ඉතිහාස කතන්දරවල සඳහන් වන සුප්‍රසිද්ධම අසිපත් 7ක්

“යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද?” කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු කියමනක්. අද වෙද්දි කඩු පාවිච්චියක් නැති වුණාට අපේ අතීත මුතුන්මිත්තෝ රණකාමීන් විදිහට කඩුවලට දක්වපු බැඳියාව ගැන මේ කියමනෙන් අපිට පැහැදිලි වෙනවා. මට සිංහල කඩුවක් දෙව, මේ කඩුව සිංහල පටුත්වය ඇත්තක් නොවේ” මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ එක අවස්ථාවක කරපු ප්‍රකාශයක් ගැන මහාවංශයේ එනවා. ඒ වගේම දෙවෙනිපෑතිස් රජ්ජුරුවන්ට ධර්මාශෝක අධිරාජ්‍යයා එවපු තෑගි අතර කඩුවකුත් තිබ්බා කියලා කියවෙනවා. ඒ වගේම රජ කෙනෙක්ගේ ආධිපත්‍යය ප්‍රකාශ කරන පංච කකුධ භාණ්ඩ අතර ප්‍රධාන තැන ගන්නේ මඟුල් කඩුව. (ඡත්‍රය හෙවත් සේසත, වල්විදුනාව හෙවත් චාමරය, නළල්පට සහ මිරිවැඩි සඟල පංච කකුධ භාණ්ඩවලට අයිති අනෙකුත්  රාජකීය භාණ්ඩ හතර). ඒ වගේම අද දක්වාම පොඩි ළමයෙක් ඉපදුණාම බෙල්ලට දාන පංචායුධයටත් කඩුව ඇතුළත් වෙනවා. විහාර මහා දේවියට දුටුගැමුණු කුමාරයාව හම්බවෙන්න ඉද්දී ඇතිවුණු දොළ දුක ගැන කියද්දිත් කඩුවක් සම්බන්ධ වෙනවා. අපේ රටේ රණශූරයෝ විතරක් නෙමෙයි යුද්ධයේදි අසිපත් භාවිතා කරමින් සටන් කරන්න අලිඇතුන්ව පවා පුරුදු පුහුණු කරලා තිබ්බා කියලා විදේශිකයන්ගේ වාර්තාවල වගේම චිත්‍රවලිනුත් අපිට උදාහරණ හම්බ වෙනවා. අපේ පොත්පත්වල අපේ රටේ පාවිච්චි වුණු කඩු වර්ග පිළිබඳව දීර්ඝව සඳහන් වෙනවා. “රන්කඩු, රිදී කඩු, මිණිකඩු, සත්රුවන් කඩු, අපරා කඩු, ගුදාජර කඩු, පඩි කඩු, වඩිග කඩු, ජින කඩු, මලය කඩු, මඳුර කඩු, තෙළිගු කඩු, ජාවක කඩු, වංග කඩු, ධවල කඩු, වක්‌ කඩු, දික්‌ කඩු” මේ කඩු වර්ග අතරින් කීපයක්. මේ පරණ කතා කොහොම වුණත් මෑත කාලෙකදී කඩු ගැන කතාබහකින් මුළු රටම ගැස්සිලා ගියේ අපේ කෞතුකාගාරයේ සිද්ධ වෙච්ච කඩු සොරකමක් නිසා. ඒ හොරකමේ හොරා කවුද කියන ගැන එකේක කොන්ස්පිරසි තියරී රාශියක් අපේ අය ගොඩ නැගුවා. හැබැයි ඔයිටත් වඩා දරුණු අසිපත් හොරකමක ඊළඟට මොකකින් මොකක් වෙයිද කියලා ඊළඟ සතිය වෙනකන් බලන් හිටපු සූටි කාලේ පහු කරලා තමයි අපි අද වැඩිහිටියෝ වෙලා ඉන්නේ. ඒ තමයි රොබින්හුඩ්ගෙන් ඇල්බියොන් අසිපත හොරකම් කරන්න සාතන්ට කැප වුණු පූජකවරියෝ පිරිසක් ගත්ත උත්සාහේ. මේ කතාබතා කිව්වේ අපේ මූලික කතා බහට පොඩි ප්‍රවේශයක් විදිහට. ඒ තමයි ලෝක ඉතිහාසයේ අපිට මුණ ගැහෙන සුප්‍රකට අසිපත් කීපයක් ගැන අපි අද ඔයත් එක්ක කතා කරනවා. මේ අසිපත් සම්බන්ධව විවිධ විශ්වාස පද්ධතියකුත් ගොඩ නැගිලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු

 

1. එක්ස්කැලිබර් අසිපත

Image Source – thevintagenews.com

බටහිර ජනප්‍රවාදවල එන ප්‍රසිද්ධම අසිපත තමයි, “එක්ස්කැලිබර්”. මේ අසිපත දරපු වීරයා තමයි ආතර් රජ්ජුරුවෝ. ඔව් ඔව් අර වට මේසයේ හිටපු කෙනා තමයි. එක්ස්කැලිබර් අසිපත ආතර්ට හම්බ වුණු විදිහ ගැන ජනප්‍රවාද දෙකක් තියෙනවා. එකක් තමයි මේ අසිපත ගලක් ඇතුළේ ගිලිලා තිබ්බා සහ ආතර් රජු ඒ අසිපත ඉන් එළියට ඇදලා ගත්තා කියලා. අනික් ජනප්‍රවාදය තමයි විල් දියේ ආර්යාව (Lady of the lake) ආතර් රජුට මේ අසිපත දුන්නා කියලා. සමහර තැන්වලදි කියන්නේ මේ අසිපත් දෙකක් කියලා. කොහොම වුණත් මරණාසන්න අවස්ථාවේදී ආතර් රජතුමා “එක්ස්කැලිබර්” අසිපත නැවතත් විල් දියේ ආර්‍යාව හිටපු විලටම විසික් කරන්න කියලා තමන්ගේ නයිට්වරයෙක්ට උපදෙස් දුන්නලු. ජනප්‍රවාදයේ හැටියට (අපේ රාවණා රජ්ජුරුවෝ වගේ) ආතර් රජ්ජුරුවොත් නැවතත් එක්ස්කැලිබර් අසිපත අරන් මේ ලෝකෙට එනවලු.

 

2. කුසනගි අසිපත

Image Source – youtube.com

මේ කුසනගි අසිපත දෙවියෝ දුන්න අසිපතක් විදිහට තමයි විශ්වාස කරන්නේ. ජපාන අධිරාජ්‍යයා අභිෂේක ගන්වද්දි කුසනගි අසිපත, කැඩපතක් සහ විශේෂ ආභරණයක් භාවිතා කරනවා. නමුත් මේ රාජකීය වස්තුන් සාමාන්‍ය ජනතාවට දැකබලා ගන්න නම් වරමක් නෑ. කොටින්ම මේ වස්තුන් කොහෙද තියෙන්නේ කියලා දන්නේ ජපානයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙක් පමණයි. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ෂින්ටෝ පූජකවරු කීප දෙනෙක් මේ වස්තුන්වල ආරක්ෂාව බාරව කටයුතු කරනවා කියලා. සමහර වාර්තාවල හැටියට කුසනගි කඩුව බොහෝ වසර ගාණකට කලින් නාවික සටනකදි මුහුදුබත් වෙලා තියෙනවා. ඒ වෙනුවට අසිපතේ අනුරුවක්ලු දැන් තියන්නේ. කොහොම වුණත් දෙවෙනි ලෝක යුද්ධය අවසානයේදී ජපානය යටත් වෙද්දි හිරුහිතෝ අධිරාජ්‍යයා කුසනගි කඩුව ඇතුළු රාජකීය භාණ්ඩ ආරක්ෂා කරන්න විශේෂ වැඩ පිළිවෙළක් යෙදෙව්වා කියලා කියවෙනවා.

 

3. ඩුරන්ඩල් අසිපත

Image Source – ancient-origins.net

මේ අසිපත අයිති වෙලා තියෙන්නේ චාලිමේන් අධිරාජ්‍යයාගේ ප්‍රධාන සෙන්පතියෙක් වුණු රෝලන්ඩ්ට. ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ අසිපතට ශුද්ධවන්තයින් හතර දෙනෙකුට සම්බන්ධ ධාතුන් එකතු කරලා තියෙනවා. මරියතුමියගේ සළුවෙන් කොටසක්, ශුද්ධ වූ ඩෙනිස්ගේ හිසකෙස්, ශුද්ධ වූ බැසිල්ගේ රුධිරය සහ ශාන්ත පීතරතුමාගේ දතක් මේ කඩුවට සම්බන්ධ කරලා තියෙනවා. මේ නිසා මේ කඩුවේ අසීමිත ශක්තියක් ගැබ්වෙලා තිබ්බලු. පිරනීස් කඳුවැටියේ ප්‍රපාතයක් ඇති වෙන්න මේ කඩුවෙන් වැදුණු පහරක් හේතුවුණා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.

 

4. ගව්ජියෑන් අසිපත

Image Source – zmescience.com

මේ අසිපත පුරාවිද්‍යාඥයන් කණ්ඩායමකට හම්බවෙන්නේ චීනයේ සිදු කරපු සොහොන් ගැබක් කැණීමකින්. ඒ ගව්ජියෑන් කියන අධිරාජ්‍යයාගේ සොහොන. රජ කෙනෙක්ගේ හරි අධිරාජ්‍යයකුගේ හරි සොහොනකින් අසිපතක් හම්බ වෙන එක සාමාන්‍ය දෙයක් වුණාට මේ සොයා ගැනීමේ යම් විශේෂයක් තිබ්බා. ඒ තමයි අවුරුදු දෙදහසක් ගත වෙලත් මේ කඩුවේ මළ බැඳීමක් සිද්ධ වෙලා තිබ්බේ නෑ. ඒ වගේම මේ අසිපත ස්පර්ශ කරපු පුරාවිද්‍යාඥයෙකුගේ ඇඟිලි තුවාල වෙලා ලේ ගලන්න ගත්තා. මේ අසිපතේ තාක්ෂණය ගැන විවිධ පර්‍යේෂණ වුණා වගේම මේ අසිපත චීනයේ ජාතික වස්තුන් නාමාවලියටත් එකතු වුණා.

 

5. චන්ද්‍රහාස අසිපත

Image Source – daily.social

මේ අසිපත දැරුවේ අපේ රටේ කෙනෙක්. ඔව් ඒ අපේ රාවණා රජතුමා. කතාවේ කියන විදිහට රාවණා රජතුමා දඬු මොණරයේ නැගලා මුළු ලෝකේ වටේ දවසක් සංචාරයේ යෙදෙනවා. එහෙම යද්දි ශිව දෙවියෝ වැඩ වෙසෙන කෛලාස කූටය මුණ ගැහෙනවා. ආඩම්බර රාවණා කෛලාස කූටයට තමන්ගේ මාර්ගයෙන් ඉවත් වෙන්න කියලා අණ කරනවා. කෛලාසය නිසොල්මන්ව හිටපු නිසා රාවණා කෛලාස කූටය උගුල්වන්න උත්සාහ කරනවා. මේක දකින ශිව දෙවියෝ කෛලාසයෙන් කොටසකින් රාවණාගේ ඇඟ යට කරනවා. තමන් කරපු දේ ගැන කණගාටු වෙන රාවණා ශිව දෙවියන්ව සමා කරගන්න ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රය ගායනා කරනවා. මේ ස්ත්‍රෝතයට ප්‍රසාදයට පත් වෙන ශිව දෙවියෝ තමන්ගේ “චන්ද්‍රභාස” අසිපත රාවණාට පරිත්‍යාග කරනවා

 

6. ජොයුසස්

Image Source – louvre.fr

ජොයුසස් මේ ප්‍රංශ රජවරුන්ගේ රාජකීය අසිපත, විශේෂයෙන් රජවරුන්ගේ ඔටුනු පැළඳීමේ උත්සව අවස්ථාවලදී මේ අසිපත භාවිතා වෙලා තියෙනවා. ප්‍රංශ ලේඛනවල හැටියට මේ චාලිමේන් අධිරාජ්‍යයාගේ අසිපතම අතින් අතට ගිහින් ප්‍රංශ රජවරු අතට එන්නේ. ඒත් චාලිමේන් අධිරාජ්‍යයාගේ අසිපතේ කොටස් කීපයක් එකතු කරලයි මේ අසිපත හදලා තියෙන්නේ කියලත් මතයක් තියෙනවා. මේ වෙනකොට මේ අසිපත ලූවර් කෞතුකාගාරයේ තැන්පත් වෙලා තියෙනවා.

 

7. සුල්ෆිකාර්

Image Source – turbosquid.com

සමහර මුස්ලිම් සංකේත අතර එක්ස් හැඩේට තියෙන කඩු දෙකක් ඔයා දැකලා ඇති. හොඳට බැලුවොත් පැහැදිලි වෙයි, ඒ තියෙන්නේ තල දෙකකින් යුක්ත කතුරක් හැඩය ගත්ත තනි කඩුවක් කියලා. මේ කඩුවට කියන්නේ සුල්ෆිකාර් කියලා. මුස්ලිම් ජනප්‍රවාදවල හැටියට මොහොමඩ් නබිතුමා තමන්ගේ බෑනා වුණු අලීට ලබා දුන්න කඩුව තමයි ඒ.

ඔන්න ඔහොමයි සුප්‍රකට කඩුවල වතගොත. වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *