ලංකාව හැරුණුකොට අප්‍රේල් මැද අවුරුදු සමරන වෙනත් රටවල්

සිංහල අවුරුද්ද උදා වන්නේ අප්‍රේල් මස 14 වැනිදාය. මෙය අප සිංහල අවුරුද්ද ලෙස සමරනවා මෙන්ම මෙම කාලයේදීම ඉන්දියාවේ පළාත් ගණනාවක මෙන්ම අග්නිදිග ආසියානු රටවල් කිහිපයකම අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරනු ලැබේ. සමරන චාරිත්‍ර වාරිත්‍ර ආදිය වෙනස් වුවත් ඔවුන්ද ඔවුන්ගේ සාම්ප්‍රදායික අළුත් අවුරුද්ද උදාව ලෙස අප්‍රේල් මස මැද කාලය සලකනු ලැබේ. අපි එවැනි අප්‍රේල් මස මැද කාලය අලුත් අවුරුදු ලෙස සමරන දේශයන් කිහිපයක් ගැන මදක් සොයා බලමු.

 

1. තායිලන්තය

Image Source – samuidays.com

තායිලන්තයේ සෝන්ග්ක්‍රන් ෆෙස්ටිවල් ලෙස අලුත් අවුරුදු කාලය හඳුන්වනවා. ඒ කාලය යෙදෙන්නෙත් අපේ අවුරුදු කාලය වෙන අප්‍රේල් 13-15 කාලසීමාවේමයි. වතුර වලින් ගසා ගැනීම්, ගිනිකෙළි සංදර්ශන ආදියෙන් ඒ කාලය වර්ණවත් වෙනවා. ජලය මූලික වූ මෙම උත්සවය දැකබලාගැනීමට තායි රටට එන සංචාරකයින්ද ලොකු උනන්දුවක් දක්වනවා.

 

2. නේපාලය

Image Source – himalayanst.com

නේපාලය කියන්නේ ඉන්දියාවට සහ චීනයට මැදිවෙච්ච මූදක් නැති කඳුකර රටක්. නේපාලය හින්දු සංස්කෘතිය මුල් බැසගත් රටක්. නේපාලයෙත් අප්‍රේල් 11 සිට 15 වැනිදා දක්වා අලුත් අවුරුදු සමරනු ලබනවා. නේපාලයේ දැනට භාවිතා වෙන කැලැන්ඩරය පටන් ගන්නෙත් අප්‍රේල් 14 වැනිදායින්. එනම් පාසැල් සහ රජයේ ඇතැම් කාර්යාලවල අලුත් අවුරුද්දට වැඩ පටන් ගන්නෙත් අප්‍රේල් 14 වැනිදා. මේ කාලයට නේපාල රටේ ජීවත්වන ජනයා තමුන්ගේ නෑදැයින් බලන්න යනවා. කට්ටිය එකතු වෙලා ලස්සන තැන් බලන්න යන්නත් නේපාල ජනයා වර්තමානයේ මේ අවුරුදු කාලය යොදාගන්නවා.

 

3. මියන්මාරය

Image Source – vistamyanmartravels.com

මියන්මාරයද අප ලංකාව මෙන්ම බෞද්ධ සංස්කෘතියක් ඇති රටක්. එහි තවමත් චන්ද්‍රමාස ක්‍රමය අනුව අලුත් අවුරුද්ද සැමරීම සිදු වෙනවා. තායිලන්තයේ ආකාරයටම මියන්මාර අලුත් අවුරුද්ද සැමරීමට ජලය විසිකිරීමේ ඉසව් තියෙනවා. මග තොට එක් රැස්වී එකිනෙකාට ජලය ඉස ගනිමින් ඔවුන් මියන්මාර අලුත් අවුරුදු උත්සවය සමරනවා. සාමාන්‍යයෙන් අප්‍රේල් මස 17 වැනිදාට මියන්මාර අලුත් අවුරුදු උත්සවය යෙදෙනවා. මියන්මාරයේ අප්‍රේල් මස 13දා සිට 17 දක්වා අලුත් අවුරුදු සැමරීම සඳහා නිවාඩු ලබා දෙනවා.

 

4. ලාඕසය

Image Source – luangprabang2day.blogspot.com

බුන් පි මායි ලෙසින් ලාඕස අවුරුදු උළෙල හැඳින්වෙනවා. අප්‍රේල් මස 13-15 අතර හෝ අප්‍රේල් 14-16 අතර ලාඕ අලුත් අවුරුද්ද යෙදෙනවා. එහිදී අවුරුදු සඳහා තිබෙන දින තුනෙන් පළමු දවස පෙර වසරේ අවසාන දිනය ලෙස සැලකෙනවා. දෙවන දවස හෙවත් මැද දවස ලොවෙත් නැති දවසක් හෙවත් ඩේ ඔෆ් නෝ ඩේ ලෙස දක්වලා තියෙනවා. තුන්වැනි දිනය හෙවත් අප්‍රේල් 15 හෝ 16 දින ඊළඟ අවුරුදු උදාව ලෙස ලාඕ වැසියන් සලකනවා. ලාඕ අලුත් අවුරුද්ද බෞද්ධ ආගමික චාරිත්‍ර සහ ජල ක්‍රීඩා ඇතුළත් සංස්කෘතික අංග වලින් පිරිපුන් අවුරුදු කාලසීමාවක්.

 

5. ඉන්දීය පන්ජාබය

Image Source – sareez.com

ඉන්දීය පන්ජාබයේ සික් ජාතිකයින් පෙනුමෙන් මෙන්ම සංස්කෘතික අංග වලිනුත් අනන්‍ය වූ ලක්ෂණ පෙන්වන ඉන්දියාවේ ජන වර්ගයකි. සික්වරුන්ගේ අලුත් අවුරුදු උත්සවයද මෙම අපේ අවුරුදු සමරන අප්‍රේල් මස 13-14 කාලයට යෙදේ. සික් ජාතිකයින් පන්ජාබ් පළාතේදි සමරන අවුරුදු උත්සවය වෛසාඛි ලෙස හඳුන්වනවා. ඔවුන් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී අවුරුදු කාලයට මහ මග උත්සව, පෙරහැර ආදිය පවත්වනවා. එසේම රසමසවුළු වලිනුත් එකිනෙකාට සංග්‍රහ කරගන්නවා.

 

6. බෙංගාල අලුත් අවුරුද්ද

Image Source – en.wikipedia.org

බෙංගාලය යනු ලොව ජන ඝණත්වය වැඩිම සරුසාර පළාතක්. ඉන්දීය බෙංගාලයේ සිට සංක්‍රමණය වූ විජය ඇතුළු පිරිසකගෙන් ලංකාවේ සිංහල ජනයා සම්භවය ඇති වූයේ යැයි පිළිගැනීමක් තියෙනවා. 2019 දී බෙංගාල කැලැන්ඩරය අනුව 1425 වෙනි අවුරුද්ද උදා වෙනවා. බෙංගාලි ජනයාද අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා, කැවිලි පෙවිලි පිළියෙළ කරනවා. වැඩිහිටියන් වන්දනාමාන කොට ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගන්නවා. බෙංගාල අලුත් අවුරුද්දද අප්‍රේල් මස 14 වැනිදාම සමරනවා.

අලුත් අවුරුදු කාලයට විවිධාකාර ලාංකික මාධ්‍යයන් හි අලුත් අවුරුදු සැමරීම, එහි ඉතිහාසය සහ එදා ගම ගැන විස්තර කතා කරනු ලබනවා. එහෙත් මේ කාලයට අවුරුදු යෙදෙන අනෙක් දේශ දේශාන්තර සහ ඒවායේ අවුරුදු සැමරීම් ගැන කතා වන්නේ අඩුවෙන්. රාශි චක්‍රය අනුව, පුරාණ ශකරාජ කැලැන්ඩරය අනුව අපේ අලුත් අවුරුද්ද සහ චාරිත්‍ර ආදිය නිම වී තිබෙනවා. සිංහල අවුරුදු කාලය අපට විතරක් නිවාඩු සහ උත්සව තියෙන කාලයක් නොවන බව ඔබට මේ හරහා පැහැදිලි වෙන්නට ඇති. ඉතින් ඔබටත් මේ අප්‍රේල් මැද අලුත් අවුරුදු කාලයේදී ලෝකයේ අපි තනිවී නොමැති බව මේ හරහා අවබෝධ වන්නට ඇති.

zvr
Your Reaction

Comments