ලාඕස මායිමේ සංසුන් නගරය නොන්කායි

තායි රට කියන්නේ ලංකාවෙ ඉඳන් පැය තුනක විතර ගුවන් ගමනකින් පිවිසෙන්න පුළුවන් රටක්. ඒත් ඈත අතීතේ පටන් ලංකාව සහ තායි රට අතර හොඳ සම්බන්ධතාවයක් තිබිල තියෙනවා. එකම ථෙරවාද ආගමක් අදහන තායිලන්තය ලංකාවේ අය යන්න කැමති සුපිරිම සංචාරක ගමනාන්තයක්. ඉතින් තායි රට කියද්දි පුකෙට්, බැංකොක්, පතායා ගැන නම් දන්න අය ඕනි තරම්. ඒවා ගැන විස්තරත් ඕනි තරම්. අපි අද ඔයාලට කියන්න යන්නේ තායිලන්තේ අප්‍රකට නගරයක් වෙන නොන්කායි ගැන. අපි ඒ ගැන විස්තර ටිකක් දැනකියාගමු.

1. නොන්කායි කොහෙද තියෙන්නේ?

Image Source – monpetitfour.com

තායිලන්තයේ ඊසාන දිග පළාත වෙන් වෙන්නේ මීකොන් ගඟෙන්. මීකොන් ගඟ චීනයෙන් පටන් අරන් තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය පසුකර මුහුදට වැටෙනවා. මේ මීකොන් ගඟ කියන්නේ තායිලන්තයේ ඊසාන දිග මායිම. ඉතින් නොන්කායි වලට තායි රටේ අගනුවර වෙන බැංකොක් ඉඳන් කිලෝමීටර 650ක් විතර තියෙනවා. තායි රටේ ඉඳලා ලාඕසයට ගොඩබිමින් යද්දි අවසානයට හමුවන තායි කඩමන්ඩිය තමයි නොන්කායි.

 

2. නොන්කායි වලට යන්නෙ කොහොමද?

ඊසාන දිග සහ නැගෙනහිර තායිලන්තය සාපේක්ෂව දකුණු තායිලන්තයට සහ බැංකොක් පතායා තියෙන මධ්‍යම තායිලන්තයට වඩා දුප්පත්. දුප්පත් වුනාට ඉතින් අපේ රටේ දුප්පත් පළාත් තරම් නම් සවුත්තු නැහැ. නොන්කායි වලට බැංකොක් වලින් බස් තියෙනවා. හැන්දෑවේ වායුසමන තට්ටු දෙකේ සැප බස් එකකට නැග්ගාම උදේට නොන්කායි වලින් බහින්න පුළුවන්. බස් ටිකට් එක බාත් 400-500අතර ගාණක් වෙනවා. කෝච්චියෙනුත් නොන්කායි යන්න පුළුවන්. ලාඕස මායිම දක්වා හැදුණු කෝච්චි පාරක් තියෙනවා. දුම්රියේ නිදාගෙන යන්න පුළුවන් වායුසමනය කළ බර්ත් එකක්  බැංකොක් සිට නොන්කායි දක්වා බාත් 800ක් විතර මිලයි. ඒත් සාමාන්‍ය අපේ රටේ සෙකන්ඩ් ක්ලාස් වගේ දුම්රිය මැදිරි අසුනක් නම් බාත් 200කට විතර වෙන්කරගන්නට හැකියි. කිලෝමීටර 650ක් ගොඩබිමින් යන්න ගියාම මහන්සියි. ඉතින් ගුවනින් යනව නම් නොන්කායි වලට ළඟම ගුවන් තොට උදොන් තානි. උදොන් ඉඳන් නොන්කායි වලට කිලෝමීටර 50ක් විතර තියෙනවා. ගුවන් ටිකට්  සති දෙකකට කලින් වගේ නම්  බාත් 600කට වුනත් වෙන්කරගන්න පුළුවන්.

 

3. නොන්කායි වල දේශගුණය

නොන්කායි ස්වභාවයෙන් හරිම ඌෂ්ණයක් තියෙන පළාතක්. වැවෙන ගහකොළ සහ ස්වරූපය අනුව ටිකක් ලංකාවේ හම්බන්තොට පුත්තලම දිහා වගේ. ඒත් ලංකාවට වඩා වාතෙය් ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. ඒ නිසා දාඩිය දාන එක ටිකක් අඩුයි. මේ දේශගුණ වෙනස නිසා හැම තැනම වගේ අයිස් එක්ක වතුර තියෙනවා. අයිස් දාපු බීම ජාති තියෙනවා. තේ කෝපි වුනත් අයිස් විදියට බොන්න තමයි නොන්කායි වගේ පැතිවල කට්ටිය මනාප. කෑම කඩ සහ ෂොපින් ඉවෙන්ට් ගොඩක් තියෙන්නේ රෑට. රෑ තමයි හැපනින්. සමහර විට දවල්ට තියෙන ග්‍රීෂ්ම කාලගුණය නිසා රාත්‍රී කාලයේ එලියට බහින එක නොන්කායි වැසියන්ගේ පුරුද්දක් වෙන්න ඇති.

 

4. සලා කෞ කු

සලා කෞ කු කියන්නේ නොන්කායි වල තියෙන සුපිරිම තැනක්. එතන සියුම් විදියට නිර්මාණය කළ බුදුපිළිම, හින්දු පිළිම, මහායාන පිළිම ආදිය ගොඩක් තියෙනවා. බුද්ධ චරිතයේ ඇතැම් තැන් නිරූපණය කරන ප්‍රතිමා ගොඩක් සලා කෞ කු වල තියෙනවා. මේ පිළිම නෙලලා තියෙන්නේ ලාඕසයේ ජනප්‍රිය මූර්ති ශිල්පියෙක්. ඔහුගේ නිර්මාණ වල අමුතුම හැඩයක් තියෙනවා. අපේ බුදුපිළිම වල තරම් කරුණාව, මෛත්‍රිය පෙන්නුම් වෙන් නැහැ. ඒත් නාගයින්, කන්‍යාවන්, අලි ඇතුන්, වෘකයින් ඇතුළත් මේ මහා මූර්ති කලාගාරය සහ පන්සල බලන්න වටින තැනක්.

 

5. නොන්කායි ඇක්වේරියම්

කොන් කේන් යුනිවර්සිටි එකේ මාළු සම්බන්ධ කොටසක් නොන්කායි වල තියෙනවා. ඉතින් ඒ කොටසේ ලස්සන ඇක්වේරියම් එකක් තියෙනවා. වැඩි ගාණක් නැහැ. ටිකට් එකක් බාත් දෙසීයක් වගේ ගාණක් වෙන්නේ විදේශිකයින්ට. ඒ පළාතට ආවේණික මාළු, තායි රටේ ඉන්න මාළු වගේම මූදු මාළු, මිරිදිය මාළු ආදී ගොඩක් මාළු ජාති දර්ශනීය විදියට බලාගන්න පුළුවන් නොන්කායි ඇක්වේරියම් එකේදි. බැංකොක් වලත් මේ වගේ ලස්සන ලස්සන මාළු ඉන්න ඇක්වේරියම් තියෙනවා. ඒත් ඊට වඩා පහසුවෙන්, ලේසියෙන්, මිලත් අඩුවෙන් නිවිහැනහිල්ලේ මාලු බලාගන්න හැකියි නොන්කායි ඇක්වේරියම් එකේදි.

 

5. මීකොන් ගඟ අසබඩ සිරි

මීකොන් ගඟ කියන්නේ පළාතේ තියෙන මූලිකම සලකුණ. තායි රට සහ ලාඕ රට වෙන්වෙන මේ සීමාව දෙවන ලෝක යුද්ධයේදී සරුවට යුධ ගිනි ඇවිළුණ පළාතක්. මේ මීකොන් ගඟේ නොන්කායි ටවුම දිහා තියෙන කොටස හරි ලස්සනට හදලා තියෙනවා. ඒ ගඟ අයිනේ පාරේ කොනේම ලස්සන විහාරස්ථානයකුත් තියෙනවා. ඒ විහාරස්ථානයේ චෛත්‍ය වහන්සේ ලාඕ සම්ප්‍රදායට අනුව නිමකරලා තියෙනවා. හැන්දෑවට මේ මීකොන් ගං ඉවුර හරිම සක්‍රිය තැනක්. පිරිසක් නැටුම් සහ ව්‍යායාම පුරුදු වෙනවා, පිරිසක් කනවා, තවත් අය බොනවා, නයිට් ක්ලබ් තියෙනවා, පංසලුත් තියෙනවා. කොහොම වුනත් අපේ ගෝල්ෆේස් වගේ තුන් හතර ගුණයක් දිග මේ නොන්කායි මීකොන් ගං ඉවුරේ හැන්දෑවට සෙට් වෙන මිනිස්සු තොගේ දැක්කාම ඇත්තටම පුදුම හිතෙනවා.

 

6. කෑම බීම ආදිය

තායිලන්තය කියන්නේ කෑම බීම නම් බොහොම සරුවට තියෙන තැනක්. තායි කෑම වල ටේස්ට් එකේ යම් යම් නොගැලපීම් තියෙනවා අපිට. ඒත් අමාරුවෙන් කාල කාල පුරුදුවුනොත් දිව තායි ෆුඩ් වලින් ගලවගන්න එක ලේසි නැහැ. තායි රටේ මේ නොන්කායි පළාතට ආවේණික කෑම තියෙනවා. එයින් එකක් තමයි නොන්කායි වල උයාගෙන කන්න තියෙන ඇටවුම. අඟුරු මගින් රත්වෙන පද්ධතියක් අපේ මේස උඩ ගෙනත් තියනවා. අපි ඒකෙ සුප් හදාගෙන, මස් ටික පුච්චගෙන, ඕනි නම් බියර් එකකුත් ගෙන්නගෙන ලාවට සෙට් වෙන්නයි තියෙන්නේ. පපායා සැලඩ්, නූඩ්ල්ස් සහ ලොකු පරාසයක කෑම ගොඩක් මේ පළාතේ තියෙනවා.

 

7. සංසුන් පළාත

මේ කලාපයේ බැංකොක් හෝ දකුණු තායි පළාතේ ඇතැම් මූදු වෙරළ කලාපයන්වල වගේ සංචාරකයෝ හෝ මිනිස්සු නැහැ. හරිම නිස්කලංකයි. දවල් කාලේ නෙමෙයි රාත්‍රියට වුනත් මීකොන් ගං ඉවුරේ පොදි පොදි මිනිස්සු නැහැ. ලොකු නිදහස් අවකාශයක් තියෙනවා. ඉතින් ඒ නිසා සංචාරක පළාත්වල කලබලයෙන් තොරව නිස්කලංකව ගත කරන්න කැමති කෙනෙක්ට හොඳ නිවාඩුවකට නොන්කායි පළාත ගැලපෙනවා.

 

8. වට් පෝ විහාරස්ථානය

නොන්කායි නගරයෙ තියෙන වට් පෝ සිද්ධස්ථානය මෑත කාලීනව ඉදිවූවක්. දෙවන ලෝක යුද්ධයේදී සංග්‍රාම භූමියකින් බුදු පිළිමයක් මීකොන් ගඟ ඔස්සේ වඩම්මනවා. ඒ බුදුපිළිමය එකපාර මේ නොන්කායි දිහාදි පාරුව අනතුරකට ලක් වෙලා ගිලෙනවා. ඉන් පස්සෙ ඒ පිළිමය වඩම්මලා මේ විහාරස්ථානය හදලා තියෙනවා. තායි මහ රජතුමාගේ ආශිර්වාදය ඇල්ම බැල්ම ලැබුණ මේ විහාරයට තායි බෞද්ධ ජනයා ආශිර්වාද ලබාගන්න, වැඳපුදාගන්න කණ්ඩායම් පිටින් එනවා.

 

සංචාරයට හැමෝම කැමතියි. ඒ අතර සමහර අය හැමෝම මාක් කරන ගොඩක් සංචාරකයින් පිරුණු තැන් වලට වඩා අලුත් නැවුම් තැන් වලට කැමතියි. ඒ වගේ අලුත් තැන් වලදි තායි ඇත්ත ලයිෆ් එක අපිට බලාගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම වියදමත් සෑහෙන අඩුයි. ඒ වගේ තායි රටේ හැමදාම බලන හැමෝම බලන තැන් නැතුව අලුත් ලස්සන නිස්කලංක දිහාවක් බලන්න ආසයි නම් නොන්කායි පළාත ඒකට කදිමෙට ගැලපෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *