වන්න. අන්න ඒ නිසා කරුණාකරලා තමන් කොයි ආකාරයකින් හෝ බෙදාහරිනා තොරතුරු ගැන නැවත හිතන්න. මේ වගේ මොහොතක අසත්‍ය තොරතුරු වලට තටු මැවෙනවා. අන්න ඒ නිසා කෙනෙක් එක්ක යම් තොරතුරක් කියන්න පවා කලින්, ඒ තොරතුර සත්‍යද කියලා තමන් පරීක්ෂා කරලා සෑහීමකට පත් වෙන්න. රජයේ සමාජ ජාලා තාවකාලික වාරණය මග ඇරලා යන්න පුළුවන් තාක්ෂණයන් ගැන අපිට කිසිම දෙයක් කියන්න බැහැ. හැබැයි මතක තියාගන්න, තවදුරටත් ඔබට හිතට එන හැමදෙයක්ම සමාජ ජාල තුල වාරණයක් ඇතිව හෝ නැතුව කියන්න බැහැ. ගැටුම් වලට තුඩු දෙන කරුණු කාරණා ප්‍රචාරය කළොත්, ඔබවත් හිරභාරයට ගන්න හැකියාවක් තියෙන බව මතක තියාගන්න.

ඒ වගේම කොයි තරම් ආවේගයන් හිතට ආවත්, රජය හෝ දේශපාලකයන් හෝ රජයේ නිලධාරීන් අගතිකාරීව විවේචනයට, ආක්‍රොශ පරිභව කිරීමට පෙර දෙවරක් හිතන්න. ඔබේ එම ක්‍රෝධය ඔබේ ඡන්දය සඳහා පමණක් තබාගන්න. ඔබට ඔබේ අදහස් සමාජ මාධ්‍ය ජාලා වල සඳහන් කිරීමට අවශ්‍ය නම් තාර්කික කරුණු පමණක්, ගැටළුකාරී තත්ත්ව පමණක් සඳහන් කරන්න. එසේ නැතුව ඔබගේ අදහස් හෝ බෙදාගැනීම් රටේ ආරක්ෂාවට හෝ පාලන තන්ත්‍රයට කිසියම් ආකාරයක හෝ හානියක් සිදුකරන්නේ නම් ඉන් වළකින්න. ඒ ඔබේම ආරක්ෂාව වෙනුවෙනුයි. හදිසි නීතිය ක්‍රියාත්මක වන බව අමතක නොකරන්න.

 

4. වග කියන්නට වුවමනා අනෙකා

Image Source – AP Photo/Chamila Karunarathnet

මේ මොහොතේ හැඟීම් දැනීම් තියෙන හැමදෙනෙක්ම ඉන්නේ කැකෑරෙන වේදනාවෙන්, ක්‍රෝධයෙන් වග අපිට තේරුම් ගන්න පුළුවන්. අපිත් එහෙම තමයි. හැබැයි, ඒ වේදනාව හෝ ක්‍රෝධය තමන්ගේ අසල්වාසියාගෙන් පිට නොකරන්න වග බලා ගන්න. ත්‍රස්තවාදයට සම්බන්ධයක් නොතිබෙන්නේ නම්, ඔබේ අසල්වැසියා බෞද්ධයෙකු වුවත්, දමිළයෙකු වුවත්, මුස්ලිම්වරයෙකු වුවත්, ක්‍රිස්තියානිවරයෙකු වුවත් ඔබේ අසල්වැසි සහෝදරයෙකු හෝ සහෝදරියක පමණක් බවත්, ඔබත් මමත් මෙන්ම මේ රටේ පුරවැසියෙකු පමණක් බවත් මතක තියාගන්න. ආගමික හෝ වාර්ගික ආතතීන්ට තුඩු දෙන, ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට මග පාදන කිසිමාකාරයක ක්‍රියාවක් නොකිරීමට හෝ ඒ සඳහා සහාය ලබා නොදීමට වග බලා ගත යුතුයි.

යම් හෙයකින් ත්‍රස්තවාදියෙකු බවට සැක කෙරෙන අයෙක් ඔබ දන්නවා නම්, කරුණාකර ඔබේ අතට නීතිය ගැනීමට නොගොස්, නිසි බලධාරීන්ට දැනුම් දෙන්න. නීති නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරනු ඇති. ඔබ ඉටු කළ යුත්තේ පුරවැසියාගේ වගකීම පමණයි.

 

5. ඔබ ආරක්ෂිතද?

Image Source – livemint.com

ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොදුවේ රටේ ආරක්ෂක අංශ විසින් ලබාදෙන ආරක්ෂාවට අමතරව, ඔබටත් ඔබේ ආරක්ෂාව සලසා ගන්නට හැකියි. ඇඳිරි නීතිය ඉවත් කළ වෙලාවන් වල පමණක් ඔබේ ගමන් සඳහා එළියට යන්න. හැකි තාක් විමසිල්ලෙන් පසුවෙන්න. සැකකටයුතු පුද්ගලයෙක්/පුද්ගලයන්, සැකකටයුතු බෑග්, පාර්සල් වගේ දේවල් දැක්කොත්, කරුණාකරලා ඔබ පරීක්ෂණ පවත්වන්නට නොයන්න. වහාම ඒ ස්ථානයෙන් ඉවත් වී අදාළ ආරක්ෂක අංශ වහා ඒ ගැන දැනුවත් කරන්න. කලහකාරී ලෙසින් හැසිරෙන්නන් සම්බන්ධයෙන් වුනත්, ඔබ කටයුතු කිරීමට නොගොස් ඒ වගකීම ආරක්ෂක අංශ වෙත පවරන්න.

 

6. ආරක්ෂක අංශ වෙත සහයෝගය

ආරක්ෂක අංශ මේ වනවිට සිය උපරිම උත්සාහයෙන් සිය රාජකාරි සිදුකරමින් සිටින්නේ, මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් සියල්ලෝම නීතියට හසුකරගැනීමට සහ ඒ ඔස්සේ ඉදිරියේ මෙවන් ව්‍යසනයන් සිදුවීම වැළැක්වීමේ අරමුණින් යුතුවයි. ඒ නිසා කරුණාකර ඔබේ හැකි උපරිම සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබාදෙන්න. කෙසේ වෙතත් ආරක්ෂක අංශ වෙත ලබාදෙන සහයෝගය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන්ගේ රාජකාරි ඔබේ අතට ගැනීම නොවන බවද සිහිතබා ගන්න. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ සෝදිසි මෙහෙයුම් වලට උපරිම සහයෝගය දීම, යම් සිදුවීම් ඇති ස්ථානයන්ගෙන් ඉවත්වන ලෙසින් ඔවුන් කරන ඉල්ලීම් ඒ ලෙසින්ම පිළිපැද ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඉඩ දීම, වෙනත් ආරක්ෂක අංශයන් මගින් කරනා ඉල්ලීම් වලට අවනත වීම් බව සිහි තබා ගන්න. එයින් ඔබේ එදිනෙදා ජීවිතයට යම් හිරිහැරයක් වීමට හැකි වුවත්, රටේ ආරක්ෂාව වෙනුවෙන් එය ඉවසන්න.

 

7. ශෝක වෙමු, සහාය වෙමු, නැගී සිටිමු

මේ වනවිට ජීවිත 300 කට ආසන්න ප්‍රමාණයක් නැතිවී අවසානයි. ඒ මියගියේද අපේම මිනිසුන් බව නොකිවමනායි. ඒ වෙනුවෙන් ශෝකයක් ඇති නොවන්නේ නම් පුදුමයි.

ඔබගේ ආගමික විශ්වාසයක් ඔස්සේ හෝ නැතිව හෝ මියගියවුන් වෙනුවෙන් ශෝක වන්න. එසේම ඔවුන්ගේ පවුල් වලට, තුවාල ලැබුවන්ගේ පවුල් වලට සහායක් වීමට හැකි අවස්ථාවක් වෙතොත් ඔබේ උපරිමය ඉෂ්ට කරන්න.

මෙම ම්ලෙච්ඡ ප්‍රහාරයට පසුව වුවත් රටක් ලෙසින් අප කෙතරම් එකමුතුද යන්න, අප බිම ඇද දැමුවත් වැටී නොසිටින බව, නැවතත් සාමූහිකව නැගී සිටිනා බව ලෝකයට පෙන්වා දෙන්නට නොපැකිලෙන්න. ත්‍රස්තවාදයට පිළිතුරු දිය හැක්කේ එක්සත් බවින් සහ ආදරයෙන් පමණක් මිස වෛරයෙන් හෝ පළිගැනීමෙන් නොවන බව නැවත නැවත සිහිපත් කරන්න.

Leave a Reply

Your email address will not be published.