බෝඩිමක් තෝරාගනිද්දි මේ ගැනත් සිතමු

සල්ලි තියේ නම් බෝඩින්ද නැත්තේ? ඔව්. සල්ලි ගොඩක් තියෙන අයට පුළුවන් කොළඹ තියෙන උස ගොඩනැගිල්ලක සුපිරි අපාර්ට්මන්ට් කෑල්ලක් අරන් සනීපෙන් වැඩට එන්න. ඒත් අපි සීයට 95%කට වඩා පිරිසකට කොළඹ උස සැප එපාර්ට්මන්ට් වලට යන ගාස්තු එක්ක හැරෙන්න බැහැ. ඒ නිසා අපි කරන්නේ කොහෙන් හරි කාමර කෑල්ලක් අරගෙන වැඩට යන එක. ගෙදර ඉඳල රස්සාවට එනවා තරම් සනීපයක් තවත් නැහැ. ඒත් ඉතින් ගෙදර හමුවෙන්නේ වැඩ කරන තැන ඉඳලා පැය 3-4 බස් එකක, කෝච්චියක ගියාම නම් එතනදි අපිට ගෙදර ඉඳන් වැඩට යන්න අමාරුයි. එතකොට අපි බෝඩිමක් හොයනවා. බෝඩිමක් හොයද්දි මොනාද ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕනි? අපි ඒ ගැන බලමු.

 

1. වැඩකරන තැන සිට දුර

Image Source – geeksforgeeks.org

කොළඹ කොටුව පිටකොටුව ගාලුපාර අසල වගේ බෝඩින් ප්ලේස් මිල අධිකයි. ලැබෙන්නෙත් කුඩා අවකාශයක්. ඒ වගේ වෙලාවට අපි ටිකක් දුරින් බෝඩිමක් හොයාගෙන එතන සිට කාර්යාල කටයුතු හෝ අධ්‍යාපන කටයුතු වලට එනවා. වර්ක් කරන තැන රේල් පාරකට කිට්ටුයි නම් ගොඩක් අය රේල් පාරක් අසබඩ කැළණිය, රාගම අතර ස්ටේශන් එකක් ළඟ බෝඩ් වෙනවා. නැත්නම් කැළණිවැලි දුම්රිය මාර්ගයේ හෝ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය නැවතුම් අසල බෝඩ් වෙනවා. කෝච්චි ගමන ට්‍රැෆික් සහිත බස් ගමනට වඩා පහසුයි. ඒ නිසා කෝච්චියේ ඇවිත් එන එක පහසු නම් ළඟපාත කෝච්චි ස්ටේශන් එකක් ළඟ බෝඩිමක් තෝරාගැනීම හැම අතින්ම වාසියි. සරලවම ලංකාවේ මොන තූත්තුකුඩියක වැඩ කළත් බෝඩිමක් ගන්නවා නම් වැඩකරන තැනට බෝඩිමේ ඉඳලා යන්න යන වෙලාව ගැන සැලකිලිමත් වෙන එක වටිනවා.

 

2. බෝඩිමේ ඉන්න සැට් එක

Image Source – bodimeapekatha.blogspot.com

බෝඩිමේ ඉන්න අය අපේම යාලුවෝ නම් ඉතින් හැමදාම බොන්න සෙට් වෙනවා. ගෑනු ළමයි සෙට් එකක් වුනත් හැමදාම කන්න බොන්න ෂොපින් යන්න සෙට් වෙන කණ්ඩායමක් නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි. කාල බීල සතුටින් ඉන්න ඕනි, ඒක ජීවිතේට උවමනයි. ඒත් සල්ලි ටිකක් ඉතුරුකරගෙන අපි කවදාහරි ස්ථාවර වෙන්නත් ඕනි. ඒ නිසා නිතර සෙට් වෙන, නිතරම වියදම් යන යාලුවෝ එක්කද ඉන්න වෙන්නේ කියලා හොයාල බලන එක වටිනවා. යාලුවෝ දාල යන එක අමාරුයි. ඒත් අපිට දරන්න අමාරු වියදම් සෙට් වෙන යාලුවෝ හැමදාම අපිව ණයකාරයෙක් කරන්නත් ඉඩ තියෙනවා.

 

3. බෝඩිම අවට පරිසරය

Image Source – tripsavvy.com

ඔබේ කණ කම්මල් වල සද්දෙට හුරු නම් බෝඩිම තියෙන්නේ කම්මලක් ගාව වුණත් ඔයාට කිසිම අවුලක් නැහැ. සමහර වෙලාවට සමහර පරිසර වල අපිට ජීවත්වෙන්න ලේසියි. සමහර පිරිස් අවට අය එක්ක කතා බහ කරලා ආශ්‍රය කරලා ටිකක් දුප්පත් මිනිස්සු ඉන්න වටපිටාවක ඉන්න ආසයි. තව අය ආසයි වැඩි ඇයි හොඳයියක් නැතුව පාඩුවේ ටිකක් පොශ් ලයිෆ් එකට ආසන්නයෙන් ඉන්න. ඒ නිසා බෝඩිම හොයන්න යද්දි කාමරේ විතරක්ම බලන්නේ නැතුව වට පිට මොන වගේද? ඒ ගෙවල්දොරවල්වල මිනිස්සු මොන වගේද කියලා ටිකක් ඇහැ ඇරලා බලලා එන එක වටිනවා.

 

4. ආරක්ෂාව

Image Source – parentcircle.com

ගෑනු ළමයෙක්ට නම් බෝඩිමක ආරක්ෂාව ගැන ආයේ අලුතින් කියන්න දෙයක් නැහැ. තවත් හොඳ ගෑනු ළමයි බෝඩ් වෙලා ඉන්නවද? ඒ පැත්තේ රෑකට හදිසියකට ගෑනු ළමෙක්ට ආරක්ෂිතව බෝඩිමට එන්න පුළුවන්ද කියලා හොයන්න වෙනවා. පිරිමි අයෙක්ට බෝඩින් හොයද්දි වුනත් හදිසියට ලැප්ටොප් එක බෝඩින් කාමරේ දාල ගියත් නැතිවෙන්න පුළුවන් තැන් නවාතැන් වලට එච්චරම ගැලපෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඇඳුම් කෑල්ලක් හෝදලා වේලෙන්න දැම්මත් සමහර බෝඩින් වල අතුරුදහන් වෙනවා. ඒ වගේ දේවල් කලින් තීරණය කරන්න අමාරුයි. ඒත් ඒ ළඟපාත අපේ යාලුවෙක් එහෙම ඉන්නවා නම් එයාගෙන් ඒ පැත්තේ ආරක්ෂාව කොහොමද? ඒ අපි හෙව්ව බෝඩිමේ ආරක්ෂාව කොහොමද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා.

 

5. තනියෙන්ද ෂෙයාරින්ද?

Image Source – hostalaustrialapaz.com

තනියෙන් ඉන්න කාමර හෝ පාටිෂන් එකක් ගන්න එක පොඩ්ඩක් මිල වැඩියි. ඒත් නොගැලපෙන නොදන්නා අය එක්ක ෂෙයා කරගන්නවාට වඩා තනි කාමරේ ඉන්න එකට ගොඩක් අය කැමතියි. පෙළක් අය නම් කවුරු උන්නත් කමක් නැහැ අපි අපේ වැඩ කරගන්නවා කියලා හිතනවා. බාත්රූම්, උයන පිහනවා නම් ඒ කුස්සි ආදිය, ටොයිලට් පහසුකම්, ඩයිනින් රූම් ආදිය ෂෙයා වෙනවාද? නැතිනම් අපිට වෙන වෙනම තියෙනවද කියලා බලන්න ඕනි. බාත්රූම් එකක් එහෙම ෂෙයා කරලා පාවිච්චි කරන්න අමාරු කෙනෙක්ට ෂෙයා බාත්රූම් කියන්නෙ හැමදාම හිතට වදයක් වෙනවා.

 

6. හදිස්සියට එයාව එක්කරං එන්න පුළුවන්ද?

Image Source – buzzfeed.com

බෝඩ් වෙන අය කියන්නේ ඉටිපන්දම් නෙමෙයි. හැමෝටම හැඟීම් දැනීම්, පුද්ගලික සම්බන්ධකම් තියෙනවා. එහෙම අයට තමුන්ගේ සිත්ගත් කෙනාව රූම් එකට ගෙන්වාගන්න හැකිනම් ඒක තැන් තැන්වල රවුන් ගහනවාට වඩා ලේසියි පහසුයි. ඒ වගේ පිටින් ඇක්සස් තියෙන කාමර ටිකක් ගණන්, ඒත් ඒ විදියට කරගත්තොත් පස්සේ ආයේ තාවකාලික රූම් වලට එයා එක්ක ගිහින් වාත වෙන්න උවමනාවක් නැහැ. අපේ ඒ අදාළ තැනම සම්බන්ධතාවයේ කෙළවරවල් වලට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. සමහර බෝඩින් වල එහෙම පිට ගෑණු හෝ පිරිමි ගේන්න දෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ශේප් කරගන්න පුළුවන්ද? ගෙනාවොත් ලොකු අවුලක් වෙයිද? වගේ කාරණාත් බෝඩ් වෙද්දි හොයාල බලන්නම වටිනවා.

 

7. කෑම බීම සහ සිග්නල්

Image Source – pinterest.com

කෑම කඩ නම් හැම තැනම තියෙන්නේ. එහෙම නෙමෙයි. ඒත් අපි සරලව හිතුවොත් කඩ කොච්චර තිබුනත් හැමදාම කන්න පුළුවන් තැන් තියෙන්නේ කීයද? බෝඩින් වෙලා කඩෙන් කන්න ඉන්නවා නම් වටේ පිටේ කෑම කඩ ගැනත් හොයාබලන්න වටිනවා. එහෙම නැතුව උයාගන්න හිතනවා නම් ඒකට අවකාශ තියෙද? බෝඩිමේ ඇන්ටි බාල්දි දාන එකක් නැද්ද ආදී දේවල් හිතන්න වෙනවා. උයන්න බලාගෙන ඉන්නවා නම් ළඟපාත සිල්ලර කඩ, එළෝලු පළතුරු අලුතින් ගන්න පුළුවන් තැන් ගැනත් ටිකක් ඇහැ දාල බලන්න වටිනවා. අද කාලේ අපි වනගත උනත් සිග්නල් නැත්තම් පාලුවක් දැනෙනවා. ඉතින් අපේ ෆෝන් එකේ ඩේටා සිග්නල් තියේද? අපි අරං තියෙන 4G කනෙක්ශන් වලට සිග්නල් තියේද? ආදී දේවලුත් කලින් හොයාබලන්න ඕනා.

බෝඩිමක් කියන්නේ පැය අටක් දහයක් අපි රෑට නවතින තැන. එතන ආවට ගියාට ඔහේ තැනක් වුනොත් අපිට පොඩි කලකිරීමක් ඒ හරහා ජීවිතයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අවට ගෙවල්වල නිතර රණ්ඩු දබර යනවා නම්, ඒ ළඟපාත මහ කුණුගොඩක් ගොඩගහලා ඒකේ ගඳ එනවා නම්, රෑ 7 වෙද්දි කලුවරටත් වඩා වේගෙන් මදුරුවෝ එනවා නම්, විරුද්ධ ලිංගිකයින් අනවශ්‍ය ලෙස ඇල්ම බැල්ම දානවා නම් ආන්න ඒවත් බෝඩිමක් තෝරගනිද්දි ටිකක් සොයාබලන්න වටිනවා. කලබලෙන් විවාහ වන්නා ඉක්මනින් පසුතැවේ කියලා කතාවක් තියෙනවා. ඒ වගේ තමයි මහා කලබලෙන් බෝඩින් හෙව්වොත් පසුතැවීම කෙසේ වෙතත් මාසයක් දෙකක් ගියාම ආයේ තව එකක් හොයාගන්න දත කන්න වෙනවා. ඒ නිසා බෝඩිමක් සොයනවා නම් ඉහත කරුණු ගැනත් ටිකක් විතර හිතමු නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *