ජාත්‍යන්තරයේ නම රන්දා අපිට ආඩම්බරයක් ලබාදුන් අපේ ඇත්තෝ

අද වෙනකොට ෆේස්බුක් අවකාශයේ ජාත්‍යන්තරයට යනවා කියන්නේ මොකක් හරි තමන් කරපු වැඩක් දාපු ස්ටේටස් එකක් නිසා කුප්‍රසිද්ධියක් ලබා ගන්න එකට. හැබැයි ඉතින් ඒ ජාත්‍යන්තරයට යෑම් නම් සිද්ධ වෙන්නේ ෆේස්බුක් එකේ අපි දන්න කියන අය අතරම තමයි. හැබැයි  අපි අද කතා කරන්න යන්නෙ මේ මෑත වකවානුව තුළ ලංකාවේ නම ජාත්‍යන්තර අවකාශයේ කියවන්න සලස්සපු, අපිට ආඩම්බරයක් ලබා දෙන්න සමත් වුණු අපේම ඇත්තෝ කීප දෙනෙක් ගැන.

 

1. නිශි උග්ගල්ල

Image Source – youtube.com

නිශි උග්ගල්ල ලොව පුරා කතාබහට ලක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ පැවැති Child Genius තරගයෙන් ජයග්‍රහණය කිරීමත් එක්කම. නිශි ගේ ජයග්‍රහණය තවත් සුවිශේෂි වුණේ ඇය ඇල්බට් අයින්ස්ටයින්ගේ I. Q Level එක ඉක්මවා යෑමත් එක්කම. නිශි ශ්‍රී ලාංකික දෙමව්පියන්ට දාව මහා බ්‍රිතාන්‍යයේ උපත ලබනවා. නමුත් නිශිගේ දෙමව්පියන් ඇයට තමන්ගේ මව් භාෂාව පිළිබඳව යම් දැනුමක් ලබා දෙනවා. ඒ වගේම සෑම වසරකම ශ්‍රී ලංකාවේ නිවාඩුවක් සඳහා රැගෙන එමින් ශ්‍රී ලංකාව සමග සබඳතා පවත්වාගෙන යනවා. නිශි කුඩා කාලයේ සිටම අසාමාන්‍ය බුද්ධි මට්ටමක් පෙන්වූ දරුවෙක් ලෙස සැලකෙනවා. ඇය සාමාන්‍ය දරුවෙක්ට වඩා පොතපත කියවීමට දැඩි උනන්දුවකින් යොමු වුණු දරුවෙක්. ඇගේ අනාගත බලාපොරොත්තුව වන්නේ භෞතික විද්‍යාඥවරියක් බවට පත්වීම.

 

2. යසන්ත රාජකරුණානායක

Image Source – theprint.in

යසන්ත රාජකරුණානායකගේ නම ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙන්න ගන්නේ ලෝකයේ ධන කුවේරයෙක් සිදු කරන එක්තරා ප්‍රකාශයක් නිසා. ඒ ධන කුවේරයා වන්නේ ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෝසෙස්. ජෙෆ් බෝසෙස් කියපු විදිහට ඔහු ප්‍රින්ස්ටන් සරසවියේ ඉගෙනුම ලබද්දි එක්තරා භෞතික විද්‍යා ගැටලුවක් විසඳීම අපහසු වෙනවා. විවිධ ක්‍රමවලට මේ ගැටලුව විසඳන්න උත්සාහ කළත් අපහසු නිසා ඔහු තමන්ගේ මිතුරෙක්ගේ සහය ලබාගන්න තීරණය කරනවා. ඒ මිත්‍රයගේ නම “යසන්ත රාජකරුණානායක”. මේ ගැටලුව දිහා ටික වෙලාවක් බලන් ඉන්න යසන්ත පිළිතුර ක්ෂණිකව කියනවා. මින් පුදුමයට පත්වෙන ජෙෆ් යසන්ත ගැන ආඩම්බරයට පත් වෙනවා. ඒ වගේම තමන්ට හොඳ භෞතික විද්‍යාඥයෙක් වෙන්න අපහසුයි කියලා තේරුම් ගන්නවා. ජෙෆ් කියන විදිහට ඒක ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒ වගේම ඔහු යසන්ත තමන්ට ප්‍රින්ස්ටන්වලදි මුණ ගැහුණු විශිෂ්ටතම මොළය විදිහට හඳුන්වනවා. ජෙෆ්ගේ මේ ප්‍රකාශය එක්ක ලොව පුරා මාධ්‍යවල යසන්ත පිළිබඳව පළ වෙනවා. මේ වෙනකොට යසන්ත MediaTek කියන සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරනවා. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ සහ මොරටුව සරසවියේ ආදි ශිෂ්‍යයෙක්.

 

3. සුසෑන් ඩි සිල්වා

Image Source – newshub.lk

සැම්සන්ග් සමාගම ඔවුන්ගේ නවතම ජංගම දුරකතනය වන SAMSUNG GALAXY S10 එළි දැක්වීමේ අවස්ථාවේදි ඉදිරිපත් කිරීමේ කෙටි දේශනය සිදු කිරීමට වේදිකාවට පැමිණියේ සුන්දර ලලනාවක්. ඇය සැම්සන්ග් දුරකථන සමාගමේ Mobile Product Strategy and Marketing අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. නමින් සුසෑන් ඩි සිල්වා වුණු ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වීම අපි හැමෝටම ආඩම්බරයක්. ඇය උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ Northwestern සරසවියේ.

 

4. ආශා ඩී වොස්

Image Source – ted.com

ආශා ඩී වොස් සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳව පළමු ආචාර්‍ය උපාධිය හිමි තැනැත්තියයි. විදෙස් සරසවි කීපයක උසස් අධ්‍යාපනය ලබා ඇති ඇය ආචාර්ය ලබා ගන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන්. බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් සංවිධානය කළ ලෝක ඇලුමි සම්මාන උලෙළේදි විශේෂ සම්මානයකට ලක් වීමත් සමගම ඇය පිළිබඳව ලොව පුරා කතාබහට ලක් වෙනවා.  ඇය නිල් තල්මසුන් සංරක්ෂණය වෙනුවෙන් සිදු කළ මෙහෙවර පිළිබඳව සමුද්‍ර ජීව විද්‍යා ක්ෂේත්‍රය තුළ විශේෂ ඇගයීමකට ලක්වීම ඒ මගින් සිදුවුණා.

 

5. කරීමා මරික්කාර්

Image Source – youtube.com

2018 බ්‍රිතාන්‍යයේ හැරෝ සඳහා නව නගරාධිපතිනියක් පත් වුණා. ඇයව පදවිය බාර ගැනීම සඳහා කැඳවා ගෙන ගියේ සිංහල ක්‍රමයට මඟුල් බෙර හඬ මධ්‍යයේ. නගරාධිපති තනතුරට පත්ව තිබුණේ බ්‍රිතාන්‍යය පුරවැසිබාවය ලද ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇය කරීමා මරික්කාර්. ඇය බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වගේම පළමු මුස්ලිම් සම්භවයක් සහිත කාන්තාව බවට පත් වුණා. මහනුවර උසස් බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති  ඇය පැවත එන්නේ දේශපාලන පවුලකින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ඇමතිවරයෙක් වුණු සී. ඒ. එස් මරික්කාර් ඇයගේ ළඟම ඥාතියෙක්. ඔහුව එවකට හැඳින්වුණේ සිංහල මරික්කාර් විදිහට. කරීමාත් බොහෝවිට ඔසරියෙන් සැරසී සිටීමට ප්‍රිය කරනවා.

 

6. අර්ජුන් කුමාරස්වාමි

Image Source – youtube.com

අර්ජුන් කුමාරස්වාමි ලංකාව ජාත්‍යන්තර තලයට ගෙනිච්චට ලංකාවේ එච්චර ජනප්‍රිය නෑ. නමුත් අර්ජුන්ගේ තාත්තා අපේ රටේ සුප්‍රකට චරිතයක්. ඔහු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහබැංකු අධිපතිවරයා. අර්ජුන් ජනප්‍රිය වෙන්නේ R&B සහ පොප් ගායකයෙක් විදිහට. අර්ජුන් කරලියට එන්නේ “Why this Kolaveri D” ගීතයට කවර් වර්ෂන් එකක් කිරීමෙන්. 2016 වසරේ වැඩිම වාර ගණනක් නැරඹුව බ්‍රිතාන්‍ය ආසියාතික යූ ටියුබ් තරුව බවට පත්වෙන්නේ අර්ජුන්. ඒවගේම අපිට මීටර් නැති වුණාට 2012 ICC ලෝක කුසලාන නිල ගීතයට භාතිය සහ සන්තුෂ් සමග එකතු වෙන්නේ අර්ජුන්

 

7. චමත් පලිහපිටිය

Image Source – fortune.com

1976 දී ලංකාවේදි උපන් චමත්ට වයස අවුරුදු හය පිරෙද්දි දෙමව්පියන්  ඇමරිකා එක්සත් ජනපදයට යනවා. එතැන් ඉඳන් චමත්ගේ ජීවිතය වෙනස් වෙනවා. Facebook පටන් ගනිද්දි ෆේස්බුක් පරිශීලකයන් වැඩි කිරීම පිළිබඳව කටයුතු කරන ප්‍රධානියා බවට චමත් පත් වෙනවා. වසර කීපයකින් ඔහු ෆේස්බුක් වෙත ආකර්ෂණය වන පිරිස බිලියනයක් දක්වා ගෙන යනවා. පසුව ඉන් ඉවත් වෙන චමත් Social Capital නමින් තමන්ගෙම සමාගමක් පටන් ගන්නවා. මෑතකදි චමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. ඒ ෆේස්බුක් නිසා සමාජ සබඳතා බිඳ වැටී සමාජය තව තවත් අවුලෙන් අවුලට යනවා කියලා. මීට පිළිතුරු විදිහට ෆේස්බුක් සමාගමට වෙනමම නිවේදනයක් නිකුත් කිරීමට පවා සිදු වුණා. චමත් ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීමටත් ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කරනවා.

මේ ජාත්‍යන්තරයට ගිය අපේ ඇත්තන්ගෙන් කීපදෙනෙක් විතරයි, තව අටෝරාසීයක් විතර ඉන්නවා. ඒ අය ගැනත් අපි ඉඩ ලැබුණු දොහක කතා කරමු. එහෙනම් මේ ආටිකල් එක ෂෙයාර් කරලා එහෙම අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා.

zvr
Your Reaction

Comments